දරුවන්ට ඊ මේල් ගිණුම් සැකසීමේදී මාපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා

147

පාසල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E- mail) ගිණුම් සැකසීමේදී දෙමව්පියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස ඉල්ලීමක් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ.

දෙමව්පියන්ගේ දත්ත ඒවාට ලබාදීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව සැලසෙන බවද දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදුකරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ට නුසුදුසු දර්ශන හා වෙබ් අඩවි සොයා බැලීමේ හැකියාව හා ප්‍රවේශය පාලනය කිරීම සිදුවන බව ද එහිදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එසේම දුරකථන භාවිතයේදී එම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමත දුරකථනයක් දැයි පරීක්‍ෂා කිරීම වැදගත්බව ද මෙහිදී අවධාරණය කර ඇත. යම්කිසි අපරාධමය ක්‍රියාවකට එම දුරකථන යොදාගත හොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමේ හැකියාව මෙම දුරකථන සතුව පවතී. එනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි කළ ජංගම දුරකථන තුළට සිම්පත ඇතුළත් කළ විට ඒ සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාවට ලැබෙන අතර ඒ නිසා ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදී ගන්නා ලෙස මෙහිදී පොලිස් නිලධාරීන් විසින් දැනුවත් කර ඇත.

තවද පොලිසිය විසින් ජාතික සංහිඳියාව හා ළමා හා කාන්තා කාර්යාංශය සම්බන්ධව සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ඉසුරු දොඩම්ගොඩ, චින්තක මායාදුන්න, රාජිකා වික්‍රමසිංහ සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment