දරුවන්ට ලැබෙන ආහාර අඩුවෙලා

67

මෙරට දරුවන් සඳහා වෙනදා මෙන් නොව මේ වනවිට ආහාර නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කී අතර එහිදී මතු වූ සංවාදය මෙසේය.

සජිත් ප්‍රේමදාස මහතා:- මේ වනවිට පාසල් පද්ධතියේ දරුවන් විශාල ප්‍රමාණයක් ආහාරපාන නොලබා අධ්‍යාපනය ලබන ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ලබන සඳුදා ගෙන එන අයවැය මගින් හෝ පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන්න කියා ඉල්ලනවා. පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ගැන පරිණත සමීක්‍ෂණයක් කළ යුතු කාලය එළඹිලා.

ඒ වගේම උසස් අධ්‍යාපනයේ නිරත විශ්වවිiාල දරුවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලබාදීම ප්‍රමාදයි. ඒවා ලැබිලා නෑ. ඒ ප්‍රශ්නයත් විසඳන්න කියා ඉල්ලනවා.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා- විශ්වවිiාලීය එක්ලක්‍ෂ හතළිස් දහසකට වැඩි දුවා දරුවන් ගෙන් එක්ලක්‍ෂ දසදහසක පිරිසකට මහපොළ ශිෂ්‍ය්‍යාධාරය රුපියල් 5500 ක් සහ ශිෂ්‍යාධාරය රුපියල් 5000 ක් වශයෙන් මම භාරගන්න අවස්ථාවේ මාස තුනක හිඟයක් තිබුණා. දැන් ඒ හිඟය දීලා අවසන් කරලා තිබෙනවා. මම ඒ ගැන අවධානයෙන් ඉන්නේ.

ඒ වගේම පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙනම අංශයක් වෙන් කරලා තිබෙනවා. එයින් වාර්තා ලබා ගන්නවා. අපි දන්නවා දැන් වෙනදාට වඩා දරුවන්ට ආහාර නොලැබෙන තත්ත්වයක් තිබෙනවා.මේ වනවිට ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කරලා තිබෙනවා මේ සඳහා වෙනම අරමුදලක් පිහිටුවන්න. දැනට දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමට මුදල් වෙන්කරලා තිබෙනවා බිලියන 04 ක්. ඉන් දරුවකුට රුපියල් 60 ක් වෙන් කෙරෙනවා. එය ප්‍රමාණවත් නෑ කියා මා පිළිගන්නවා. අඩුම තරමේ රුපියල් 75 දක්වා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට තවත් බිලියන 04 ක් යොදවලා පාසල් දරුවන්ට සහන ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් සපත්තු ලබා දීමට මෙය දීපව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ලක්‍ෂමන් කිරිඇල්ල මහතා- පාසල් පොත් මිල ගණන් තුන් ගුණයකින් වැඩිවෙලා.

සුසිල් ප්‍රේමරත්න මහතා- ඔව් පාසල් පෙළ පොත් මුද්‍රණයට වෙන්කරලා තිබුණේ බිලියන 4.5 යි. දැන් බිලියන 16.5 ක් යනවා පෙළ පොත් මුද්‍රණය සඳහා පමණක්. වාසනාවට නිල ඇඳුම්වලින් සියයට 70 ක් චීනයෙන් දෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment