දරුවන්ට වද දුන් මිල්ලනිය විදුහල්පතිනි හා පොලිසියේ 2 ක් රිමාන්ඩ්

224

පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ වයර් එකෙන් විදුලිසර වද්දලා

පන්ති කාමරයක් තුළදී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරාගත් බව කියන සිද්ධියක් මුල් කරගෙන එම පාසලේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිනිය හා මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්‍ෂකවරයකු හා පොලිස් සැරයන්වරයකු ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා ඊයේ (08 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

එකී චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරපත් කර තිබූ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ පොලිස් රියැදුරුවරයකු ඇප මත මුදාහැරීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය 02 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය එම සැකකරුවන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකාර විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය, පහ වසරේ ඉගෙනුම ලබන සිසුන් 9 දෙනකු විටින් විට පුස්තකාලයට ගෙන ගොස් දණ ගස්වා දෙපාවලට වේවැල් වලින් හා ලී පතුරුවලින් පහරදී ඇති බවත්, පසුව විදුහල්පතිනිය මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරීන් තුන්දෙනකු පාසලට කැඳවා ඇති බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.

සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා ජීප් රථයකින් පාසල් භූමියට පැමිණි පසු සිසුන් දෙදෙනකුව පන්ති කාමරයෙන් පිටතට රැගෙනවිත් පොලිස් නිලධාරීන්ට භාරදී ඇති බවත් එකී පොලිස් නිලධාරීන් එම සිසුන් දෙදෙනාව ජීප් රථයට නංවාගෙන පහරදී ඇති බවත්, පසුව ජීප් රථයේ තිබූ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු උපකරණයේ රැහැන් උපයෝගී කරගෙන ඔවුන්ව පිළිස්සීමට ලක්කර ඇති බවත් විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

එලෙස විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ රැහැන් සිය ඇඟට වැද්දූ පසු මුළු ඇඟම හිරිවැටීමකට හා පිච්චීමකට ලක්වූ බවට එම සිසුන් ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් උදෑසන පාසල් විවේක කාලයෙන් පසුව පාසලෙන් පිටතට රැගෙන ගිය එම සිසුන්ට පාසල නිම වන කාලයේදී නැවත පාසලට ගෙනවිත් ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

අසල කැලෑවට විසි කළේ යැයි කියන මුදල් පසුම්බිය සොයා ගැනීම සඳහා එම සිසුන් දෙදෙනාව රැගෙන ගිය අතරතුර එහි තිබූ වියලි පොල්ලකින්ද එම සිසුන් දෙදෙනාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් පහරකා රෝහල්ගත කළ සිසුවාට පහරදීමක් මෙන්ම පිළිස්සුම් තුවාල සිදුවී ඇති බවත් අධිකරණ වෛද්‍ය වාර්තා අනුව සනාථ වී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය. පහරකෑමට ලක්වූ සිසුන් 9 දෙනකුගෙන් පුස්තකාල භාර නිලධාරිනියගෙන් හා තවත් කීපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට හා අපරාධ ස්ථාන නිරීක්‍ෂණය කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බැවින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකාර විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය එම සිසුන්ව පුරා පැය ගණනාවක් දණ ගස්සවා විටින් විට පහරදී ඇති බවත් තමන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවෙන් නිදහස් වීම සඳහා සැකකාර විදුහල්පතිනිය විවිධාකාරයෙන් බලපෑම් කර ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් වයස අවුරුදු 9, 10 වයසේ පසුවන එවැනි දරුවන්ට සිදුකර ඇති එකී කෲර හිංසා ඉතා බරපතළ බවද පෙන්වා දුන්නේය. සැකකාර විදුහල්පතිනිය විදුහලේ උන්නතිය වෙනුවෙන් දැඩි තීරණ ගැනීම නිසා ඉන් නොසතුටට පත් එක්තරා කණ්ඩායමක් ජනමාධ්‍යද සම්බන්ධ කරගෙන කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් මාධ්‍ය හෝ විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන පරිදි බරපතළ අපරාධයක් සිදුවී නොමැති බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික සංජීව බමුණුහේන්දර, නීතිඥ අචිනි උමයංගනී හා නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දුන්හ. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සැකකාර පොලිස් නිලධාරීන්ගේ විනය කටයුතු සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ, උපපොලිස් පරීක්‍ෂක තුසිත කුමාර යන නිලධාරීහුද අධිකරණයට පැමිණ සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment