දරුවන් මිය ගියේ ජාන විකෘතියකින් නරකම සමූල ඝාතකයා කියා 25 වසරකට හිරේ දැමූ අම්මා නිදහස්

549

සිය ළදරුවන් සිවු දෙනා ඝාතනය කළ බවට චෝදනා කරමින් 2003 වසරේදී අධිකරණය විසින් වසර 25ක සිර දඬුවමක් නියම කළ ඔස්ටේ්‍රලියාවේ නරකම සමූල ඝාතකයා වශයෙන් නම් කර සිටි ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාවක් වසර 20කට පසු එම දරුවන් ඝාතනය නොකළ බවට විද්‍යාත්මක පරීක්ෂණවලදී තහවුරු වීම නිසා සිරෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

දැනට 55 වැනි වියෙහි පසුවන කැත්ලින් ෆෝල්බිග් නමැති චූදිත කාන්තාව සිය පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා ළදරුවන්ව සිටියදී 1989-1999 කාල සීමාව තුළ මරා දැමූ බවට චෝදනා කරමින් ඇයට එරෙහිව පැවති නඩු විභාගයෙන් පසු 2003 වසරේදී ජුරිය විසින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබිණි.

ඇය මෙම ළදරු ඝාතනවලට වරදකරු නොවන බවට අභියාචනා ගණනාවක් ඉදිරිපත්ව තිබුණද 2019 වසරේ එම චෝදනා සම්බන්ධයෙන් පැවති නවතම විමර්ශනයේදී ද එම ළදරු ඝාතනවලට ඇයගේ සම්බන්ධයක් නොමැති බවට පිළිගත හැකි සාධාරණ සාක්ෂියක් සොයා ගැනීමට විමර්ශකයන්ට නොහැකි වී තිබිණි.

එහෙත් ළදරුවන් සිවුදෙනාගේ ඝාතන සම්බන්ධයෙන් විශ්‍රාමික ඔස්ටේ්‍රලියානු විනිසුරු ටොම් බැට්හර්ස්ට්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක් විසින් මෑතකදී සිදු කළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ කැත්ලින් ෆෝල්බිග් විසින් මරා දැමූ බවට අධිකරණය නිගමනය කර සිටි කැලෙබ්, පැටි්‍රක්, සාරා හා ලෝරා යන දරුවන් සිවුදෙනා මියගොස් ඇත්තේ ජාන විකෘතියක් හේතුවෙන් හටගත් ස්වභාවික හේතූන් මත බවයි.

මෙම තත්ත්වය මත කැත්ලින් සිය දරුවන් ඝාතනය කර නොමැති බව විමර්ශකයන්ගේ නිගමනය වී ඇති අතර එම නිගමනය අනුව යමින් ඔස්ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා කැත්ලින් හට පූර්ණ සමාවක් ප්‍රදානය කර ඇය සිරෙන් නිදහස් කරන ලෙසට ඊයේ (05දා) නියෝග කර තිබේ. තමන් විසින් සිදු නොකළ වරදකට කැත්ලින් ෆෝල්බිග් හට ඔස්ටේ්‍රලියානු අධිකරණයක් විසින් ලබා දී තිබූ දඬුවම එරට අධිකරණ ඉතිහාසයෙහි යුක්තිය පසිඳලීමේදී සිදු වූ විශාලතම වරදක් ලෙස නීති විශාරදයන් විසින් මේ වන විට අර්ථ දක්වා තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment