දරුවන් වෙනුවෙන් හොඳම දේ කරමු

150

උගතුන්, බුද්ධිමතුන්, සල්ලිකාර විසේ ඇත්තවුන් සිය ගණනක පිරිසක් විසින් කෙලසන ලද ගල්කිස්සේ 15 වියැති දැරියගේ කතාවේ උණුසුම මැකී යන්නටත් පෙර නාවලපිටියේ 13 වියැති දැරියක දහ – පාළොස් දෙනකු විසින් දූෂණය කරන ලද අසික්කිත කතාවක් මේ දිනවල මාධ්‍ය වාර්තා කරයි.
 
 මීට අලූතින්ම එකතු වන සිද්ධිය හිටපු අමාත්‍ය රිෂාර්ඞ් බදියුර්දීන් ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් ගිනි තබාගෙන මිය යෑමේ ඛේදනීය සිදුවීමයි. හැටන් ප‍්‍රදේශයේ උපන් මෙම දැරියගේ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ ඇය මිය යෑමට පෙර ලිංගික අතවරයට ලක්වී ඇති බවලූ.
 
 ගල්කිස්සේ දැරිය අන්තර්ජාලයේ දමා විකුණා මුදල් හම්බකර ගැනීමේ කාර්යයට දැරියගේ මව ද සම්බන්ධ වී ඇති අතර, නාවලපිටියේ දැරිය දූෂණය කිරීම සඳහා එම දැරියගේ පියා සෘජුවම සම්බන්ධ වී තිබීම තම සමීපතමයින්ගෙන්ම ළමුන්ට සිදුවන හිරිහැර, අකටයුතුකම් ගැන මොනවට පෙන්වා දෙයි. (මෙවන් පාපී පියවරුන් අල්ලා පරසක්වළ ගැසිය යුතුය.) එසේම, බදියුර්දීන් මන්ත‍්‍රීවරයාගේ මෙහෙකාරිය කොයි තරම් ආරක්ෂක රැකවලක සිටි දරුවකුද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
 
 පොලිස් වාර්තා අනුව, 75% වඩා දරුවන්ට අඩන්තේට්ටම්, හිංසන, ලිංගික හිරිහැර සිදුවන්නේ තමන්ගේ ආරක්ෂකයින් යැයි දරුවන් සිතා සිටින තම ළඟම ඥාතින්ගෙන් හා රැුකවලූන්ගෙන් වීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.
 
 කලක් හතු පිපෙන්නාක් මෙන් සිද්ධි වාර්තා වූයේ අම්මාවරු බුරුතු පිටින් විදෙස් රටවල රැකියාවලට යෑම නිසාය. මේ නිසා කට ගොන්නක් බීගත් තාත්තාවරුන් ගෙන් පමණක් නොව, තාත්තාගේ යාළුවන් හා උන්ගේ යාළුවන් අතිනුත් දූෂණයට ලක්වූ දැරියන් ඕනෑ තරම් මේ රටේ ඇත.
 
 එහි අනිත් පැත්ත ද කියන්නට හැකි ජාතියේ ප‍්‍රවෘත්තියක් නාවලපිටියේ දැරියගේ ප‍්‍රවෘත්තියට සමගාමීව ඊයේ-පෙරේදා මාධ්‍ය වාර්තා කළේය. එනම්, සිය සැමියා වසර 4 ක් තිස්සේ තමන් හා තම දරුවන් තිදෙනා වෙනුවෙන් ඈත එපිට වැලිකතරක පිටරැටියන්ට කඹුරා කීයක් හෝ හොයාගන්නට වෙහෙසෙන අතර, ගමේ තරුණයකු සමග අවලංකමේ යන දරුවන්ගේ අම්මා තවත් දරුවකු වැදීමය. වැදීම පමණක් නොව, තමා ගැබ් ගත් බව එකම ගෙදර වෙසෙන නැන්දම්මාටත් නොතේරෙන්නට වග බලාගත් මේ අලගුත්තේරු ගැහැනිය නිවසේම උපන් තම බිලිඳිය කපා කොටා මරා, එතැනින් නොනැවතී ඒ සිරුර පුළුස්සා බිලිඳු සිරුරේ අවශේෂ ලන්දකට ද විසිකර දමන්නීය.
 
 මේ තරම් අසමජ්ජාති සමාජයක මේ තරම් අවාසනාවන්ත කතා අසන්නට තරම් අපි පව්කාරයින් වී ඇත්තේ ඇයි දැයි නොදන්නෙමු. එහෙත්, දහම් ද්වීපයක් යැයි කියන මේ රටේ දින දින සිදුවන ළමා අපචාර හා අඩන්තේට්ටම් නම් දැන් ඉවසුවා හොඳටම ඇති යන්න අපගේ අදහස ය. හරි නම් අද දවසේ සිදුවන පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණ, ඉන්ධන මිල අඩුකරන්නට යැයි කියන උද්ඝෝෂණ, වැඩි වැටුප්, තාන්නමාන්න ඉල්ලා සිදුකරන (සෞඛ්‍ය) උද්ඝෝෂණ හා පිකටින්, ගුරු වෘත්තීය අරගල (ජෝසෆ් ස්ටාලින්ගේ වැනි) සේම දරුවන්ට මේ සිදුවන ව්‍යසන නවතාලීම සඳහාද කවුරුන් හෝ පිකටින්, උද්ඝෝෂණ කළ යුතුව ඇත.
 
 ඉහත කී සිද්ධීන් මේ රටේ සිදු වූ පළමු – දෙවන සිද්ධිය හෝ අවසාන සිද්ධි දාමය නොවන බව අපි හොඳාකාරවම දනිමු. නමුත්, දරුවන් හිංසනයට පත්කර තම පහත් ආශාවන් ඉටුකරගන්නන් හා දරුවන් වාණිජ (ලිංගික) කටයුතු සඳහා භාවිත කරන්නන් වෙනුවෙන් දැඩි දඬුවම් දීම සඳහා නීති සම්පාදනය කළ යුතුය. එවන් නීති තිබුණේ නම්, අන්තර්ජාලයේ දමා විකුණූ ගල්කිස්සේ දියණිය වෙනුවෙන් දැනටමත් සාධාරණයක් ඇයට ලැබීම මෙන්ම ජනතාවටත් එම සාධාරණත්වයේ තරම බලාගත හැකිව තිබිණි. ගල් ගුහාවක සිරකරගෙන දින ගණන් දූෂණය කළ නාවලපිටියේ දියණිය වෙනුවෙන්ද, රිෂාර්ඞ්ගේ නිවසේ මෙහෙකාර දියණිය ඇතුළු දහසකුත් මේ රටේ අසාධාරණයට ලක්වූ දියණියන්, පුතුන් වෙනුවෙන් සාධාරණය ඉටුවනවා දකින්නට මෙරට ජනතාවට හැකිවනවා ඇත.
 
 එසේ හෙයින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කර, ළමයින්ගේ හෙට දිනය වෙනුවෙන් කැට තියන්නට හැකි නීතිමය හා සමාජමය වටපිටාවක්
 
 ගොඩනගන්නට කටයුතු කරන ලෙස අපි මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එය ඉක්මන් ද කළ යුතුය.
 
 මන්ද දරුවන් ගැන මෙවන් හිරිකිත, අප‍්‍රසන්න කතා අපට කියන්නට, ලියන්නට තවත් අප අකමැති නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment