දරුවන් සේම වැඩිහිටියන්ද සමරමු…. දරුවන්ට අහිමි වූ දරුවන්ගේ අයිතිවාසිකම් දිනය

844

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය ප‍්‍රථම වරට 1954 දී ආරම්භ කර, සැම වසරක ම නොවැම්බර් 20 දින සමරනු ලබතත් අප රටෙහි මෙම දිනය සමරනු ලැබෙන්නේ අද වැනි දිනක, එනම් ඔක්තෝබර් 1 දා ය. එසේම ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබෙන අතර ලෝක ළමා දිනය සැමරීමේ මුලික අරමුණ වන්නේ ලොව පුරා දරුවන් අතර ජාත්‍යන්තර සමඟිය පිළිබඳ දැනුවත් කිරීමත් ළමා සුභසාධනය වැඩිදියුණු කිරීමත් ය. වෙනත් ඕනෑම වසරක මෙන් ”සාමාන්‍ය” තත්ත්වයන් යටතේ අප විසින් මෙම දිනය සමරනු ලැබුවත් මෙම වසරේ දී මෙම දිනය අප රටට හුදෙක් නාමමාත‍්‍රික දිනයක් විය යුතු ය. මන්දයත්, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය, ළමා ආරක්ෂාව, සමාජ ආරක්ෂාව සහ සෞඛ්‍ය වැනි ප‍්‍රධාන අංශයන් තුළ දරුවාට ඇති අයිතිය තහවුරු කිරීමට මෙන් ම දරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප‍්‍රවේශය සහතික කිරීමට රජය මෙන් ම සිවිල් සමාජය ද අපොහොසත් වීම යි. මෙහිදී ද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්, අවාසිසහගත පෙදෙස්වල දරුවන් මෙන්ම ආබාධ සහිත දරුවන් සහ රාජ්‍ය ආයතන හෝ රැුඳවුම් මධ්‍යස්ථානවල ජීවත්වන දරුවන් සුවිශේෂී වේ. කෙටිකාලීනව අවශ්‍ය වුවත් සමාජ දුරස්ථභාවය සහ සීමා කිරීමේ පියවර දරුවන්ගේ සෞඛ්‍යයට, ආරක්ෂාවට සහ යහපැවැත්මට බරපතළ හා දිගුකාලීන තර්ජන ඇති කළ හැකි බව නවතම පර්යේෂණ පුරෝකථනය කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය සතියේ අනතුරු ඇඟවූ පරිදි, සෞඛ්‍ය අර්බුදයක් ලෙසින් ආරම්භ වී ළමා අයිතිවාසිකම් සම්බන්ධ පුළුල් අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවදානමකට අප දැන් මුහුණ දෙමින් සිටිමු.

දරුවන් සේම වැඩිහිටියන්ද සමරමු.... දරුවන්ට අහිමි වූ දරුවන්ගේ අයිතිවාසිකම් දිනය

ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සැම දරුවකුම ළමයෙකි. මෙම ළමයාට ජීවත්වීමට, ආරක්ෂා වීමට, සෞඛ්‍ය සම්පන්න වීමට, සහභාගීත්වයට හා සංවර්ධනය වීමට ඇති අයිතිය ඔස්සේ කායික, චිත්තවේගික, ප‍්‍රජානන හා මනෝ සමාජයීය විභවයන් සංවර්ධනය කිරීම රාජ්‍යයේ යුතුකම ලෙස සලකයි. මේ නිසා ම, රටක අනාගතය භාර ගැනීමට සිටින මෙම ළමයා කෙරෙහි බලපානු ලබන සියලූම ආකාරයේ අහිතකර සාධකවලින් ඔහු ආරක්ෂා කිරීම අපගේ යුතුකම වේ. ළමයා කෙරෙහි බලපානු ලබන අහිතකර සාධක ලෙස, ළමයා ලබන අහිතකර අත්දැකීම්, අයහපත් පරිසරය, සෞඛ්‍යමය පිරීහීම, මන්දපෝෂණ තත්ත්වය, ළමා අපයෝජනය හා අපයෝජනයට හුරුවීම, අතහැර දැමීම, අවතැන් වීම හා අපචාරයන්ට ගොදුරුවීම පෙන්වාදීමට පුුළුවන. මෙම ලිපියෙන් වර්තමානයේ දරුවන්ට අහිමි වූ ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවා දැයි කෙටියෙන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි.

මුලිකවම, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශය මෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව අධ්‍යාපනය ලැබීම මානව අයිතිවාසිකමකි. මෙම මානව අයිතිවාසිකම පහත ලක්ෂණවලින් සමන්විත ය. එය අයිතියකි. මෙම අයිතිය වරප‍්‍රසාදයක් හෝ දේශපාලන හෝ පුණ්‍යමය ආශාවන්ට යටත් නොවේ. මෙම අයිතිය තහවුරු කිරීම සඳහා පාර්ශ්වකාර්ය රාජ්‍ය අනිවාර්යයෙන් බැඳී සිටියි. මේ නිසා, අයිතිවාසිකම් දරන්නන්ගේ නිශ්චිත අයිතිවාසිකම් සම්බන්ධයෙන් එම රාජකාරිකරුවන්ට නියමිත වූ නිශ්චිත වගකීම් සමුදායක් ඇත. මෙම අයිතියට ඉහළ ප‍්‍රමුඛතාවක් ඇති නිසා රාජ්‍යයේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාව එය විය යුතුය. මෙම අයිතිය තහවුරු කිරීම සඳහා වන බැඳීම් පාර්ශවකාර්ය රාජ්‍යයට පහසුවෙන් බැහැර කළ නොහැක. මෙම මූලික අයිතිවාසිකම හරහා අනෙක් සියලූම මානව හිමිකම් ක‍්‍රියාත්මක කිරීමට මූලික වේ. එයට ආර්ථික, සමාජයීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන මානයන් ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ අධ්‍යාපනය ලැබීමේ මානව අයිතිය ක‍්‍රියාත්මක වීම හරහා අනෙකුත් මානව අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වීමයි. අප දන්නා පරිදි, ගුණාත්මක අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ අංගසම්පූර්ණ මනුෂ්‍යයකුගේ දියුණුව සහතික කිරීමයි. මෙම දියුණුව ලැබීම හරහා සිදුවන ප‍්‍රධාන වාසිය නම් සමාජයීය වශයෙන් බැහැර කරන ලද ළමුන් සහ වැඩිහිටියන් දුප්පත්කමින් මුදා ගැනීමට එය ඉතාමත් ප‍්‍රබල මෙවලමක් වීම යි.

එහෙත්, අධ්‍යාපන ලැබීමට ඇති මෙම අයිතිය අද දරුවන්ට අහිමි වී තිබේ. වර්තමාන COVID – 19 තුළ සමස්ත ගෝලීය ආර්ථිකය මන්දගාමී වී ඇති බැවින් සමාජ ආරක්ෂාව සඳහා වන රජයේ වියදම් නඩත්තු කිරීමට යෑම නිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් යම් අවදානම් සහ අර්බුදකාරී තත්ත්වයක් ඇති කෙරෙමින් පවතී. පුළුල් ලෙස පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අත්හිටුවා හෝ අඩාල කර ඇත.

අධ්‍යාපනය යනු විභාග සමත්වීම නොවේ. අධ්‍යාපනික ක‍්‍රියාවලිය හරහා දරුවන් ශාරීරික, මානසික, චිත්තවේගීය සහ සදාචාරාත්මක අංශයේ සංවර්ධනය ද ඇතිකර ගනිති. එපමණක් නොව, අධ්‍යාපනය භාෂාව, සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම සහ සිරිත් විරිත් පරම්පරාව නඩත්තු කරන ඉතා වැදගත් යාන්ත‍්‍රණයකි. පාසල දිගුකාලීනව වසා දැමීම හරහා සිදු වන්නේ ඉහත කී නිපුණතා නොලැබීම නිසා දරුවන් ගෙදරටම සීමාවීම සහ සන්නිවේදනය සීමාසහිත වපසරියක සිදුවීමයි. පාසල යනු සමාජ වපසරීන් තුළ හැසිරවීමට අවිධිමත්ව කියා දෙන මාර්ගයකි. මෙම අවිධිමත් ඉගෙනුම නොලැබීම නිසා අපේ දරුවන් සීමිත සමාජ සංස්කෘතික රාමුවකට කොටු වී සිටිති. මෙම රාමුගත වීම දිගුකාලීනව අනිසි ප‍්‍රතිඑල ගෙන දෙනු ඇත. සීමිත සමාජ වපසරියක රාමුගත වීම හරහා දරුවා ජාතිවාදියකු වීමට පුළුවන. මන්දයත් පාසලෙන් ලැබෙන සංස්කෘතික නිපුණතාව දරුවාට නොලැබීමයි. සංස්කෘතික නිපුණතාවය යනු අපේ වෙනස්කම් හා සමානකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සිසුන්, දෙමාපියන් සහ සමාජය සමඟ ගෞරවනීය සබඳතා වර්ධනය කර ගැනීමට ඇති හැකියාවයි. එමගින් සංස්කෘතික වෙනස්කම් කෙරෙහි ධනාත්මක ආකල්පයක් ගොඩනැෙ`ගන අතර එයට සවන්දීම, නිරීක්ෂණය කිරීම සහ ප‍්‍රත්‍යවේක්ෂණය ද ඇතුළත් වේ. මිට අමතරව අවුරුද්දක් පුරා දෙමවුපියන්ගේ, නෑදෑයින්ගේ නොමඳ ආදරය ලැබීම නිසා තමා අවට සිටින සියලූදෙනා විශ්වාස කිරීමට පෙලඹෙයි. මේ නිසා ම තම සතුරා හඳුනාගැනීමට අපහසු වනු ඇත. සිතුවිලි ශක්තිමත් නොවීම නිසා නිතර කලකිරීමට පත්වෙනු ඇත.

දෙවනුව, දරුවන්ට අහිමි වී ඇත්තේ සංස්කෘතික සහභාගීත්වයට, එසේත් නැතහොත් නිර්මාණශිලී වීමට දරුවාට ඇති අයිතියයි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ද මේ පිළිබඳව කරුණු දක්වා ඇති අතර, සෑම පුද්ගලයකුටම අධ්‍යාපනය ලැබීමට මෙන්ම සංස්කෘතික හා කලාත්මක ජීවිතයට සම්බන්ධ වීමට අයිතියක් ඇති බව තහවුරු කරයි. නිදසුනක් ලෙස මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 27 වන වගන්තියට අනුව, ‘ප‍්‍රජාවේ සංස්කෘතික ජීවිතයට සහභාගි වීමට, කලාව රසවිඳීමට සහ විද්‍යාත්මක දියුණුව හා එහි ප‍්‍රතිලාභවලට හවුල්වීමට සෑම කෙනකුටම නිදහස තිබේ.‘ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 31 වන වගන්තියට අනුව ‘සංස්කෘතික හා කලාත්මක ජීවිතයට පූර්ණ ලෙස සහභාගිවීමට දරුවාට ඇති අයිතියට රාජ්‍ය පාර්ශ්වයන් ගරු කළ යුතු අතර සංස්කෘතික, කලාත්මක, විනෝදාත්මක හා විවේකී ක‍්‍රියාකාරකම් සඳහා සුදුසු හා සමාන අවස්ථා ලබාදීම දිරිමත් කරනු ඇත.‘මෙම වගන්තිවලින් පැහැදිලි වන්නේ සෑම පුද්ගලයකුටම ඔහුගේ වයසට සරිලන පරිදි විනෝදාත්මක ක‍්‍රියාකාරකම්වල යෙදීමට, සංස්කෘතික ජීවිතය ගතකිරීමට මෙන්ම කලාවන්ට නිදහසේ සහභාගිවීමට අයිතියක් ඇති බවයි. මේ නිසා සංස්කෘතික හා කලාත්මක ජීවිතයට පූර්ණ ලෙස සහභාගිවීමේ අයිතියට සෑම රාජ්‍ය පාර්ශ්වයක්ම ගරු කළ යුතු අතර එය දිරිගැන්වීමෙහිලා කටයුතු කළ යුතු ද වෙයි. කෙසේ වුවද, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්මත වී වසර 61 ක් ගතවී ඇතත්, අවාසනාවකට මෙන් අප රටේ දරුවන්ට මෙම අවාසනාවන්ත තත්ත්වය අහිමි වී ඇත්තේ නිර්මාණශීලී වීමට ඇති ඔවුන් ගේ අයිතියයි. සෞන්දර්යාත්මක හා සංස්කෘතිකමය දෘෂ්ටිකෝණයකින් මිනිසුන් අතර ඇති ප‍්‍රධාන හා විවිධ ගැටුම් හඳුනාගැනීම සහ ඒවා ප‍්‍රීතිමත් ආකාරයකින් ග‍්‍රහණය කර ගැනීමේ අවස්ථාවයිත අදහස් නිර්මාණය කිරීමේ, එදිනෙදා ක‍්‍රියාකාරකම් තුළින් ලබාගත් අත්දැකීම් ප‍්‍රකාශ කිරීමේ, සහ අනෙකුත් මිනිසුන් සමඟ නිර්මාණශීලීව සම්බන්ධ වීමේ අවස්ථාවයිත එදිනෙදා කටයුතුවල සාර්ථකත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය වන නිර්මාණශීලීත්වය, විවේචනාත්මක චින්තනය සහ කෙනකුගේම ක‍්‍රියාවන් ප‍්‍රායෝගිකව පෝෂණය කිරීම සඳහා තත්වයන් සැලසුම් කිරීමේ කුසලතායි.

මෙම අර්බුදකාරී තත්ත්වය තුළ සිට වුව ද ඔබගේ, මගේ සහ පාර්ශ්වකාර්ය රාජ්‍යයේ කාර්යභාරය විය යුත්තේ දරුවන්ට ඉගෙනීමට හා වර්ධනය වීමට ආරක්ෂිත හා පිළිගැනීමේ වාතාවරණයක් ලබාදීමයි. දරුවාට, දරුවා වෙනුවෙන් ඇති අයිතිය ලැබීමට සුදුසු පරිසරයක් සැකසීමයි. තමා හඳුනාගැනීමට නිදහස පමණක් නොව වැරදි කිරීමට නිදහස ඇති වාතාවරණ දරුවන්ගේ ඉගෙනුම පහසු කරයි. එහෙත්, පර්යේෂණ සොයාගැනීම් මගින් අනාවරණය කර ඇත්තේ නිර්මාණශීලීත්වය හා බැඳුණු පෞරුෂ ගති ලක්ෂණ, අවදානම් ගැනීම, ආවේගශීලීභාවය සහ ස්වාධීනත්වය වැනි දේවලට ගුරුවරුන්/දෙමවුපියන් අකැමැති බවයි. නිර්මාණශීලීත්වය හා බැඳුණු හැසිරීම් සහ ගුණාංග කෙරෙහි එතරම් ඉවසීමක් නොමැති බවයි. මන්ද, නිවසේ සහ පන්ති කාමරයේ පිළිවෙළ හා විනය පවත්වා ගැනීම ඔවුන්ගේ අභිප‍්‍රාය වීම නිසාය. එබැවින්, අපට වෙනස්වීම සඳහා කාලය පැමිණ ඇත.

 මේ වෙනස්වීමේ දී අපේ දරුවන්ට ලබා දිය හැකි ලොකුම ත්‍යාගය වන්නේ දරුවන්ටත් අයිතිවාසිකම් ඇති බව හඳුනාගැනීම යි. නිදසුනක් ලෙස ඉගෙනීමේ අයිතිය ඔවුන්ට පවරා දීමයි. දරුවන් ඉගෙනීමට නම්, ඔවුන් තමන් ඉගෙන ගන්නා ඉගෙනුම් අත්දැකීමට සම්බන්ධ විය යුතු අතර, ඔවුන් ඉගෙන ගන්නා දේ සහ ඔවුන් ඉගෙන ගන්නා ආකාරය සහ එම ඉගෙනීම නිරූපණය කරන ආකාරය පිළිබඳව යමක් පැවසීමට ඇති හැකියාවෙන් යුක්ත විය යුතුය. හොඳම ඉගෙනීම සිදුවන්නේ එය සහයෝගයෙන් හා සහයෝගයෙන් කටයුතු කරන විට, ශිෂ්‍යයන්ට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතුවල වඩාත් ක‍්‍රියාශීලීව යෙදීමට ඉඩ දීමෙනි. මේ නිසා ම අද වන විට ”ශිෂ්‍ය ඒජන්සිය” යන සංකල්පය වඩාත් ජනප‍්‍රිය වී තිබේ. ශිෂ්‍ය ඒජන්සියේ මූලික සංකල්පය මුල්බැස ඇත්තේ සිසුන්ට ඔවුන්ගේ ජීවිතවලටත් අවට ලෝකයටත් ධනාත්මක ලෙස බලපෑම් කිරීමේ හැකියාවක් සහ කැමැත්තක් ඇති බව තහවුරු කිරිමටය. මේ අනුව ශිෂ්‍ය ඒජන්සිය අර්ථ දැක්වෙන්නේ වෙනසක් ඇති කිරීමට ඉලක්කයක් තැබීමට, පරාවර්තනය කිරීමට සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමට ඇති හැකියාව යන්නයි.

දරුවන් සේම වැඩිහිටියන්ද සමරමු.... දරුවන්ට අහිමි වූ දරුවන්ගේ අයිතිවාසිකම් දිනය

ආචාර්ය  අයෝමි ඉරුගල්බණ්ඩාර
අධ්‍යාපන පිඨය,
ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment