දරුවා නිදිකර තබන්නේ ලී මැස්සක: ජීවිත තුනක් හිසට සෙවණක් ඉල්ලයි

181

සිය ජීවිතේ ගැටගසා ගැනීමටවත් නොහැකිව ජීවත් වීම අභියෝගයක්ව සිය නිවහන ඉටිරෙදිවලින් වටකර ආදරණීය බිලිඳිය ලී මැස්සක් උඩ නිදිකරවන අසරණ ජීවිත තුනක් සම්බන්ධයෙන් හෙම්මාතගම බලත්ගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ ගමන් කරනවිට හමුවන අම්බුළුවාව පාමුල බලත්ගමුව නම් ගම්මානයේ ජීවත් වන මෙම පුංචි පවුල අසීමිත දුක් කන්දරාවක් විඳිමින් ජීවත්වන අයුරු දක්නට ලැබේ.

නිවෙස අනාරක්ෂිත ලෙස තහඩු සෙවිලිකර ඉටිරෙදි වටකර බෑවුමක ඉදිකර තිබුණි.

මාකෝ නමින් ප්‍රදේශයේ කවුරුත් දන්නා ඔහු සංජය කුමාරතුංග ය. 1989 වර්ෂයේ බලත්ගමුව ප්‍රදේශයේ උපත ලද ඔහු 2002 වර්ෂයේ පොලොන්නරුවේ උපන් මහේෂිකා සෙව්වන්දි රූපසිංහ නම් තරුණිය විවාහ කරගන්නා ලදි. දැන් ඔවුන් දෙදෙනාට මාස හයක් පමණ වන දියණියක් සිටී.

කුලී වැඩවල යෙදෙන සංජය කබලෙන් ළිපට වැටී ඇත්තේ රටේ පවතින තත්ත්වය හමුවේය. වැසි දිනයන්හි ගෙපැල තුළට ජලය රැස් වෙන බැවින් දියණිය තබා ගැනීමට පවා අපහසු බව මහේෂිකා පවසයි. බිල ගෙවා ගන්න බැරිව අපේ විදුලිය විසන්ධි කරලා. දුවත් එක්ක හරි හව්හරණක් නැති මේ නිවසේ අපි ඉන්නේ කළුවරේ. බබාට බෙහෙත් ගන්නවත් සල්ලි නෑ. කැස්ස හැදිලා සතියක් ගෙදර තියන් ඉඳලා තමයි පස්සේ බෙහෙත් ගත්තේ. ඒත් තාම අඩු නෑ.

අපි දවස් ගාණක් බඩගින්නේ ඉඳලා තියෙනවා. අද කොස් ගෙඩියක් කඩලා තම්බලා ගත්තා. කුලී වැඩ හැමදාම වැඩ නැති නිසා කඩවල් වලටත් ණයයි. ගෙදර වහින කොට තෙමෙනවා. යටින් උල්දිය ගලනවා. ගේ ඇතුළේ ඉන්න බෑ සීතලයි. සීතල නිසා මැස්සක් ගහලා තමයි දරුවා තියාගෙන ඉන්නේ, මහේෂිකා පවසන්නීය.

මම කුලී වැඩ කරන්නේ. මේ දවස්වල වැඩ නෑ. ඒ නිසා කෑම හොයාගන්න විදිහක් නෑ. වැසිකිළිය හදලා තියෙන්නේ සාරි වටකරලා. මේ දවස්වල භූමිතෙල් නැහැනේ. මෙහෙ ඉටිපන්දනුත් නෑ. රෑට අපි කළුවරේ තමයි. අහල පහළ අය ගොඩක් හොඳයි. යන්න වැසිකිළිය පවා දුන්නා. ඒත් හැදාම කරන්න බැහැනේ. ඒ වගේම අහල පහළ අය පුළුවන් විදිහට උදවු කරනවා. ඔවුන්ට මේ අවස්ථාවේදී බොහෝම ස්තුතිවන්ත වෙනවා යැයි කියන සංජය කුඩාවට ස්ථිර නිවෙසක් හදා දෙන්න හැකි අයකු වේ නම් විශාල පිනක් බව පැවසීය.

සංජයගේ දුරකථන අංකය – 0723218289

රොහාන් සී. ප්‍රේමතිලක – හෙම්මාතගම අරණායක

advertistmentadvertistment
advertistmentadvertistment