දරුවොයි මමයි බේරගන්න මහත්තයා අලියගේ ඇගට පැන්නා – දරුවන්ගේ තාත්තාගේ කකුල් දෙකයි අතයි – ඉලඇටත් කැඩිලා

506

* අපට ජීවත් වෙන්න උදව් කරන්න

* මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට පිහිටවෙමු


නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිඳ බේරා ගැනීමට වන අලියෙකු හා ඔට්ටු වූ පියෙකු වන අලි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මෙම සිද්ධිය හම්බන්තොට නාගර්වැව ප‍්‍රදේශයේ දී සිදුවී තිබිණි.

දරුවොයි මමයි බේරගන්න මහත්තයා අලියගේ ඇගට පැන්නා - දරුවන්ගේ තාත්තාගේ කකුල් දෙකයි අතයි - ඉලඇටත් කැඩිලා

කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරිදි කේ. පී. ජී. අනුර මහතා මෙලෙස වන අලි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බිරිඳ වන 25 හැවිරිදි ඒ. නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

දරුවොයි මමයි බේරගන්න මහත්තයා අලියගේ ඇගට පැන්නා - දරුවන්ගේ තාත්තාගේ කකුල් දෙකයි අතයි - ඉලඇටත් කැඩිලා

අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප‍්‍රදේශයේ. එම ඉඩම් අලි කළමනාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම්වලට හැමදාම අලි එනවා. එදත් අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා. කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඬේ දමන කොට මහත්තයා අලියගේ ඇඟ පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එලවද්දී මම දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා. ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා. මහත්තයා විසිවෙලා

ගිහින් බිම වැටුණා. අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.අපි පුදුම විදියට ජීවත් වුණා. මහත්තයා අලියා පැත්තට ගියේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දානවා. අලියා පහරදීමෙන් මහත්තයගේ කකුල් දෙකයි අතයි ඉරණම් ඇටයි කැඩිලා. එයා දැන් රෝහලේ. අපි කුළී වැඩ කරගෙන ජීවත් වෙන්නේ. අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ. එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න. මට අවුරුදු 10, 7, 4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ. එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කළොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.

ඉන්න හිටින් හරි හමන් ගෙයක් නොමැති මේ අසරණ දරුවන්ට පවා කෑම බීමද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රතාව නිසාය. මේ අසරණ පවුලට පිහිට වීමට කැමති පිංවන්ත අයෙකු සිටීනම් 0719020306 දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment