දරු දෙදෙනා ඉදිරිපිටදීම සැමියාගේ පිහි පහරින් බිරිඳ මරු වැළඳ ගනී

792

දරු දෙදෙනා  නැගෙනියට භාරදී සැකකරු පොලිසියට බාර වෙයි

බහින්බස්වීම දුරදිග ගිය තරම

පවුල් ආරවුලක් හේතුවෙන් අක්මීමන අංකොක්කාවල ප්‍රදේශයේ දෙදරුමවක ඇයගේ සැමියා විසින් පෙරේදා (03) පස්වරුවේදී උල් පිහියකින් ඇන ඝාතනය කොට ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මීමන පරණකන්තෝරුවගෙදර අංකාක්කාවල ප්‍රදේශයේ පදිංචි ආර්. සම්මානි රාජපක්ෂ (අවුඃ31) නමැති තැනැත්තියකි. මෙම යුවළ අතර දැනට වසරක පමණ කාලයක සිට පවුල් ආරවුල් තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පෙරේදා (03දා) පස්වරුවේදී මියගිය කාන්තාව තම දරු දෙදෙනා සමග මාලඹේ ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවසට යන බව පවසා ඇත. ඒ සමග දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවී තිබේ. පසුව සැමියා විසින් අවුරුදු 12 හා 08 වයසේ පසුවන දරු දෙදෙනා බලාගෙන සිටියදී මේසය මත තිබූ උල්පිහිය ගෙන බිරිඳගේ පපුවට හා පිට

ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැමියා විසින් මෙකී කාන්තාවගේ පපු ප්‍රදේශයට එක් පිහිපහරක් හා පිට ප්‍රදේශයට පිහිපහරවල් හතරක් ඇන තිබූ බව පොලිසිය පවසයි.

සැකකාර සැමියා 37 හැවිරිදිවියේ පසුවන ත්‍රිරෝද රථ රියැදුරෙකි. පිහි ඇනුමෙන් පසු ඔහු දරු දෙදෙනා සමග ත්‍රිරෝද රථයෙන් තම නැගනියගේ නිවසට ගොස් දරු දෙදෙනා නැගනියට භාරදී ත්‍රිරෝද රථයද එහි නවතා පොලිසියට ගොස් භාරවී ඇත. සැකකරුගේ ප්‍රකාශ මත පිහි ඇනුම සඳහා යොදාගත් උල්පිහියද නිවසේ තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත. මෙකි අඹු සැමි යුවළ අතර කලක සිට පවුල් ආරවුල් පැවති අතර ඒහේතුව නිසා බිරිඳ දරු දෙදෙනා සමග මවගේ නිවසට ගොස් සිට ඇත. මෙම වර්ෂයේ මාර්තු මාසයේ යළි දරු දෙදෙනා සමග සැමියාගේ නිවසට පැමිණ පදිංචිව සිට ඇත. මීට දින තුන හතරකට පමණ ඉහතදී මෙකී යුවළ අතර පවුල් ආරවුලක් වී ඇති අතර මේ සම්බන්දව අක්මීමන පොලිසියට පැමිණිලි කොට තිබිණි. පසුව දෙදෙනා පොලිසිය තුළදී සාමදාන වී යළි නිවසට පැමිණි බව පොලිසිය පවසයි.

මියගිය දෙදරු මවගේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (03දා) රාත්‍රි ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් සිදු කරනු ලැබීය. අක්මීමන පොලිස් ස්ථානාධිපති මදුරප්පේරුම, අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක්ශ්‍රී යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි-ගාල්ල හිනිදුම-රවින්ද්‍රචන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment