දරු ප‍්‍රසූතියෙන් දින 4කට පසු කොවිඞ් ආසාදිත මව මරුට – කොවිඞ් ආසාදනයවී ඇති බව දැනගෙන ගෙදර යවපු නිසයි ඇය මෙලෙස මියගියේ

106

* සැමියා රසික පුෂ්පකුමාර කියයි

කොවිඞ් 19 වෛරසය ආසාදිතව මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවක් තම දෙවන දරුවා ප‍්‍රසූතකර දින හතරකට පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව, බුද්ධම-ගලයාය පදිංචි ටී.එම්. ඉන්දිකා දිල්හානි (32) නැමති දෙදරු මවකි. ඇය සැප්තැම්බර් 13 වැනි දින අසනීපවී සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කොට ඇත. එදිනම එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොවිඞ් වෛරසය ආසාදනයවී ඇති බවට අනාවරණයවී ඇත. පසු දින ඇයගේ ටිකට් කපා නිවසට යවා ඇත. පසුව ඉකුත් 18 වැනිදා ඇයට අමාරුවී නැවත මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇත. ඇය 22වැනි දින සිසේරියන් සැත්කමකින් සිඟිත්තියක් බිහි කර ඇත. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (26දා) මියගොස් ඇත.

ඇයගේ මරණය පිළිබඳව මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී ඊයේ (27) පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇයගේ සැමියා වන ඒ.එම් නුවන් රසික පුෂ්පකුමාර (33) මෙසේ කීය, ‘‘අපි දෙදෙනාට අවුරුදු දොළහක වැඩිමහල් දියණියක් සිටිනවා. මගේ බිරිඳ දෙවෙනි දරුවා බිහිකිරීමට සූදානමින් සිටියා. මාස කිහිපයක් ඇය සායනවලට ගියා. ප‍්‍රදේශය පුරාකොරෝනා රෝගය පැතිරී යන නිසා සායනයට නොඑන ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාව කියා සිටියා. මගේ බිරිඳට දරුවා ලැබීමට දිනදී තිබුණේ ඔක්තෝබර් 08වැනිදා. මම කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් කරන නිසා බිරිඳගේ මවට කියා සිටියා බිරිඳට යම් අසනීපයක් ඇතිවුවහොත් රෝහලට එක්කරගෙන යන ලෙස. සැප්තැම්බර් 13වැනිදා බිරිඳ මට කෝල් එකක් දීලා කිව්වා මට ටිකක් අසනීපයි අම්මා සමඟසියඹලාණ්ඩුව රෝහලට යන බව. සියඹලාණ්ඩුව රෝහලට ගොස් සිටි ඇය නැවත කෝල් එකක් දීලා කිව්වා මොනරාගල රෝහලට මාරු කරන බව.14වැනි දින දහවල් බිරිඳ කෝල් එකක් දීලා කිව්වා රෝහලේදී සිදු කළ පරීක්ෂණයේදී ඇයට කොවිඞ් 19 වෛරසය ආසාදිත බැව් හෙද නිලධාරිනියක් පැවසූ බව. අද ටිකට් කපනවා ගෙදර යන්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව ඇය ගෙදර යනවා කියලා කිව්වා. නැවත සැප්තැම්බර් 18වැනි දින ඇය කෝල් එකක් දීලා කිව්වා ආයෙ අමාරුයි කියලා. අම්මා සමඟ මොනරාගල මහ රෝහලට යන බව කිව්වා. නැවත 22වැනිදා බිරිඳ කෝල් එකක් දීලා කිව්වා දරුවා සිසේරියන් සැත්කමකින් ගන්නා බව වෛද්‍යවරු කිවුවා කියලා. ඊට පසුව බිරිඳ මට කතා කළේ නැහැ. මම වාට්ටුවට කතා කරන විට කිව්වා මගේ බිරිඳ දියණියක් ප‍්‍රසූත කළ බව. පෙරේදා බිරිඳගේ අම්මා මට කෝල් එකක් දීලා කිව්වා බිරිඳ මියගිය බව. ඒ අනුව මම ඊයේ 27දා රෝහලට ආවා. මගේ බිරිඳ පළමුවෙන්ම රෝහලට පැමිණි අවස්ථාවේදී නතර කරගෙන දිගටම ප‍්‍රතිකාර කළා නම් බොහෝ විට ඇයගේ ජීවිතය බේරාගන්න තිබුණා. කොවිඞ් 19 වෛරසය ආසාදනයවී ඇති බව දැනගෙන ගෙදර යවපු නිසයි රෝගී තත්වය උත්සන්නවී ඇය මෙලෙස මියගියේ. මීට වඩා ගැබිනි මව්වරුන් පිළිබඳව සැලකිලිමත්ව රෝහල් සේවයේ නියුතු සියලූදෙනා කටයුතු කළ යුතුයි. මට කීමට ඇත්තේ එපමණයි.’’මොනරාගල හදිසි මරණ පරීක්ෂක ඞී.එස්. ගුණතිලක මහතා විසින් මියගිය අයගේ මරණය පිළිබඳව පරීක්ෂණය පවත්වන ලදී.

මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප‍්‍රසාදිනී සෙනරත් මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවාය.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment