දවසකට කෝටි 40ක් හොරාකන්නට දී කෘත්‍රිම රා වලින් සල්ලි ගරති!

226

රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව රටේ ප්‍රධානම ආදායම් දොරටු තුනයි. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය උඩ ව්‍යාපාරවලට අත්වී තිබෙන ඉරණම නිසා ආදායම්බදු කෙසේ වෙතත් බදු ගෙවන්නට ව්‍යාපාර ඉතිරි වේ දැයි යන සැකය පවතිනවා. ආනයන සීමා නිසා ආනයන වියදම් අඩු වී රේගුවේ අපනයන ආදායම් ද අඩු වී ඇත්තේ පවතින ඉන්ධන හා විදුලිබල අර්බුද නිසා රටේ සමස්ත අපනයන නිෂ්පාදනය අඩු වී ඇති නිසාය. මේ නිසා රට දුවන්නට හයියක් වීමට ඉතිරි වී ඇති එකම ආදායම සුරාබදු ආදායමයි. එහෙත් එයට ද හෙණයක් පාත් වී ඇත. එය කියන්නේ අප නොවේ, සුරාබදු දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නට නීත්‍යනුකූල බලපත් ලබා දී මත්පැන් අලෙවියේ යෙදී සිටින මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයයි.

 ඔවුන් කියන ආකාරයට දිනකට රටට හිමි විය යුතු රුපියල් කෝටි 40 ක සුරාබදු ආදායමක් රටට අහිමි වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරීන් කිහිපදෙනකු ඉන් ප්‍රතිලාභ ලබන්නේ කෘත්‍රිම රා ජාවාරමට අනුබල දීම තුළිනි.

 ලියාපදිංචි ස්කාගාරවලට මත්පැන් නිපදවීමට රා සැපයීම සිදුකරයි. එලෙස රා සපයන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි රා එකතු කරන්නන්ගෙනි. ඒ අයගේ නියමිත පොල් ගස් ගණන සුරාබදු දෙපාර්තමේන්තුව සතු වන අතර ඒ අයට ගබඩා කළ හැකි සහ ප්‍රවාහනය කළ හැකි රා ප්‍රමාණයන්ගේ සීමා තිබේ. උදාහරණයක් ලෙස යම් රා සපයන්නෙක් රා ලීටර් 1000 ක් ස්කාගාරයකට සපයන්නේනම් ඉන් නිපදවිය හැකි සැර මත්පැන් බෝතල් ප්‍රමාණයේ ගණනයක් තිබේ. එමෙන්ම ස්කාගාරවලට අනුයුක්ත කර තිබෙන සුරාබදු නිලධාරීන් මගින් ඒවා සටහන්ගතව බදු අය කළ හැකි ආකාරයට මත්පැන් නිපදවා වෙළෙඳපොළට යැවීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

 නමුත් මේ කෘත්‍රිම රා ජාවාරමේදී සිද්ධ වන්නේ නීති විරෝධී විදිහට යූරියා, ජලය, ඇමෝනියා සහ පරණ ෆෝන් බැටරි යොදා කෘත්‍රිමව නිපදවන රා ස්වභාවික රා ලෙස මත්පැන් නිෂ්පාදනයට ස්කාගාරවලට ලබාදීමයි. මීට ස්කාගාරවලට අනුයුක්ත ඇතමකුගේ සහාය ලැබෙන අතර තවත් කිහිපදෙනකු ජාවාරම මෙහෙයවයි. ලේඛනගත නොවන මෙම රා වලින් නිපදවන මත්පැන් ඉන්පසු වෙළෙඳපොළට නිකුත් කරන අතර බොහොමයක් මත්පැන් නිෂ්පාදකයන් සිය සුරාසල් බලපත්‍ර හිමියන් ද වීම නිසා ඔවුන් සිය මත්පැන් අලෙවි ජාල තුළින් මේ බදු නොගෙවූ මත්පැන් අලෙවි කරයි. දිනකට කෝටි 40 ක් රටට අහිමිවනවා යැයි කියන කෘත්‍රිම රා ජාවාරම එයයි.

 මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය කියන පරිදි මෙකී දූෂිත සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සුජාත දරු පැටව් ඉගෙන ගන්නේ හෝ වාසය කරන්නේ ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය හෝ වෙනත් යුරෝපා රටවලය. එකී දූෂිත නිලධාරීන්ගෙන් සාතිශය බහුතරය ද්විත්ව පුරවැසියන්ය. මේ අතර අවංක සුරාබදු නිලධාරීන් ද සිටින බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 නීත්‍යනුකූල සීමාව ඉක්මවා කෘත්‍රිම රා පෙරා එය ළඟ තබාගෙන හසුවීම තාක්‍ෂණික වරදක් නොව සංවිධානාත්මක අපරාධයක් බව රා ජාවාරම්කරුවන්ට දඬුවම් දෙන සුරාබදු නිලධාරීන් නොදනී. එම නිසා කෘත්‍රිම රා පෙරා හසුවුවද සුළු දඩයක් ගෙවා නැවත ඔවුන්ට සිය ජාවාරම කරගෙන යා හැක.

 මේ රටේ ජාවාරම් ගොන්නට එක්වූ අලුත්ම ජාවාරම හෙළි කළේ මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයයි. එකී සංගමය මාධ්‍ය සාකච්ඡාවක් තබමින් රටටම හෙළි කළ මෙකී බදු වංචාව දුටු සුරාබදු කොමසාරිස්, එකී චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත. කෘත්‍රිම රා ජාවාරම්කරුවන් හා එක්ව දිනකට රජයට රුපියල් කෝටි හතළිහක පමණ මුදලක් අහිමි කරන මේ හෙළිදරව්ව ප්‍රතික්‍ෂේප කළ පමණින් අවසන් වන්නේ නැත. කෘත්‍රිමව රා ජාවාරම හා බැඳී සිටින කෝටි ගණන් බදු මුදල් රටට අහිමි කළවුන්ට දඬුවම් කළ යුතුය.

 (තතු දත් පිරිසක් දිවයිනට එවා තිබූ සටහනකිනි.)

advertistmentadvertistment
advertistmentadvertistment