දවසකට මුඛ පිළිකා මරණ 3ක්

175

රටේ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් දෙවැනියට වැඩිම මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බව එම වැඩසටහනේ අධ්‍යක්‍ෂ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය ඊයේ (27 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවාය.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දන්ත වාර්තාවන්ට අනුව 2019 වර්ෂයේ 15,599 දෙනකු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇතැයි සඳහන් කළ වෛද්‍යවරිය 2020 වර්ෂයේදී අලුත් රෝගීන් 37,649 දෙනකු හඳුනාගෙන ඇතැයි ද පැවසුවාය.

දුම්කොළ භාවිතය අවම කිරීම වෙනුවෙන් මෙරට ක්‍රියාවට නැන්වෙන වැඩසටහන්වල ප්‍රගතියක් දක්නට නොලැබීමෙන් පිරිමින් අතර දක්නට ඇති මුඛ පිළිකා තත්ත්වයේ වර්ධනයක් සිදුව ඇතැයි ද සඳහන් කළ වෛද්‍යවරිය, බොහෝ දියුණු රටවල ඇත්තේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රීත පිළිකා බවත් එම තත්ත්ව වයස අනුව සිදුවුවත් ඉන් මරණ සිදුනොවන බවත් කියා සිටියාය.

නමුත් මෙරට පිළිකා රෝගී වර්ධනයට දුම්කොළ භාවිතය ප්‍රධානතම හේතුවක් වී ඇති නිසා රටේ දුම්කොළ භාවිතයට විරුද්ධව දැඩිව කටයුතු කළ යුතු බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර දිනකට මුඛ පිළිකා රෝගීන් අට දෙනකු මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන දත්ත කාර්යාංශය තොරතුර අනාවරණය කරයි.

එසේම දිනකට මුඛ පිළිකා ආශ්‍රීත මරණ 03ක් පමණ මෙරටින් වාර්තා වන බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment