දවසක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් නාමල්

538

ගොඩබිමක් නොපෙනෙන දියකඳක් සමග පොරබදිමින් ධීවර කාර්මිකයා සිදුකරන්නේ අවදානම් වූ රැකියාවකි. ධීවරයා කොයි මොහොතක හෝ මහ මුහුදේදි අනතුරකට ලක්විය හැක. සැබවින්ම මහමුහුද විටෙක භියකරුය. තවත් විටෙක එය ශාන්තය. පණ රැකදෙන සාගරයම විටෙක පණ නසයි. ගොවියාගේ ජීවිතය කුඹුර හා බැඳෙන්නේ යම්සේද ධීවරයාගේ ජීවිතය මහමුහුද හා බැඳී ඇත්තේය. උස්පහත් වෙමින් නැගෙන රළ ගෙඩි සමග පොරබදිමින් ධීවර කාර්මිකයා සිය ජීවන සටන ජයගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටිති.

අප මේ කියන්නට යන්නේ ද මහ මුහුදේදී අනතුරට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිය පණ නල රැකගත් ධීවර කාර්මිකයකු ගැනය. මෙකී ධීවර කාර්මිකයා පැය 18ක පමණ කාලයක් සිය ජීවිතය බේරාගැනීම සඳහා රළ ගෙඩි සමග පොරබදමින් දැඩි සටනක නිරතවෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය. ඔහු කියන කථාන්දරය ත‍්‍රාසජනකය. මහ මුහුදේදී මොහු ත‍්‍රාසජනක හා බිහිසුණු අත්දැකීම් රැසකට මුහුණ දෙන ලැබීය. මෙකී ධීවර කාර්මිකයා 55 හැවිරිදි වියේ පසුවන නාමල් සමන් ප‍්‍රියන්ත මහතාය. මොහු ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවන් තිදෙනකු පියෙකු වන නාමල් සමන් ප‍්‍රියන්ත තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා ධීවර කර්මාන්තයේ නිරතව සිටියේය. ඔහුට කුඩා කාලයේ සිටම පිහිනීමට දක්ෂයෙකි. මහ සයුර මොහුට අමුතු තැනක් නොවීය.

ලක්විදු 03 නමැති බහුදින ධීවර යාත‍්‍රාවෙන් නාමල්සමන් ඇතුළු ධීවර කාර්මිකයන් 06 දෙනකු ධීවර රක්ෂාව සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත්වූහ. ඒ ජනවාරි මස 07 වැනිදා පස්වරුවේය. ධීවර රක්ෂාවට යෑමට පෙර නාමල්සමන් ඇතුළු ධීවර කාර්මිකයන් 06 දෙනා හික්කඩුව සීනිගම දේවාලයට ගොස් පූජාවක් සිදුකොට දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත්හ. බහුදින යාත‍්‍රවේ ස්කීපර්වරයා වශයෙන් කමන්ත කටයුතු කළේය. 08 වැනිදින උදෑසන කුඩාවැල්ල වෙරළ තීරයට ආසන්නයේදී බහුදින යාත‍්‍රාව නතර කරනු ලැබීය. ඒ දේවොල් දෙවියන් වෙනුවෙන් ආගමික කටයුත්තක් ඉටුකිරීම සඳහාය. පසුව නාමල්සමන් ප‍්‍රියන්ත ඇතුළු ධීවර කාර්මිකයන් 06 දෙනා දිය නා පිරිසිදු වූහ. ඉක්බිත් බහුදින යාත‍්‍රාව පැන්වලින් දෝවනය කොට ගැඹුරු මුහුද දෙසට යාත‍්‍රාව යාත‍්‍රා කරනු ලැබීය.

වෙලාව පස්වරු 1.00ට පමණ වන්නට ඇත. ඒ වනවිට ලක්විදු පුතා බහුදින ධීවර යාත‍්‍රාව තංගල්ල සිට නාවික සැතපුම් 08ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප‍්‍රදේශය දෙසට යාත‍්‍රා කරමින් තිබුණි. ස්කීපර් කමන්ත හැර අනිකුත් ධීවර කාර්මිකයන් 05 දෙනා නින්දට ගොස් තිබුණි. නින්දෙන් අවදි වූ නාමල් සමන් ප‍්‍රියන්ත මුත‍්‍රා කිරීම සඳහා ගියේය. ඒ සමග ඔහු බෝට්ටුවෙන් මුහුදට ඇද වැටුණි. නාමල් පිහිනමින් කෑගසන්නට විය. එහෙත් ධීවර යාත‍්‍රාවේ සිටි අනිකුත් ධීවර කාර්මිකයන්ට නාමල් ප‍්‍රියන්තගේ කෑගැසීම නොඇසුණි. නාමල් ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ තනිවිය. ඉන්පසු නාමල් මුහුණ දුන් ත‍්‍රාසජනක අත්දැකීම් අප සමග වචන වලට පෙරළුවේ මේ අයුරිනි.

දවසක් මුහුදේ පිහිනා දිවි ගලවාගත් නාමල්

ගාල්ල ධීවර වරායේ සිටි නාවික සැතපුම් 35ක් ඈත දියඹේ තමයි අපි හිටියේ. මුත‍්‍රා කරන්න ගිහින් මම බෝට්ටුවෙන් මුහුදට වැටුනා. මා කෑගැසුවා. නමුත් බෝට්ටුවේ සිටි අයට මගේ කෑගැසීම ඇසුණේ නැහැ. බෝට්ටුව නොපෙනී ගියා. මා පිහිනමින් සිටියා. බෝලයක් වගේ දෙයක් පාවෙනවා දැක්කා. මා පිහිනලා බෝලය අල්ලාගත්තා. ඒක රිජිපෝම් බෝලයක්. කිලෝ 30 – 35ක් විතර බරක් ඉසිලිමට පුළුවන්. එක අල්ලාගෙන මම ගොඩපැත්තට පිහිනුවා. දියවැල් තිබුණේ ගාල්ල පැත්තට. දියවැල් දිගේ තමයි පිහිනමින් හිටියේ. මරණය හා ජීවිතය අතර සටනක් තමයි තිබුණේ මාගේ හිතට ආවේ ජීවිතය කොහොම හරි බේරාගන්නවා කියලා. රාත‍්‍රි කාලයේදී මගේ හිතට භයක් දැනුනා. මා ඒක ගණන්ගත්තේ නැහැ. උදේ ඉර පායන විට පොඩි පොඩි මාළු රෑනක් මා වටකරගෙන හිටියා. මාළුන්ගෙන් කිසිදු කරදරයක් වුණේ නැහැ. උදෑසන වන විට මා හොඳටම හෙම්බත්වෙලා හිටියේ. මරණයේ දොරකොඩ ළඟට මාව කැඳවාගෙන ගොස් තිබුණා. රූමස්සල කන්ද චෛත්‍ය පෙනුනා.

ජීවිතය ගැන ආශාව අත හැරියා. පිහිනීමට තරම් ශක්තියක් මට තිබුණේ නැහැ. දියේ ඉන්න තමයි උත්සාහ කළේ. පැයක් විතර දියේ ගිලි ගිලී හිටියා. ඒවනවිට මා ජීවිතය ගැන තිබූ ආශාව අත්හැරලා තිබුණේ. මට පවුලේ අය මතක් වුණා. හිතට ඇතිවුණේ වේදනාවක්. නමුත් මට නිකමට හිතුනා දේවොල් දෙවියන් මට පිහිට වේවි කියලා. නාවික හමුදාවේ යාත‍්‍රාවක් මා ඉන්න පැත්තට යාත‍්‍රා කරනවා මා දැක්කා. මා අත ඔසවලා කෑගැසුවා. ඒ වනවිට මට වතුර පෙවී ගිලෙමින් තමයි හිටියේ. මගේ වාසනාවට නාවික හමුදාවේ යාත‍්‍රාව මා ඉන්න පැත්තට යාත‍්‍රා කළා. මගේ හිතට අමුතු ශක්තියක් පණක් ආවා. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් ඇතිවුණා. නාවික හමුදාවේ දෙන්නෙක් ටියුබ් එකක් අරගෙන මා ඉන්න දෙසට පිහිනා ආවා. මාව ටියුබ් එක මත තියාගෙන නෞකාව දෙසට තල්ලූ කරගෙන ගියා. ඇත්තටම මට ඒ අවස්ථාවේ නෞකාවේ ඉණිමගට ගොඩවෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. නාවික නිලධාරීන් මාව ඔසවා නෞකාවට අරගෙන මට ප‍්‍රතිකාර කළා. පසුව වෙනත් ඩෝරා යාත‍්‍රාවකින් මාව ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කළා. බහුදින යාත‍්‍රාවේ හිටපු අය මම මුහුදට වැටී ඇති බව දැනගෙන තියෙන්නේ පැය 04කට පමණ පස්සේ යැයිද නාමල් සමන් ප‍්‍රියන්ත සිය අත්දැකීම් විස්තර කරමින් එසේ කීවේය. නාමල් සමන් මෙවැනි ත‍්‍රාසජනක අත්දැකීමකට මුහුණදුන් මෙය පළමු අවස්ථාව නොවන අතර මීට වසර තුන හතරකට පමණ ඉහතදිත් නාමල් සමන් මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නේය. ඔහු ඒ කථාවද අප සමග කීවේය.

මීට වසර තුන හතරකට පමණ ඉහතදී ගල්පරයකට වැදිලා අපි රක්ෂාවේ ගියපු බෝට්ටුව අනික් පැත්තටම පෙරළුණා. රන්න මුහුදු තීරයේදී තමයි මේ අනතුර වුණේ. මා කැබින් එක ඇතුළේ හිරවෙලා හිටියේ. මට එළියට එන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. ඉස්සරහ දොරෙන් එන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. වතුර යට කිමිදිලා පස්සේ දොර හොයාගෙන තමයි බෝට්ටුවෙන් එළියට ආවේ. ඒ අවස්ථාවේ බෝට්ටුවේ තිබූ දැල් වගයක් මාගේ පාදවල පැටලිලා තිබුණේ. කොහොම හරි දැල් කඩාගෙන විත් ඒ අවස්ථාවේ මට මගේ ජීවිතය බේරාගන්න හැකිවුණා. නාවික හමුදාව නැත්නම් මේදා පාර මට මගේ ජීවිතය බේරාගැනීමට හැකිවන්නේ නැහැ. මට කුඩා කාලයේ ඉඳල හොඳට පිහිනීමට පුළුවන්. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මුහුදු රක්ෂාවෙන් සමුගන්න තමයි මා තීරණය කරලා තියෙන්නේ යැයි නාමල්සමන් ප‍්‍රියන්ත කීවේය.

ගාල්ලේ සිට නාවික සැතපුම් 07 ක් (කිලෝ මීටර් 13ක්) පමණ දුරින් වූ දකුණු මුහුදු ප‍්‍රදේශයේ බෝයාවක ආධාරයෙන් මෙම ධීවර කාර්මිකයා පාවෙමින් සිටියදී, දකුණු නාවික විධානයට අයත් ඒ 543 යාත‍්‍රාව මඟින් නිරීක්ෂණය කර කඩිනමින් මොහු බේරා ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි. මෙකී ධීවර කාර්මිකයා පැය 18කට අධික කාලයක් ජලයේ පා වෙමින් සිටීම හේතුවෙන් දුර්වල තත්ත්වයේ සිටි බවත් එම ධීවර කාර්මිකයා වෙත ඒ 543 යාත‍්‍රාව තුළදී අවශ්‍ය මූලික ප‍්‍රථමාධාර ලබා දුන් බවද නාවික හමුදාව පවසයි. අනතුරුව, දකුණු නාවික විධානයට අයත් පී 107 වෙරළබඩ මුර යාත‍්‍රාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ඉදිරි ප‍්‍රතිකාර කටයුතු සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

දිය කඳ සමග පොරබදිමින් සිය රැකියාවේ යෙදෙන ධීවර කාර්මිකයාගේ ජීවිතය කෙතරම් අවදානම් සහිත දැයි මේ තුළින් පැහැදිලි වන්නේය. දෙවියන්ගේ භක්තියත් ස්වභාවධර්මයේ විශ්වාසයත් ධීවරයාට අවශ්‍ය වන්නේ මේ නිසාවෙනි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment