දවස් තුනට කෝටි 150ක් සොයයි – පොන්නියන් සෙල්වන් රජ ගමනක

152

ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම් අධ්‍යක්ෂණය කළ පොන්නියන් සෙල්වම් දෙවැනි කොටස පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට ප්‍රේක්ෂකයන් අතට පත්වුණා. අලිරාජා සුභාෂ්කරන් නිෂ්පාදනයක් ලෙසින් එළිදැක්වූ මෙම සිනමා පටය පසුගියදා වාර්තා බිඳහෙළමින් තිරගත වූ පොන්නියන් සෙල්වන් හි දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් තිරගත වේ. බෙන් හෝල්ඩින්ස් ආයතනය සතු ඊ. ඒ. පී. ප්‍රදර්ශක මණ්ඩලය මගින් බෙදා හරිනු ලබන මෙම සිනමා පටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වනු ඇතැයි ඊ. ඒ. පී. සිනමා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීනී සෂිනි කිරිඇල්ල පැවසුවාය. ඒ කථාව සත්‍යයක් කරමින් පොන්නියන් සෙල්වන් 2 තිරගත කර දින 3 ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඉන්දියානු රුපියල් කෝටි 100 සීමාව පසුකර යන්නට සමත් වුණා. මේ වන විට එය ලොව පුරා තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 150ක් බව පැවසෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙය ඇමරිකානු ඩොලර් මිලියන 3.645ක් උපයා තිබෙනවා.

බොහෝ දෙනා පවසන්නේ පොන්නියන් සෙල්වන් පළමු කොටස ලබාගත් ආදායම පසුකරන්නට දෙවන කොටසට හැකියාවක් ලැබෙන එකක් නැහැ කියලයි. නමුත් ඒක එහෙම නෙවෙයි කියල මේ වනවිටත් චිත්‍රපටය ඔප්පු කරලා ඉවරයි. ඒ කොහොම වුණත් පොන්නියන් සෙල්වන් පළමු කොටස තිරගත කිරීමෙන් ඔවුන් ලබාගත් ආදායම ඉහළ එකක්. ඒ නිසා දෙවැනි කොටසින් ඔවුන් ලබාගන්නා ඕනෑම මුදලක් චිත්‍රපටයේ ආදායමට අමතරව ලැබෙන ප්‍රසාද දීමනාවක් වෙයි කියලයි විචාරකයන් නම් කියන්නේ. පොන්නියන් සෙල්වන් දෙවැනි කොටස මගින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නේ, මිය ගිය බවට අනුමාන කළ අරුන්මෝෂි වර්මන් නැවත පැමිණීම සහ නන්දිනී තම පවුල ඔවුන්ගේ නිවසින් පන්නා දමා තම පියා මරා දැමීම සම්බන්ධයෙන් චෝලයන්ගෙන් පළිගැනීමේ කතා පුවතයි.

දවස් තුනට කෝටි 150ක් සොයයි - පොන්නියන් සෙල්වන් රජ ගමනක
දවස් තුනට කෝටි 150ක් සොයයි - පොන්නියන් සෙල්වන් රජ ගමනක

පොන්නියන් සෙල්වන් දෙවැනි කොටස පිළිබඳව එහි අධ්‍යක්ෂකවරයා වන මනිරත්නම් ෆිල්ම් ෆෙයාර් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. එහි ඔහු සිනමාපටය පිළිබඳව වගේම ප්‍රේක්ෂකයන්ට එයින් ලැබෙන රසවින්දනය පිළිබඳවත් පවසා තිබුණා. “පොන්නියන් සෙල්වන් කියන්නේ මගේ හිතේ තිබුණු සිහින ව්‍යාපෘතියක්. මෙය සම්පූර්ණ වෙන්නේ එහි දෙවැනි කොටසත් සමගින්. දෙවැනි කොටස නරඹන්නේ නැතිව කතාවේ අවසානය තේරුම් ගන්න අපහසුයි. ඒ නිසාමයි ඔබ පොන්නියන් සෙල්වන් නැරඹිය යුත්තේ. පළමු කොටස තුළ ඔබ ලබපු රසාස්වාදය කිසිම අඩුවකින් තොරව දෙවැනි කොටසිනුත් ඔබට දැකගන්න පුළුවන්.”

පොන්නියන් සෙල්වන් නිෂ්පාදනය කරන්නේ දක්ෂ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම් විසින් සහ සුබාෂ්කරන් අලිරාජා විසින්. පළමු චිත්‍රපටය අවසන් වුණේ ප්‍රේක්ෂකයින් තුළ කුතුහලයක් ඇතිකරමින්. අරුන්මෝෂි වර්මන් ට ඇත්තටම සිදු වූයේ කුමක්ද? ක්ෂණික නමුත් බලපෑම් සහගත ලෙස පෙනී සිටින අද්භූත කාන්තාව කවුද? වැදගත්ම දෙය නම්, චෝල රාජධානිය සඳහා වූ අනුප්‍රාප්තික සටනට සිදු වූයේ කුමක්ද? යන්න පිළිබඳව ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන්.

දවස් තුනට කෝටි 150ක් සොයයි - පොන්නියන් සෙල්වන් රජ ගමනක
දවස් තුනට කෝටි 150ක් සොයයි - පොන්නියන් සෙල්වන් රජ ගමනක

මේ වන විට ලොව පුරා අති සාර්ථකව තිරගත වන පොන්නියන් සෙල්වන් චිත්‍රපටයේ දෙවන කොටස ශ්‍රී ලංකාව තුළ බෙදා හරින්නේ ඊ.ඒ.පී චිත්‍රපට සමාගමයි. ඒ වෙනුවෙන් ඔවුන් මේ වන විටත් සිනමා ශාලා රැසක් වෙන්කර තිබෙන අතර සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ද ආරම්භ කර තිබෙයි. ඒ අතර, මෙරට ජනප්‍රිය නළු නිළියන් සහභාගී කරවාගනිමින් සිදුකරනු ලබන දර්ශනවාර බොහෝ දෙනා ගේ අවධානය දිනාගෙන තිබෙනවා. සිනමාපටය පිළිබඳව නිෂ්පාදක සුබාෂ්කරන් අලිරාජා පවසන්නේ මෙවැන්නක්. “ඇත්තටම අපි සතුටු වෙනවා මෙවන් නිර්මාණයක් කරන්න ලැබීම ගැන. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ සඳහා ජාත්‍යන්තර අවධානය ලබාගැනීමයි. කියන්න සතුටුයි මේ වන විටත් අපි බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙය ඉදිරි ගමනට සුබ ලකුණක්.”

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment