දවස් දෙකකින් ගල් අඟුරු නාවොත් පැය දහයක් රටම කළුවරේ?

470

කාලය ක සිට මෙරට ජනතාවට හොඳ කාලයක් උදාවූයේ නැත. රට තුළ තිබුණේ අවුල් වියවුල් ගහන කාලයකි. මිනිසුන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවී ගියේ පෝලිම් වලටය. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, හාල් පෝලිම් ආදී පෝලිම් රාශියක අද්දැකීම් විඳීමට මෙරට ජනතාවට අවස්ථාව උදාවූයේ වසර 50 කට පමණ ඉතිහාසයකට පසුවය. පෝලිම්වල හෙම්බත් වී නිවසට පැමිණි ජනතාවට ඊළඟට බැට දුන්නේ විදුලි බලමණ්ඩලයයි. ඒ වැඩ නිමවා නිවසට එන ජනතාව කරුවලේ තබමිනි. මුලින් මුලින් පැයක් දෙකක් රාත්‍රියට විදුලිය විසන්ධි කරමින් ආරම්භ කළ විදුලි කප්පාදුව අවසානයේ නතර වූයේ දවසට පැය 13 ක් තරම් කාලයක් විදුලිය විසන්ධි කරමිනි.

කුඩා කර්මාන්තයක් කරගෙන ජීවිකාව ගෙනගිය පුද්ගලයාගේ සිට මහා පරිමාණ කර්මාන්තශාලා දක්වාත්, තේ කඩයේ සිට තරු පහේ හෝටලය දක්වාත් ආදී ලෙස සියලු දෙනාටම එකසේ දුක් පීඩා ගෙනදුන් විදුලි අර්බුදය නිරිත දිග මෝසම සක්‍රීය වීමත්, යම් තරමකින් බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීමත් නිසා සමනය විය. එය මේ වන විට පැයක පමණ කාලයකට අඩුවී ඇත. නමුත් අලුයට ගිනි පුලිඟු පවතින්නාක් මෙන් විදුලි අර්බුදය විටින් විට අපට රැවුම් ගෙරවුම් හෙළයි.

යළි විදුලි කප්පාදුවක පෙරනිමිති

මෙවර අර්බුදය නිර්මාණය වී ඇත්තේ අඟුරු සම්බන්ධයෙනි. අප සතුව විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු පවතින්නේ ඔක්තෝබර් 20-25 වැනි කාල පරාසයක් දක්වා පමණි. එම නිසා ඔක්තෝබර් 20 ට පෙර ගල් අඟුරු සපයා ගත යුතුය. මෙරට විදුලි බල පද්ධතියේ මූලික අඩිතාලම වැටෙනුයේ ගල් අඟුරු මගින් නිපදවන විදුලිය මතය. එම ප්‍රමාණය ජාතික පද්ධතියට අහිමි වුවහොත් නැවතත් පැය 10 -12 කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ සභාපති අනිල් රංජිත් මහතා පවසයි.

ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් පිරිසක් සිටී. ඔවුන් ලංකා ගල් අඟුරු සමාගමේ අනුමැතියට යටත්ව ලියාපදිංචි වී සිටිය යුතුය. ගල් අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවනු ලබන්නේ එසේ ලියාපදිංචි වූ සැපයුම් කරුවන්ගෙනි.

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

දවස් දෙකකින් ගල් අඟුරු නාවොත් පැය දහයක් රටම කළුවරේ?

සෑම සතියකම සඳුදා දින ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන සැපයුම්කරුවන් ඒ සඳහා අයැදුම්පත් මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා ලංකා ගල් අඟුරු සමාගමට භාරදිය යුතුය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මගින් පත් කරනු ලබන ලංසු විවෘත කිරීමේ කමිටුවක් මගින් සෑම සතියකම සඳුදා දින 10 ට අයැදුම්පත් විවෘත කර ස්ථාවර තාක්‍ෂණික ඇගයීම් කමිටුව මගින් ඇගයීමට ලක්කර විශේෂ ප්‍රසම්පාදන කමිටුවක් වෙත අදාළ නිර්දේශ ලබාදේ. ඔවුන් අනුමත කිරීමෙන් පසු ලියාපදිංචි කිරීමට අවශ්‍ය අනුමැතිය ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාට ලබාදේ. ඒ අනුව අවශ්‍ය කටයුතු කර ලියාපදිංචිය අවසන් කෙරේ.

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය

ගල් අඟුරු ටොන් මිලියන 4.5 ක් මිලදී ගැනීමේ අපේක්‍ෂාවෙන් මීට මාස 2 කට පමණ පෙර මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් සමඟ බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කොට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා වර්ෂ 2 කට අවශ්‍ය වන ගල් අඟුරු ප්‍රමාණය සම්පාදනය කරගැනීමට ටෙන්ඩර් කැඳවීමට තීරණය කළ අතර ඒ සඳහා පෙර ලියාපදිංචි වූ සමාගම් වලින් ලංසු කැඳවනු ලැබීය. එහිදී සමාගම් දෙකක් පමණක් එයට ඉදිරිපත් වූ අතර එයින් එක් සමාගමක් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකන් ඩොලර් 328.22 ක මුදලක් ඉදිරිපත් කළ අතර අනෙක් සමාගම නිශ්චිත මිලක් සටහන් නොකළ අතර කොන්දේසි කිහිපයක් පමණක් ඉදිරිපත් කළේය.

එසේම මේ වනවිට එලෙස ටෙන්ඩර් පටිපාටියට ඉදිරිපත් නොවූ Unsolicited යෝජනා කිහිපයක්ද ලැබී තිබිණි. එයින් එක් සමාගමක් ඇමරිකන් ඩොලර් 554.72 ක යෝජනාවකුත් 526.18 ක තවත් යෝජනාවකුත් අනෙක් සමාගම 370.31 ක යෝජනාවකුත් ඉදිරිපත් කර තිබිණි. මෙකී සමාගම් සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියට ඉදිරිපත් වන ලෙස යෝජනා කළද ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත.

ටෙන්ඩරය පිරිනැමීම

අවසානයේ ටෙන්ඩර් පටිපාටියට අනුව ඊට ඉදිරිපත්ව සිටි සමාගමට ටෙන්ඩරය හිමිවිණි. ඔවුන් ගල් අඟුරු සැපයීමෙන් පසු මුදල් ගෙවීමට මාස හයක සහන කාලයක්ද ලබාදී තිබුණු අතර එයද ටෙන්ඩරය පිරිනැමීමට විශේෂ කාරණාවක් විය. ටෙන්ඩරය පිරිනමා දින 2 ක් ගතවන විට එනම් අගෝස්තු 12 දින ඉහත සඳහන් කළ ටෙන්ඩර් ක්‍රියාවලියට ඉදිරිපත් නොවූ ප්‍රථම සමාගම ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 290 බැගින් සැපයිය හැකි බවත් ඒ සඳහා වන මුදල් වලින් 50% ක් ඩොලර් වලිනුත් ඉතිරි මුදල් වසර 5 කින් රුපියල් වලිනුත් ගෙවිය හැකි බවත් ඒ හරහා ලක් රජයට ඇමරිකන් ඩොලර් මිලියන් 700ක වාසියක් හිමිවන බවත් දන්වා තිබේ. මුලින් ඇ. ඩො. 554.72 කියූ සමාගම ම පසුව 290 බැගින් සපයන බව පැවසීමෙන් පෙනී යන්නේ ඔවුන් ශ්‍රී ලංකාව සතුව ඩොලර් නැති බව දන්නා නිසා ණයට දීමෙන් අප සූරි කමින් අධික ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි.

අර්බුදය නිර්මාණය වීම

කටයුතු මෙසේ සිදුවෙද්දී ඕමල්පේ සෝභිත හිමියන් විසින් මෙම ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. ඒ තුළින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු, අඩුම ලංසු මුදලට නොදීම හා වෙනත් සමාගම් මේ සඳහා ඇතුළත් කිරීම ආදී කරුණුය. තෝරාගත් අදාළ සමාගම දින 14 ක් තුළ තැන්පත් කළ යුතු ඩොලර් මිලියන 40 ක ස්ථාවර බැඳුම්කරය තැන්පත් නොකර මෙරටට දන්වා ඇත්තේ නෛතික කටයුතු හා වෙනත් හේතු නිසා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අභියෝගයට ලක්කර ඇති බැවින් අදාළ නඩු කටයුත්ත දීර්ඝව ඇදී ගියහොත් ඒ තුළින් ඔවුන්ට මුදල් අහිමි වේ යන සැකය මත අදාළ නඩු කටයුත්ත අවසන් වූ පසුව මෙම ගනුදෙනුව සිදුකළ හැකි බවයි.

එසේම මෙම සමාගමට ලිපියක් යවන ඩොලර් 290 ට ගල් අඟුරු සපයනවා යැයි පැවසූ සමාගම පවසා ඇත්තේ මෙම ලංසු ක්‍රියාවලියට පැමිණියහොත් නඩු පවරන බවයි. අවසානයේ මෙම සියලු ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ගල් අඟුරු සැපයීමට තෝරාගත් සමාගම ගල්අඟුරු සැපයීමට මැලිකමක් දක්වයි. ඒ නිසා මේ වනවිට ගල් අඟුරු ආනයනය ඇනහිට තිබේ. ගල් අඟුරු අවසන් වීමට තවත් ඇත්තේ මසකටත් වඩා අඩු කාලයකි. මෙම මාසයක පමණ කාලය තුළ කුමන සමාගමක් සමඟ හෝ ගිවිසුම්ගතව මෙරටට පාඩුවක් නොවන ආකාරයට විනිවිද භාවයෙන් යුතුව ගල්අඟුරු නොගෙනාවොත් නැවතත් ජනතාව මතකයට නගාගත යුත්තේ දවසෙන් භාගයක් විදුලි නොමැතිව සිටි කාලයයි.

ගල් අඟුරු අවශ්‍යතාව හා ගෙන්වන කාලය

ලක්විජය බලාගාරයේ දෛනික ගල් අඟුරු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 7500 ක් බව කියනු ලැබේ. මේ සඳහා අවශ්‍ය ගල් අඟුරු වසරේ සෑම මාසයකම ගොඩබෑම සිදුකළ නොහැක. ඒ වාරකන් කාලය නිසාය. සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ පමණක් ගල් අඟුරු ගොඩබෑම සිදුවේ. අවුරුද්දේ ඉතිරි මාස 6 සඳහාද ප්‍රමාණවත් වන ලෙස ගබඩා කළ යුතුය. මෙහි ගබඩා කළ හැකි ප්‍රමාණය ගල් අඟුරු ටොන් මිලියන 1.2 කි.

පාර්ලිමේන්තුව තුළද වාද විවාද

ගල් අඟුරු ගෙන ඒමේදී වංචාවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුව තුළද විටින් විට වාද විවාද සිදුවිය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජහමහ මහතාද පැවසුවේ සුවිශාල වංචාවක් සිදුව ඇති බව බැලූ බැල්මට පෙනීයන බවත් ඒ පිළිබඳ සැකයක් පවතින බැවින් මේ පිළිබඳ පුළුල්ව සොයා බැලිය යුතු බවයි. එසේම මේ සඳහා රාජපක්‍ෂවරුන්ගේ සම්බන්ධයක් පවතින බවද ඔහු පැවැසීය.

එසේම මේ ගනුදෙනුව පිළිබඳ පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, හර්ෂ ද සිල්වා ආදී බොහෝ දෙනෙක් ප්‍රශ්න කර ඇත. මේ නිසා කංචන විජේසේකර ඇමැතිවරයා පැවසුවේ හැකි ඉක්මනින් මේ පිළිබඳ කාරක සභාවක් පත්කර එහි සභාපති ධුරය විපක්‍ෂයට ලබාදෙන බවයි.

අධිකරණයේ නඩු කටයුත්තක් පවතින බැවින් හා ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇත්දැයි හා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන විගණකාධිපතිවරයා සිදුකරන බැවින් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන වැඩිදුර තොරතුරු පසුව ඉදිරිපත් කිරීම සුදුසු වේ. එතෙක් පැවසීමට ඇත්තේ ජල විදුලිය නිසි පරිදි නොලැබුණොත්, ගල් අඟුරුද මේ වනවිට ඉතාමත් සීමිත බැවින් අවසානයේ පිහිටට ඇත්තේ ඉන්ධන මගින් ක්‍රියාත්මක තාප බලාගාර වල පිහිට පමණක් බවයි. මේ සැරසෙන්නේ ඒ හරහා වැඩි මිලට විදුලිය මිලට ගැනීමටද විය හැකිය. විදුලි බිලත් අහස උසට නැග ඇති බැවින් ජනතාවට කරුවලේත් හිඳ මාසය අවසානයේ දහස් ගණන් බිල් ගෙවීමටනම් සිදුවනවා නියතය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment