දශක දෙකකට උඩ තිබුණු ‘ක්‍රිකට් බ්‍රෑන්ඩ්’ එකට අපි යනවා – ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ කියයි

652

දශක දෙකකට පමණ ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ලෝකයේ ‘බ්‍රෑන්ඩ්’ එකක් බවත් වසර දෙකක පමණ කාලයක සිට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කරන දක්ෂතාවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව නැවතත් එම ‘බ්‍රෑන්ඩ්’ එක බවට පත් වීමේ සලකුණු බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සඳහන් කළේය.

ඒ සඳහා කණ්ඩායමේ සියලු දෙනා එකට එක්වී කටයුතු කරන බවත් එසේ ඇති වී තිබෙන එකමුතුව එම බ්‍රෑන්ඩ් එක කරා ළගා වීමේ අඩිතාලම බවත් පෙරේදා තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු 17 කදී නොදැවී ලකුණු 25ක් ලබා ගත් භානුක රාජපක්ෂ සඳහන් කර සිටියේය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඩුබායි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ එසේ පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සුපිරි හතර වටය යටතේ පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 6කින් ජය ගත් අතර ඒ සමගම ඉන්දියාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථා අල්ප වූ අතර ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවන් ඉතා ඉහළ මට්ටමකට පැමිණියේය.

කුමන ආකාරයේ තරගාවලියක වුවද ඉන්දියාව වැනි ලොව ප්‍රබල කණ්ඩායමක් පරාජයට පත් කිරීමට හැකිවීම විශේෂ දෙයක් බවද අවුරුදු දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන මෙම ගමන  ගැන සතුටුදායක බවත් භානුක රාජපක්ෂ පැවසීය.

“අපි හැමෝටම දිනන්න ඕන වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය සියයට 95ක්. ඒත් කාසියේ වාසිය කියන එක අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නොවේ. අපේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වුණේ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ලබා ගත් ආරම්භයයි. ඊට පසුව අපි ලකුණු ලබා ගැනීමේ වේගය හොඳින් පවත්වා ගෙන ගියා. ඒ වගේම ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමක් ලකුණු 165-170 සීමාවේ තබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. ලකුණු 170 සීමාවේ ඉන්දියාව නතර කර ගන්නට හැකි වුණා කියන්නේ එතනින්ම අපට දිනන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනැගුණා.”

ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා ලකුණු 97ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් සහ පැතුම් සුසංයෝගය මෙවර තරගාවලියේ ඕනෑම කණ්ඩායමක් පළමු කඩුල්ල සඳහා වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය වාර්තා කළේය.

“අපි කණ්ඩායමේ හැමෝම එකමුතුවෙන් ලබා ගත් ජයග්‍රහණ නිසා තමයි තරගාවලියේ මෙතරම් දුරට පැමිණීමට හැකි වුණේ. අවුරුදු දෙකක පමණ පටන් අපේ මෙම කණ්ඩායම සහෝදරත්වයෙන් විශ්වාසනීය ගමනක් පැමිණියා. වෙනස්කම් කරන කොට විශ්වාසය ගොඩනගා ගන්න අමාරුයි. ඉන්දියාව සහ පකිස්තානය කියන්නේ

ගොඩක් දක්ෂ කණ්ඩායම් දෙකක් බව ලෝකයම දන්නා කරුණක්. එළඹෙන පකිස්තාන තරගයද ජයග්‍රහණය කිරීම තමයි බලාපොරොත්තුව.”

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලද එම ජයග්‍රහණයත් සමග මෙම තරගාවලිය තුළ ඔවුහු ලකුණු 170කට වැඩි ඉලක්කයන් හඹා ගොස් ලද තෙවැනි ජයග්‍රහණය බවට එය පත් විය. මීට පෙර බංග්ලාදේශයට එරෙහිව ලකුණු 183ක්ද, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 175ක්ද හඹා ගොස් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණයන් අත්කර ගත්හ.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවසන් පන්දු වාරයේ ලකුණු 7ක් අවශ්‍යව තිබුණි. එම පන්දු වාරය ක්‍රියාත්මක කළ ආර්ශ්දීප් සිංගේ පන්දු යැවීම පිළිබඳව අදහස් දැක්වූ භානුක පැවසුවේ, ඔහු යෝකර් පන්දු යැවීමට දක්ෂයෙක්. ඔහු සමග අපි අයිපීඑල් ක්‍රීඩා කර තිබෙනවා. දසුන් මා සමග එම පන්දු වාරයේ රැඳී සිටීම ලොකු වාසියක් වූ බවත්ය.

අංක 3 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙන චරිත් අසලංක යනු පන්දු වාර 20-20 තරග පිටියේ ලකුණු 23කට වඩා පිතිකරණ සාමාන්‍යක් රඳවා ගෙන සිටින පිතිකරුවෙකු බවත් ඔහු ඉක්මනින් ලකුණු අතරට එනු දැකීම කණ්ඩායමේ බලාපොරොත්තු වී ඇති බවත්ය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment