දශක හතක් පුරා මාධ්‍ය කේෂ්ත්‍රයට  සරත් ධර්මසේන විශාල මෙහෙවරක් ඉටුකළා – ගැටබේරිකන්දේ රතනසිරි නාහිමි

151

මාධ්‍යයේ අලුත් පරපුරට එතුමා ගුරුවරයෙක් වුණා – ‘දිවයින’ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේන අවමඟුල් උත්සවය

දශක හතක් පුරා මාධ්‍ය කේෂ්ත්‍රයට  සරත් ධර්මසේන විශාල මෙහෙවරක් ඉටුකළා - ගැටබේරිකන්දේ රතනසිරි නාහිමි

පුරා දශක හතකටත් අධික කාලයක් සිය පෑන හසුරුවමින් විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක නිරත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේන මහතාගේ අභාවය රටට දැයට සමාජයට පිරිමැසිය නොහැකි පාඩුවක් බව පෑලියගොඩ ශ්‍රී ජයතිලකාරාමාධිපති පූජ්‍යපාද ගැටබේරිකන්දේ රතනසිරි නාහිමිපාණෝ පෙරේදා (14 වැනිදා) පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ දවස, දිවයින හා අරුණ පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස හිඳිමින් විශිෂ්ට සමාජ මෙහෙවරක නිරත වූ සරත් ධර්මසේන මහතාගේ දේහය පිළිබඳ අවමඟුල් උත්සව සභාවේදීය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේන මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසුවිය. ඒ මහතා ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදී රනිල් ධර්මසේන මහතාගේ පියාණන් විය.

තවදුරටත් කතා කළ පූජ්‍යපාද ගැටබේරිකන්දේ රතනසිරි නාහිමිපාණෝ මෙසේද කීහ.

කෙනෙක් ජීවත්වෙලා ඉන්නකොට තමයි සැලකිලි සම්මාන උපහාර දක්වන්න ඕනෑ. ඒ දේවල් හොඳට සරත් ධර්මසේන මහතාට ලැබුණා. ආදරණීය නෝනා මහත්මිය අපි පුංචිකාලයේ ඉඳන්ම දන්නවා. මේ දරුවෝ වුණත් එහෙමයි. පන්සලට දානමාන පූජා කරමින් නිරන්තරයෙන්ම පන්සලත් එක්කම ඉන්න පිරිසක් තමයි මේ ධර්මසේන පවුල.

ධර්මසේන මහත්මාගේ බාල පුතණුවන් වන රනිල් ධර්මසේන මහත්මයා දැන් තාත්තාගේ පුරප්පාඩුවට ඇවිත් ‘දිවයින’ පුවත්පතේ සේවය කරනවා. පන්සලේ සෑම දෙයක්ම එතුමා ‘දිවයින’ පුවත්පතේ පළකරලා දෙනවා.

ධර්මසේන මහතා අසනීපවෙලා මාස ගණන් ඇඳේ ඉඳලා නෙමෙයි මියගියේ. මේ ඇතිවෙච්ච පුංචි තුවාලයක් හේතුකොටගෙන විෂබීජයක් ශරීරගතවීමෙන් තමයි ජීවතක්ෂයට පත්වුණේ.

අද බොහෝ දෙනෙක් සදාකල් ජීවත්වෙන මිනිස්සු හැටියට තමයි ජීවත්වෙන්නේ. හැමදාම අපි ජීවත්වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.

මෙහිදී පැවිදි අනුශාසනාවක් සිදුකළ බප/කැළ ගුරුකුල විදුහලේ නියෝජ්‍ය විදුහල්පති, කැලණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත ඕමල්පේ ධම්මාලෝක හිමි :-

‘ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේන මහත්මයා මේ රටට, සමාජයට, ප්‍රදේශයට සුවිශාල මෙහෙවරක් ඉටුකරපු කෙනෙක්. මාධ්‍ය හරහා එතුමා විශාල සමාජ මෙහෙවරක් කළා. පාට, පක්ෂ, දේශපාලනයෙන් තොරවයි එතුමා මේ කටයුතු කරගෙන ගියේ. එතුමා කරපු මෙහෙවර නිසා තමයි මේ තරම් විශාල පිරිසක් එතුමාගේ නිවසට මේ ඇවිත් ඉන්නේ. මේ ආදරණීය මෑණියෝ සරත් ධර්මසේන මහත්මයත් එක්ක මේ ප්‍රදේශයේ බොහොම නිහඬ ජීවිතයක් ගතකරපු දෙපළක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මේ දෙපළ මේ රටට, දැයට, සමාජයට වැදගත් දරු පිරිසක් නිර්මාණය කරලා ඔවුන්ටත් ගුණධර්ම කියාදීලා තියෙනවා. ඒ දරුවන්ට නිවැරදි මගේ ගමන් කරන ලෙස අවශ්‍ය උපදෙස් දීලා වසර 85 ක් තරම් දීර්ඝකාලීන වින්දනයක් ලබලා ධර්මසේන මහත්තයා අද මෙලොවින් සමුඅරන් යනවා.

‘දිවයින’ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා –

1960 දශකයේ ඉඳන් දශක හතක් මේ රටේ පුවත්පත් කලාව තුළත් සරත් ධර්මසේන මහතාගේ නම රැඳුණා. 1960 දශකයේ 1962 ඉඳන් 1983 වෙනතුරු මේ රටේ සිද්ධවුණු සුවිශේෂ දේශපාලන සිදුවීම්, ව්‍යවස්ථාමය අර්බුද, මේ සියල්ල පිළිබඳ අධිකරණ තීන්දුවලදී සරත් ධර්මසේන මහතා තමන්ගේ කාර්යභාරය පත්තරවල මුල් පිටුවේ සිරස්තල තබමින් සටන් කළා. මේ සිටින වැඩිහිටි ඔබ දන්නවා ඇති 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හමුවේ මුල සිට අග දක්වා තීන්දු තීරණ සියල්ල අධිකරණය හමුවේ ප්‍රකාශ වුණාම එය වාර්තා කළේ අපේ ධර්මසේන මහත්මා. පත්තර කලාවට ආපු අලුත් පරම්පරාවට එතුමා දන්න දැනුම කියාදෙන්න හැමවිටම ඉදිරිපත් වුණා. ඉංග්‍රීසි සිංහල භාෂා දෙක ගැනම මනා අවබෝධයක් ඔහුට තිබුණා. කවදාවත් මම තමයි දන්නේ කියන සංකල්පය තුළ ඉඳගෙන එතුමා ක්‍රියාකළේ නැහැ. මාධ්‍යයේ අලුත් පරපුරට එතුමා ගුරුවරයෙක් වුණා.

සරත් ධර්මසේන මැතිතුමා විශාල සම්බන්ධතාවයක් තිබුණා. මේ රටේ අධිකරණ කේෂ්ත්‍රයේ මේ රටේ විනිශ්චයකාරවරුන් අතර නීතිවේදීන් අතර තමන් යම් නඩු තීන්දුවක් ලිව්වාම ඒ නඩු තීන්දුවේ යම් අපහැදිලිතාවයක් තිබුණොත් සරත් ධර්මසේන මහතාට පුළුවන්කම තිබුණා ඒ නඩු තීන්දුවේ අපහැදිලි තැන් පිළිබඳව කෙලින්ම විනිශ්චයකාරතුමාට හවස ගිහින් කතා කරලා ඒකේ වරදක් තිබෙනවා නම් අඩුපාඩුවක් තිබෙනවා නම් නිවැරදි කරගැනීමේ අවබෝධය. ඒ තරමටම සරත් ධර්මසේන මහතාගේ ජීවිතය තුළ වියත් බවක් විශ්වාසයක් ඒ සියල්ලටම වැඩි ශිෂ්ට ජීවිත පැවැත්මක් විද්‍යාමාන වුණා.

‘දිවයින’ පුවත්පතටත් අරුණ පුවත්පතටත් එතුමා ආලෝකයක් වුණා. හැමවිටකම හැම සිද්ධියකම අපක්ෂපාතීකමක් තමන් දරන දේශපාලනය කුමක් වුවත් ඒ දේශපාලන මතය තමන්ගේ මාධ්‍යයට ඈඳා නොගෙන සත්‍යය සත්‍ය ලෙස ප්‍රකාශ කරන්න එතුමා ක්‍රියා කළා.

අභාවප්‍රාප්ත සරත් ධර්මසේන මහතා මාධ්‍ය සගයින්ගේ කරමතින් පෑලියගොඩ මීගහවත්ත පොදු සුසාන භූමිය කරා රැගෙන එන දසුන සංවේදී දසුනක් විය. සරත් ධර්මසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීගහවත්ත පොදු සුසාන භූමියේදී සවස 5.00 ට පමණ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සිදුකෙරිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment