දශක හතරකට පසු ඇමෙරිකාවට බෝම්බ හිම කුණාටුවක්

445

ඊයේ (23දා) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව හරහා හමා යෑමට නියමිතව තිබූ බෝම්බ කුණාටුවක් ලෙස හඳුන්වා දී ඇති දරුණු හිම කුණාටුවත් සමගම හට ගන්නා අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් සිරුරෙහි පටකවලට හා සම ඇතුළු බාහිර ඉන්ද්‍රියන්ට හානි පැමිණිය හැකි බවට කාලගුණ විද්‍යා විශේෂඥයන් විසින් ලක්ෂ ගණනක් වන ජනතාවට අනතුරු අඟවා තිබේ.

දශක හතරකට පමණ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට කඩා වැදීමට නියමිත ආක්ටික් කලාපයේ සිට පැමිණෙන මෙම හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ජනතාවට මෙතෙක් මුහුණ දුන් දරුණුතම ශීතල කාලගුණයක් සහිත නත්තලක් මෙවර සැමරීමට සිදු වණු ඇති බවට මේ වන විටත් මිලියන 135කට අධික ජනතාවකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම දරුණු හිම කුණාටුව පිළිබඳව සැලවීමත් සමගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළවල් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බව වාර්තා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් නත්තල් නිවාඩුව සඳහා සිය නිවෙස් බලා යන විශාල පිරිසකට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. හිම කුණාටුවත් සමගම ඇමෙරිකා එක්සත් ජනපදයේ සියයට 80කට වඩා වැඩි ජනතාවකට මෙම සති අන්තයේ ෆැරන්හයිට් අංශක -50හේ (සෙල්සියස් අංශක -45) සිට ෆැරන්හයිට් අංශක -70 දක්වා වන දරුණු ශීතල සහිත කාලගුණ තත්ත්වයකට මුහුණ පෑමට සිදු වනු ඇති බව ජාතික කාලගුණ සේවය නිවේදනය කර තිබේ. මෙම දරුණු හිම කුණාටුවත් සමගම ඇති වන අධික ශීතල කාලගුණ තත්ත්වයට නිරාවරණය වීමෙන් නාසය, කම්මුල්, ඇඟිලි, පාද වැනි ස්ථානවලට ගමන් කරන රුධිරය සීමා වී පටක ඝන වීමෙන් ඇතැම් විට යම් ස්ථානයක සම කපා දැමීමට සිදු විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment