දශක හතරක් තිස්සේ ඉඩම් කොල්ලකයි ආරුගම්බේ!

316

තක්කඩි රජයේ නිලධාරීන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙන මහා ඉඩම් ජාවාරම

රජයේ ඉඩම් හොරාගෙන කෝටි ගණනින් විකුණයි…..
පොතුවිල හොර බලපත්‍ර ගුහාව..
කොළඹින් පරණ මුද්දර ගෙනත් හොර ඔප්පු හදයි
සඳරුවන් අනුරුද්ධ වාර්තාවට මොකද වුණේ..
නිලධාරි හොර ගෙඩියන්ට කිසිදු පරීක්ෂණයක් නැහැ..
රජයට අහිමිවන ආදායම….
හොරුන්ට යටවුණ ලොකු ලොක්කෝ…

සුන්දර ආරුගම්බේ මුහුදු රළ සිප ගනිමින් සිටිති. ලොවම දන්නා සුන්දර ආරුගම්බ පුරවරයේ ඒ සුන්දරතාවය අකා මකා දමමින් දිවෙනා මහා අසුන්දර කථාවන් රැසක් ඇත. ලංකාවේ නීතිරීති කොතෙක් ඇත. ඒත් ඒවා ආරුගම්බෙට, පොතුවිලට වලංගු නැත. බොහෝ දෙනෙක් ඒවා පයිසයකටවත් මායිම් නොකරති. දහසින් බැඳි පියල්ලෙන් වැටුප් ගන්නා බොහෝ නිලධාරීන් මේවා ගැන සොයන්නට සිටියද ඔවුන් බොහෝ දෙනෙකු සිටින්නේ ජාවාරම්කරුවන්ගේ සාක්කු වලය.

නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ මූලිකත්වයෙන් අනාවරණය කරන්නේ හෙණ පිට හෙණ වැදිය යුතු මහා ඉඩම් මංකොල්ලයක සුලමුලයි.

යුද්ධයට පෙර තිබූ රජයේ ඉඩම් බොහෝමයක් දැන් ඇත්තේ ජාවාරම්කාරයන් සතුවය. ආරුගම්බ, ආරුගම්බ කලපුව, උල්ල, කොට්ටුකල්, ඌරණි සහ පොතුවිල අංක 20 කොටසේ විස්කි පොයින්ට් වැනි පොතුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සංචාරක ව්‍යාපාරය සඳහා ඉමහත් වටිනාකමක් ඇති ඉඩම් මේ වන විට තක්කඩි නිලධාරීන්ගේ පිහිටෙන් ඇත්තේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් සන්තකයේය.

● යුද්ධයට පෙර තිබූ රජයේ ඉඩම්වලට මොකද වුණේ..

1983 මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති TOPO P,P 19 INSET 38 සිතියම අනුව මෙම ප්‍රදේශයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණි. නමුත් තිස් වසරක යුද්ධය නිමා වීමත් සමගම මෙම ඉඩම් වලට උදාවූවේ නරක කලදසාවකි.

එම ඉඩම් බොහෝමයක මේ වන විට ව්‍යාජ බලපත්‍ර සහ ප්‍රකාශන ඔප්පු කූට උපක්‍රම යොදා සකසා ඒවා මත ගොඩනගා ඇත්තේ තරු පංතියේ හෝටල්ය. සංචාරක නිකේතනයන්ය.

1970 සිට 1990 දක්වා යුගවල සිටි හිටපු දිසාපතිවරුන්ගේ අත්සන් පවා හොරට යොදමින් මෙම ව්‍යාජ බලපත් සකස් කර ඇත. ඒවාට අවශ්‍ය නිල මුදා ජාවාරම්කරුවන් හොරට සකස් කර භාවිතා කර තිබේ. මෙම ව්‍යාජ ලිපි ලේඛනයන් කාර්යාලයේ ලිපිගොනු තුළ තබන්නට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් තක්කඩි ගල් ආඳන් කටයුතු කරන්නේ කෙදිනකවත් හෝ පරීක්ෂා කළහොත් ඒවා සත්‍ය පිටපත් බවට තහවුරු කරන්නටය.

දශක හතරක් තිස්සේ ඉඩම් කොල්ලකයි ආරුගම්බේ!

ඉඩම් බලපත්‍ර ලබා දෙන්නට නම් ඉඩම් කච්චේරි පවත්වා අදාළ පිරිස තෝරාගත යුතුය. නමුත් හොර බලපත් සකසන්නන්ට ඒ ගැන කිසිදු තැකීමක් නොමැතිව නීතිය තමාගේ අම්මගෙ අප්පගෙ බූදලයක් යැයි සිතමින් රිසිසේ කටයුතු කර තිබේ. මේවාට අදාළ දූෂිත නිලධාරීන්ට සන්තෝසම් ලැබෙන්නේ සල්ලි මිටි පිටිනි. ඇතැමුන්ට ඉතා වටිනා තිළිණයන් පවා ලැබේ.

අනේ මහත්තයෝ මේ පැත්තේ ඉඩම් ගන්න නම් හොඳට සල්ලි වියදම් කරන්න පුළුවන්නම් අමාරු දෙයක් නෙවි. සමහරුන්ට වාහන පවා තෑගි දෙනවා. සමහරු පාටි දෙනවා. අරක්කු බෝතල් විතරක් නෙවෙයි ඇතැම් නිලධාරීන්ට ලස්සන කාන්තාවෝ පවා දිලා හොර බලපත් හදා ගන්නවා. මේවා පරීක්ෂා කරන්න එන නිලධාරීන්ටත් ආරුගම්බේ හොඳ හෝටලයක් බුක් කරලා අවශ්‍ය කළමනා දිලා යද්දි සාක්කුවට ගතමනාවක් දාල වාහනයටත් කිරි මුට්ටියේ සිට කරවල, මාළු ටිකක් දඩමස් ටිකක්, හාල් මිටියක් දෙකක් පැටෙව්වාම එන ගොඩක් නිලධාරීන් බලූ පැටව් වගේ ජාවාරම්කාරයන්ට හීලෑ වෙනවා. ඒවා ගැන කථා කරන්න ගියොත් අපිටත් ඉන්න ලැබෙන්නේ නැහැ යනුවෙන් යැයි තතුදත් අයෙක් නම ලියන්නට එපා යැයි පවසමින් කීවේය.

දශක හතරක් තිස්සේ ඉඩම් කොල්ලකයි ආරුගම්බේ!

නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් වහන්සේ ඉරිදා දිවයිනට මෙලෙස කීවේය.

ආරුගම්බ පුරවරය මේ වන විට සංචාරක පුරවරයක් විලසින් දිනෙන් දින දියුණු වෙනවා. මේ නිසා වෙරළ තීරය, කලපු, ගංගා වැව් ආශ්‍රීත ප්‍රදේශ දැඩි තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මේ වන විට රජය සතු ඉඩම් ජාවාරම්කාර සංවිධානාත්මක පිරිස රජයේ හොර වැඩවලට උදව් උපකාර කරන හොර දෙටු රාජ්‍ය නිලධාරි සහචරයන්ද එකතු කරගනිමින් කරන වැඩපිළිවෙළක් තමයි මේ දක්නට ලැබෙන්නේ. මේක ආරුගම්බේ පමණක් නොව නැඟෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල වෙරළ බඩ කලාපවල ඉතා තදින් තිබෙනවා. ව්‍යාජ බලපත්‍ර පිටපත් ප්‍රාදේශීය කාර්යාලවල තියෙන්නේ කොහොමද? ඒකෙන් හොඳින්ම පැහැදිලි වෙනවා පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් දූෂිත නිලධාරීන් මෙම ඉඩම් ජාවාරමට ඉතා ඉහළ මට්ටමින් සම්බන්ධව සිටිනවා කියලා. අම්පාර නගරයේ ජිවත් වෙන පරම්පරා දෙක තුනක ජනතාවට තාමත් නිවාස ණයක් ලබා ගන්නවත් ඔප්පු ගන්න බැරිවෙලා තිබෙනවා. නමුත් ආරුගම්බේ ජාවාරම්කාරයන්ට හිතෙන හිතෙන ඉඩමට හිතෙන හිතෙන ආකාරයේ ඔප්පු ලබාගන්න, බලපත්‍ර ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඒ නිසා අපි ඉතා අවධාරණයෙන් කියනවා දැන්වත් බලධාරීන්ට මෙම මහා අපරාධ නවතා දමන්න කටයුතු කරන්න කියලා. රටේ නීතිය සෑම දෙනාටම සමාන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න. වහාම හොර ඔප්පු බලපත්‍ර ලබා ගත් ඉඩම් සොයා විශේෂ විමර්ශනයක් සිදුකර ඒවාට සම්බන්ධ රජයේ නිලධාරීන්ට සහ ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් දෙන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එලෙස තීරණ නොගන්නා ජාවාරම්කාරයෝ ඉස්සරහා කොඳු කඩා ගත් නිලධාරීන්ට එරෙහිව අධිකරණයට පවා යෑමට අපි ඉදිරියේදී කටයුතු කරන බවද පූජ්‍ය ගම්පහ නාරද හිමියන් පවසා සිටින්නට වූහ.

● හොර බලපත්‍ර හදන හැටි

ලංකාවෙන්ම හොර බලපත්‍ර වැඩිපුරම හදන්නේ කොතනද කියා ඔබ මෙම ප්‍රදේශයේ අයෙක්ගෙන් ඇසුවොත් ඔබට හිමිවන උත්තරය වන්නේ ඒ පොතුවිල් වල බවය. ඒ ගැන පොතුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කප් ගසා ඇත. ඒ සඳහා කූට උපක්‍රම යොදා ඇත.

මෙම බලපත්‍ර හදන්නට අවශ්‍ය පෝර්මයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් එහි ඉඩම් ජාවාරමට සම්බන්ධ හොර නිලධාරි පිශාචයින් විසින් කලෙක සිට හොරෙන් පන්නා ඇත. ඒවා උපයෝගි කොට ගෙන වසර දහය පහළොව පමණක් නොව වසර විස්ස, විසිපහ ඉහත කාලවකාවනු වලට පවා ඉඩම් බලපත්‍ර මෙන්ම ප්‍රකාශන ඔප්පුද සකස් කරති. ඒ සමයේ සිටි දිසාපතිවරුන්ගේ සිට අදාළ නිලධාරීන්ගේ නම සහිත මුද්‍රාවන් ජාවාරම්කරුවන් සකස් කර තිබේ. ව්‍යාජ බලපත්‍රවලට කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් අදාළ කාලයට ගැළපෙන පැරණි මුද්දර මිලදී ගෙනවිත් අලවනු ලබන්නේ රජය මගින් ලබාදෙන ප්‍රකාශන ඔප්පු හෝ බලපත්‍රවලට ගැළපෙන අයුරිනි.

ඉන් පසු අදාළ දිසාපතිවරයාගේ සිට අවශ්‍ය හොර අත්සන් යෙදීම සිදු කරනු ලබයි. මෙලස සකස් කරගත් බලපත්‍රය හෝ ප්‍රකාශන ඔප්පුව අනුව රජය සතු ඉඩම් තමන්ට අවශ්‍ය පරිදි අල්ලා ගැනීම සිදු කරනු ලබයි.

පොතුවිල මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරනු ලබන පූජ්‍ය උඩතලමත්තේ රතනප්‍රිය හිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

මේ වන විට දිගින් දිගටම මෙම ප්‍රදේශයේ රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම සිදු වෙනවා. මෙලෙස අල්ලා ගන්නා ලද ඉඩම් වලට හොර බලපත්‍රත් හදා ගන්නවා. මේ ආකාරයට අල්ලා ගන්නා ලද ඉඩම් කෝටි ගණනින් අලෙවි වෙන්නේ. සමහර තැන්වල පර්චස් 20 ඉඩම් ගොඩනැගිලි හැදුවහම රුපියල් කෝටි 04ට විකුණනවා. පාරෙන් එහා පැත්තේ හෝටලයක් කෝටි 13ට විකුණන්න හදනවා. හොර බලපත්‍ර හදපු ඉඩම් කෝටි ගණනින් විකුණනවා.

එම්. සී. කනගරත්නම් කියන මහතාට අයත් ඉඩම් තිබුණා. ඒවාත් හොර බලපත්‍ර හදන් අල්ලලා ගොඩනැගිලි ගහලා. සුද්දගේ කාලේ සන්නස් පත්‍රවලින් දීපු ඉඩම් තියෙනවා. ඒවත් හොර බලපත්‍ර හදන් අල්ලලා. හෝටල් ගහලා. වෙරළ සංරක්ෂණයට අයත් මීටර් 300 තුළත් ගොඩනැගිලි හදලා තියෙන්නේ. මීටර් 20 තුරුලතා තීරයත් අල්ලලා ගොඩනැගිලි හදනවා. සමහර මුදලාලිලා ගෝලයෝ දාල ඉඩම් එළිකරනවා. වන සංරක්ෂණයෙන් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරහා ඒ අයට විරුද්ධව නෙරපීමේ නියෝග ගෙනල්ලා උසාවි දානවා. ඒ අයව අයින් කරද්දි අදාළ මුදලාලි කොහොම හරි ඒ ඉඩම අල්ලනවා. නෙරපීම් නියෝග දැම්මත් ඉඩම් මංකොල්ලය නතර කරන්න බැරිවෙලා තියෙනවා. සමහර අය උසාවි යන්නේ හොර බලපත්‍ර අරන්. ඒවා උසාවිය පිළිගන්නවා. ඒ නිසා මෙම දැවන්ත ඉඩම් කොල්ලය පිළිබඳව ඉතා කඩිනමින් සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි වගකිව යුත්තන්ට අවධාරණයෙන් මතක් කර සිටිනවා යනුවෙන් පූජ්‍ය උඩතලමත්තේ රතනප්‍රිය හිමියන් පවසා සිටියහ.

● සඳරුවන් අනුරුද්ධ නිර්දේශයන්

සුනාමියෙන් පසු කඩිනමින් ඉඩම් බලපත්‍ර ලබාදීම සඳහා අත්සන් කිරීමේ බලය නැගෙනහිර බලධාරීන් විසින් ඉඩම් නිලධාරීන්ට සහ ජනපද නිලධාරීන්ට ලබාදී තිබුණි. එය නිලධාරීන්ට රජ මඟුල් කෑමක්ම විය. රිසිසේ හොර ප්‍රකාශන ඔප්පු මෙන්ම බලපත්‍ර හදන්නට වූහ. යහමින් මුදල් උපයන්නට විය. එම ගොන්කම වැටහුන කල බලධාරීන් ඉඩම් නිලධාරීන්ගෙන් සහ ජනපද නිලධාරීන්ගෙන් අත්සන් කිරීමේ බලය ඉවත් කරන්නට වූහ. නමුත් අදටද එම සමයේ දින යොදමින් ඉඩම් බලපත්‍ර සෑදීම සිදුවෙමින් පවතී.

රජය සතු ඉඩම් වාණිජ කටයුතු සඳහා ලබා දෙන්නේ දීර්ඝකාලීන බදු පදනම මතය. දිගින් දිගටම මේ ආකාරයෙන් මෙම පුරවරයේ ඉතා වටිනා රජය සතු ඉඩම් මංකොල්ලය නිසා රජයට ලැබිය යුතු ආදායම නොලැබී ගොස් තිබේ. මෙයට උඩගෙඩි දී රාජ්‍ය ආදායම අහිමි කරන්නේද ජාවාරම්කරුවන්ට උඩගෙඩි දෙන තක්කඩි රාජ්‍ය නිලධාරී පිරිස්මය. පසුගිය සමයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ සඳරුවන් අනුරුද්ධ මහතා ඉතා වටිනා වැඩක් කරන්නට තරම් කොන්දට පණ තිබුණ පරිපාලන නිලධාරිවරයෙකු විය. ඔහු මුදලාලිගේ සාක්කුවට නොවැටී නිසි තීන්දු ගන්නට විය. ජාති බේදයෙන් තොරව ඔහු නිසි තීන්දු ගන්නට විය. ඒ නිසා අසරණ දෙමළ මුස්ලිම් ජනතාවද ඔහුගේ සේවය අගයන්නට වූහ. නමුත් ජාවාරම්කරුවන්ට ඔහු තිත්ත විය.

ඔහුගේ සේවා කාලය තුළ ඔහු ආරුගම්බේ වන විනාශය පිළිබඳව මෙන්ම සෙංගමුව මහා පරිමාණ වන විනාශය පිළිබඳව නිසියාකාර පරීක්ෂණයන් සිදුකර අදාළ බලධාරීන්ට වාර්තාවන් දෙකක් ඉදිරිපත් කරන්නට විය. එහි ඇති නිර්දේශයන් ක්‍රියාත්මක වූවේ නම් ආරුගම්බේ ඉඩම් ආරවුල් නිමාවෙනු ඇත. තක්කඩි අමන වැඩ කරන රාජ්‍ය සේවකයන් හට සිපිරි ගෙයි බතේ රස විඳින්නට සිදුවෙනු ඇත.

නමුත් බලධාරි, නිලධාරි බබාල සූප්පුවත් කටේ ගසාගෙන දොයියා ගෙන ඇත. එසේ නැතිනම් කිසි දෙයක් නොදන්නා හැඟීමක් දැනීමක් නැති ලාදුරු කාරයන්සේ සිටිති. එයටත් හේතු ඇත. ලංකාවේ ඉහළ නිලධාරි බොහෝමයක් ආරුගම්බේ මුදලාලිලා සමග ගජමිතුරන්ය. එනිසා ඔවුනට සහ එවුන්ගේ හත්මුතු පරම්පරාවටම වුවද ආරුගම්බේට පැමිණෙන කල අවශ්‍ය සැප ලබා දෙමින් නොමිලේ අවශ්‍ය පහසුකම් දෙන්නට තරම් ආරුගම්බේ ඇතැම් ජාවාරම්කාර හෝටල් හිමියන් සත් ගුණවත්ව ඇත. ඒ නිසා සත් ගුණවත් හිතවත් මුදලාලිලාගේ හිත රිද්දන්නට ඉහළ පැලැන්තියේ නිලධාරින් අකමැතිය. ඒ ජාවාරම්කරුවන්ගේ ජරාවේ රස දන්නා නිසාවෙනි. ඇතැමුන්ට දෙන ලිංගික අල්ලසේ පහස අමතක කරන්නට බැරිකම නිසා වෙන්නටද පුළුවන.

සඳරුවන් අනුරුද්ධ මහතාගේ වාර්තාවේ නිර්දේශයන් රැසක් ඇත. ව්‍යාජ බලපත්‍ර සහ ව්‍යාජ ප්‍රකාශන අවලංගු කළ යුතු බවද සඳහන් කර ඇත. නිලධාරි පිරිස් ද මේවාට සම්බන්ධ බව දක්වා ඇති අතර ඔවුනට විධිමත් පරීක්ෂණයන් කර දැඩි දඬුවම් ලබාදිය යුතු බවය. ඒවායෙන් කියවෙන්නේ වැරදි ආකරයෙන් සකස් කර ඇති බලපත් සහ ප්‍රකාශන ඔප්පු සියල්ලම අවලංගු කළ යුතු බවය.

ජාවාරම්කාර හොර නඩය රඟපාන්නේ හොද්ද රත් වෙනතෙක්ය. නමුත් හොද්ද ළිපේ තියා හැඳි ගාන්නට කොන්ද පණ ඇති අවංක නිලධාරීන් අවශ්‍යව තිබේ. එලෙස නිලධාරින් හමුවූ විට සිදුවන්නේ කන්තලේ සීනි සමාගමෙන් යළි අරඹන්නට යෑමේදී අල්ලස් ගන්නට ගිය හිටපු පරිපාලන නිලධාරියෙක් වන පියදාස දිසානායකට සිදුවූදේය. ඔහු අද සිපිරි ගෙදර කූරු ගණිමින් කල පව් මෙනෙහි කරමින් සිටිති. ඒ කාලකණ්නි ක්‍රියාව නිසා තවමත් කන්තලේ මලකඩ කන යකඩ ගොඩක්ම ලෙසම පවතී. කන්තලේ ජනතාව නගනා දුක් අඳෝනාවෙන් පියදාස දිසානායක එලෙසවත් පණ කෙන්ද බේරී සිටීම ගැන සතුටු විය යුතුය.

දැන්වත් මහා ඉඩම් මංකොල්ලය නතර කිරිමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත. නැගෙනහිර ආණ්ඩුකාරවරියටද ඔන්න කරනවානම් වැඩක් ඇත. ජනපතිගේ සහ අගමැතිගේ ඇස්වලට මෙය පෙනිය යුතුමය. මේ රට විනාශයට දේශපාලකයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු බව කවුරුත් තේරුම් ගත යුතුව ඇත. සියලු වැරදි දේශපාලකයන්ට පටවා මගෝඩි නිලධාරින් සුදනෝ ලෙසින් සිටිති. මේ ගැන පරීක්ෂණ නොකර හොරු ආරක්ෂා කරන නිලධාරීන් සහ තක්කඩි නිලධාරීන් හොඳින් සිහියට ගතයුතු කරුණක් ඇත.

පසුගිය දිනක අම්පාර නීත්ත විදුහලේ 11 වසරේ අහිංසක සිසුවෙකු හෙණයක් වැදී මියදුනි. ජීවත් වෙන්නට නෙළුම් කොළ කපා විකුණන්ට ගිය අහිංසක කාන්තාවක් පසුගියදා හෙණ වැදී මිය ගියාය. එලෙස අසරණයන්ට හෙන වැදෙන රටක අමන තක්කඩි වැඩ කරන හොර නඩයට, ඒ. සී. කාමරවල සැඟව සිටියත් කෙදිනක හෝ හෙණ පිට හෙණ වැදෙන බව පමණක් සිහියට ගත යුතුව ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment