දශක හතරක් දිවයින සමග සිටි ඔබට ස්තුතියි

828

ලක්මණි ආර්. වෙල්ගම
සභාපතිනි
උපාලි පුවත්පත් සමාගම



ශී‍්‍ර ලාංකේය පත‍්‍ර කලා සංස්කෘතියට දිවයින ඉරිදා සංග‍්‍රහය නමින් අලූත් පුවත්පතක් එක්වන්නේ පත‍්‍ර කලා ලෝකය තුළ විශාල හිස්තැනක් තිබුණු යුගයකය. ඒ සඳහා පෙරමුණ ගත්තේ කීර්තිමත් ලංකා පුත‍්‍රයකු වූ උපාලි විජයවර්ධන ශී‍්‍රමතාණන්ය. එවකට නොදියුණු තාක්‍ෂණික හා මුද්‍රණ ශිල්පක‍්‍රම අනුගමනය කරමින් මුද්‍රණය වූ පත‍්‍ර කලාවට අභියෝග කරමින් නවීන තාක්‍ෂණික ක‍්‍රම භාවිත කරමින් නිවැරදි දැක්මක් හා දර්ශනයක් මත පදනම්ව ප‍්‍රතිපත්තිගරුක පත‍්‍ර කලාවක් පාඨකයාට සමීප කරවන්නට අදින් වසර හතළිහකට පෙර ගත් උත්සාහයේ ප‍්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටින්නෙමු.

හතළිස් වසරක් සපුරන මේ මොහොතේ කර්තෘ මාණ්ඩලිකයන්ගේ සිට සියලූම අංශවල පිරිස් පත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ලත් වෙහෙස අපමණය. නිවැරදි චින්තනයකින් යුතුව, අපක්‍ෂපාතී පුවත්පතක් රටට දායාද කරන්නට අපට හැකියාව ලැබුණේ ඒ නිසාය. එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ සිට අද දක්වා ප‍්‍රවීණත්වයට පැමිණි කතුවරු එහි සම කොටස්කරුවෝය. බොහෝ අය අද අප සමග නැත. තවත් පිරිසක් අප අතරින් වියෝවී ගොස්ය. ඒ හැමට ම අපේ කෘතඥතා පූර්වක ස්තුතිය හිමිවිය යුතුය. කර්තෘ මණ්ඩලය කොල මත සටහන් තබන දෑ මුද්‍රණයට සූදානම් කිරීමෙහිලා නිෂ්පාදන අංශයේ යතුරුලියන, සෝදුපත්, පිටු සැකසුම් යන සියලූ අංශ දැක්වූ දායකත්වය ඉහළින්ම අගය කළ යුතුය. එමෙන්ම පත‍්‍රයේ පිටු සැකසුම් කටයුතු අවසන් වූ පසු රෑ නිදිවරමින් පත‍්‍රය මුද්‍රණය කිරීමට මුද්‍රණ අංශයේ සියලූම අය දක්වන කැපවීම අතිමහත්ය.

රාති‍්‍රයෙහි මුද්‍රණය කරන පුවත්පත් සියල්ල රට පුරා පාඨකයන් අතරට ගෙන යෑම සඳහා බෙදාහැරීමේ අංශය ගන්නා වෙහෙස නොතිබෙන්නට අපට මේ කටයුත්ත පහසු එකක් නොවෙනු ඇත. රට පුරා වෙසෙන අපේ අලෙවි නියෝජිත මහත්වරු, ප‍්‍රාදේශීය අලෙවිකරුවන් පාඨකයාට දිවයින පුවත්පත සමීප කරන්නට ගන්නා උත්සාහය මගේ නිබඳ පැසසුමට ලක්වේ.

මූල්‍ය අංශය, පත‍්‍රය පාඨකයාට පත්වීමේ මොහොතේදීත්, ඊට පෙරත් නිසි මූල්‍ය කළමනාකරණයක යෙදෙමින් ආයතනයේ මූල්‍ය ශක්තිය ගොඩනංවන්න දරන වෙහෙස අපමණය. පෙර හා පසු කි‍්‍රයාදාමයේදී ඔවුනගේ කැපවීම නොවන්නට අපට මෙය අසීරු කාරණයක් වනු නිසැකය. මූල්‍ය අංශයට මේ කාර්යය සඳහා උරදෙන වැදගත්ම අංශය දැන්වීම් අංශයයි. රටේ ඉතා අසීරු අවස්ථාවල පවා ඔවුන් ඒ සඳහා ගන්නා වෙහෙසට ස්තුතිවන්ත වෙමි. දැන්වීම් අංශය සමග නිතර ගනුදෙනු කරන දිවයින පුවත්පත වෙනුවෙන් දැන්වීම් සපයන සියලූම ව්‍යාපාරික ආයතනත්, දැන්වීම් නියෝජිත ආයතනවලටත් කෘතගුණ පූර්වක ස්තුතිය පිරිනමමි. හතළිස් වසරක් සපුරන මේ මොහොතේ මෙන්ම ඉදිරියෙහිදී ද ඔබේ ඒ ශක්තිය අපට ලැබෙන බව මට විශ්වාසය.

දශක හතරක් දිවයින සමග සිටි ඔබට ස්තුතියි


හතළිස් වසරක්  ජනතාව වෙනුවෙන්  රට වෙනුවෙන්

නිමල් වෙල්ගම
ප‍්‍රධාන විධායක
සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ
උපාලි සමූහ ව්‍යාපාරය



 දිවයින පුවත්පත මීට හතළිස් වසරකට පෙර බිහිවූයේ මෙරට කීර්තිමත් ව්‍යාපාරික ප‍්‍රභූවරයකු වූ උපාලි විජයවර්ධනගේ සංකල්පයක් මුල්කර ගෙනය. එම සංකල්පය සාර්ථක කර ගැනීම පිණිස උපාලි විජයවර්ධනයන් විසින් විශිෂ්ට මට්ටමේ පුවත්පත් කලාවේදීන් පිරිසක් සේවයට බඳවා ගන්නා ලදි. එදා එවැනි විශිෂ්ටයන් පිරිසක් සමඟ ආරම්භ කරන ලද දිවයින සිය මාධ්‍ය මෙහෙවර දියත් කරන ලද්දේ හුදු ව්‍යාපාරයක් කරන අදහසින්ම නොවේ. ජාතික සංස්කෘතික දැක්මකින් රට ඉදිරියට ගෙන යෑම එහි තීරණාත්මක කාර්යභාරය විය. කුරිරු ත‍්‍රස්තවාදය සමස්ත සිරිලකම බියෙන් සලිත කළ වකවානුවක ඊට එරෙහිව අභීත මාධ්‍ය මෙහෙවරක් ඉටුකළේ දිවයින ය. ඒ නිසාම දිවයිනට ලැබුණු තර්ජන ගර්ජන ගැරහුම් අපහාස උපහාස ද අපමණය. ඒ සියලූ සෘණ පන්නයේ ප‍්‍රතිචාරයන්ට නොසැලී මුහුණදීමට දිවයින සමත්විය.

සිරිලක් දිවයිනෙහි ජනතාවට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙහි සටනට දිවයින සිය පන්හිඳෙන් දැක්වූ දායකත්වය අතිමහත් ය.

එපමණකින් නොනැවතී දූෂණ, වංචාවන්ට, භීෂණයන්ට එරෙහිව ජනතාව නියෝජනය කරමින් දිවයින අභීත ගමනක යෙදිණි. එහිදී එල්ල වූ කිසිදු බලපෑමක් ඉදිරියේ දිවයින නොසැලී සිටියේය.

මේ හතළිස් වසරක් පුරා අපට ශක්තියක් වූයේ පාඨක ඔබය. කුමන බලවතකු ඉදිරියේ වුව දණින් නොවැටී අභීතව ඉදිරියට යන්නට ශක්තිය ලැබුණේ ඔබෙනි.

හතළිස් වසක් පුරා මේ ගමන යන්නට වෙළෙඳ නියෝජිත මහත්වරු ද, අපට දැන්වීම් ලබාදෙන සේවාදායකයන් ද මේ මොහොතේ සිහිපත් කරන්නේ කෘතගුණ පූර්වකය.

ආ දුර මෙන්ම, නිර්භයව ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් දිවයින ඉදිරියේදී ද පෙනී සිටින බව අභිමානයෙන් සිහිපත් කරමි.


තරුණ වන මාධ්‍යකරණයේ ජාතික මුද්‍රාව

දශක හතරක් දිවයින සමග සිටි ඔබට ස්තුතියි


මූල්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ
උපාලි පුවත්පත් සමාගම
ලක්‍ෂ්මන් පෙරේරා



හතළිස් වසරක අත්දැකීම් සමඟ දිනෙන් දින තරුණ වන මාධ්‍යකරණයේ ජාතික මුද්‍රාව, උපාලි පුවත්පත් පුද්ගලික ආයතනය ගැන අමුතුවෙන් කිසිවක් පැවසිය යුතු නොවේ. වර්ෂ 1978 උපාලි විජයවර්ධනයන්ගේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ සීමාසහිත උපාලි පුවත්පත් පුද්ගලික සමාගම ඉන් තෙවසරකට පසු එනම් 1981 ඔක්තෝබර් මස 04 වන දින ඉරිදා දිවයින සහ sunday Island පුවත්පත් මුද්‍රණය කරමින් තම ප‍්‍රථම මාධ්‍ය වාර්තාකරණය ආරම්භ කරයි.

අනතුරුව 1982 පෙබරවාරි මාසය වන විට මෙම පුවත්පත්වල දිනපතා සංස්කරණයන් ද වෙළෙඳපොළට එක්කරන්නට උපාලි සමාගමට හැකිවිය. අද වන විට ඉරිදා දිවයින, දිනපතා දිවයින ද sunday Island, සහ එම පුවත්පත්වල අතිරේක සමඟ නව මුහුණුවරකින් දිවයින පුවත්පත පාඨක ජනතාවට ලැබෙන්නේ ලාංකේය ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ පෙරමුණේ සිටින මුද්‍රිත මාධ්‍යයක් ලෙස ‘‘දිවයින” ඉහළින්ම ඔසවා තබමිනි.

1981 ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ කර 2021 වන විට හතළිස් වසරක අභිමානවත් ගමනක් පැමිණි දිවයින, එදා සිට අද දක්වාම පාඨකයාට අමතක නොවන මතක එක් කළ සුවිශේෂී පුවත්පතකි. ඔක්තෝබර් 4 වන දා සිය හතළිස් වන ජන්ම දිනය සැමරූ දිවයින පුවත්පත පිළිබඳව රසවත් මෙන්ම දුක්බර මතකද බොහෝ ඇති බවට අමුතුවෙන් කිව යුතු නැත.

පියවරෙන් පියවර උපාලි පුවත්පත් ආයතනය ආ ගමන් මඟ පිළිබඳව සිහිපත් කරන, ඒ හා ගැටෙමින් කටයුතු කළ සුන්දර මිනිසුන් කිහිපදෙනකු අදටත් උපාලි පුවත්පත් ආයතනයේ සේවය කරයි.

වැලි කැටයේ සිට මේ දක්වාම උපාලි පුවත්පත් ආයතනය ගොඩනැගුණු ආකාරය පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ මතක ගබඩාවකි.

එවන් සොඳුරු මිනිසකු සමඟ පිළිසඳරකට අපි උපාලි පුවත්පත් ආයතනයේ මූල්‍ය අංශයට ගොඩ වැදුනෙමු. හතළිස් වසරක් පුරා දිවයින ආ ගමන් මඟ පිළිබඳව ඒ ගමන ආරම්භයේ සිට අද දක්වාම පැමිණි, උපාලි පුවත්පත් ආයතනයේ මූල්‍ය අංශ ප‍්‍රධානි ලක්ෂ්මන් පෙරේරා මහතා හතළිස් වසරක මතක මෙලෙස දිග හැරියේය.

‘‘2021 ඔක්තෝම්බර් මාසය වෙද්දි උපාලි පුවත්පත් ආයතනය තුළ මගේ සේවා කාලයට වසර හතළිහක්. පත්තරේ වයස සහ මගේ සේවා කාලය එක සමානයි. මම වෙනත් පුවත්පත් ආයතනයක සේවය කරලා තමයි මේ ආයතනයට ආවේ. ඒ දවස්වල මෙතන හිටියේ සීමිත සේවකයන් පිරිසක්. නවීන තාක්ෂණික උපකරණ, පහසුකම් කිසිවක් අපට තිබුණේ නැහැ.”

ආරම්භක යුගයේ උපාලි පුවත්පත් ආයතනයේ ස්වභාවය පෙරේරා මහතා එලෙස සිහිපත් කළේය. 1982 උපාලි පුවත්පත් ආයතනයේ මූල්‍ය අංශයට සේවයට පැමිණි ලක්ෂ්මන් පෙරේරා මහතා 1983 ස්ථිර සේවකයකු ලෙසින් සිය රාජකාරිය අරඹා ඇත. එම කාලවකවානුව තුළ මූල්‍ය අංශයේ සේවකයන් තිදෙනකු පමණක් සේවය කර ඇත. නවීන තාක්ෂණික උපාංග, පරිගණක කිසිවක් නොමැතිව වුවද මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම කරට ගත් පෙරේරා මහතා එහි රාජකාරිය අදටත් අකුරටම ඉටු කරමින් සිටින බව සිහිපත් කළ යුතුය.

පියවර පියවර ගොඩනැෙඟමින් පරිගණක සහ අනෙකුත් උපකරණ සපයා ගනිමින් හතළිස් වසරක් පුරාම මූල්‍ය අංශය උපාලි පුවත්පත් ආයතනයේ දියුණුව උදෙසා මහත් සේවයක් සිදු කරයි. මේ වන විට මූල්‍ය අංශයේ සේවකයන් පහළොවකට ආසන්න ප‍්‍රමාණයක් සේවය කරමින් සිටියි.

1983 උපාලි විජයවර්ධන මහතාගේ නික්ම යෑම දරාගන්න බැරිම කම්පනයක් ගෙනාව ප‍්‍රවෘත්තිය වුණේ. එතුමාගේ වියෝව අපේ ආයතනයට විශාල පාඩුවක්. නමුත් ඒ වේදනාව දරාගෙන ආයතනයේ සියලූම දෙනා උපාලි විජයවර්ධනයන්ගේ බලාපොරොත්තුව වෙනුවෙන් කැප වෙලා වැඩ කළා.”

සාමාන්‍ය රාජකාරී කාල සීමාවන් ඉක්මවා යමින් දිවා රැ නොබලා නිදිවරමින් බොහෝ දෙනකු උපාලි පුවත්පත් ආයතනය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයුරු එතුමා සිහිපත් කළේ අද ඒ කැපකිරීම වල ප‍්‍රතිඵල දෑස් පනාපිටම දකින්නට තරම් තමා වාසනාවන්ත බව ද පවසමිනි.

‘‘මේ ආව ගමන තනි ගමනක් නෙමෙයි. අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙලා හිටියා. අදටත් ඔවුන් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ගණනාවක් අපට ශක්තියක් වුණා. අදටත් ඔවුන්ගේ සහයෝගය අපිට ලබා දෙනවාට මහජන බැංකුව, ලංකා බැංකුව, චාර්ටඞ් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව ඇතුළු සියලූම බැංකුවලට මෙන්ම මූල්‍ය ආයතන වලට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා.

සියලූම සැපයුම්කරුවන්ට, පත්තර අලෙවි නියෝජිතයන්ට, ප‍්‍රවාහනය සපයන්නන්ට වගේම දැන්වීම් ලබා දෙමින් අපට සහාය වන සියලූම දැන්වීම් ආයතන, රාජ්‍ය ආයතන වලටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මේ ආයතනයේ ප‍්‍රධානීන්, අංශ ප‍්‍රධානීන් ඇතුළු සියලූම සේවක සේවිකාවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.”

එලෙසම ආරම්භයේ සිට මේ වන තුරුත් උපාලි පුවත්පත් ආයතනය පවත්වාගෙන යෑමට මූල්‍ය අංශයට සවියක් වූ සියලූ දෙනාටමත් විශේෂයෙන්ම දශක හතරක කාලයක් අතනොහැර දිවයින ආදරයෙන් වැළඳගත් පාඨකයන්ටත් ස්තුති කිරීමට ලක්ෂ්මන් මහතා අමතක කළේ නැත.

‘‘ඒ දවස්වල රටේ තිබුණු ප‍්‍රධාන ආයතන අතර ඉදිරියෙන්ම හිටියේ සිලෝන් ටොබැකෝ, මහරාජා ලීවර් වගේ ආයතන කිහිපයක් විතරයි. උපාලි පුවත්පත් පුද්ගලික ආයතනයේ නමත් ඒ ආයතන අතරට එකතු වෙලා තිඹුණා. උපාලි පුවත්පත් ආයතනයට ඒ දවස්වල බොහෝ පිරිසක් එකතු වෙන්න බලාපොරොත්තුවෙන් හිටියා. හේතුව පුවත්පතේ ජනප‍්‍රියත්වය විතරක්ම නෙමෙයි. වැටුප් ලබා දීම් වලිනුත් අපි අනෙක් ආයතන වලට සාපේක්ෂව ඉදිරියෙන් හිටියා. ලංකාවේ වැටුප් තලවල විප්ලවීය වෙනසක් අප ආයතනය සිදු කළා. උදාහරණයක් විදියට මම මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් සේවය කරපු ආයතනයේ ඒ කාලේ මට ලැබුණු පඩිය රුපියල් දෙසීයක් වගේ. මෙතැනට ආවට පස්සේ මගේ මුල්ම පඩිය රුපියල් දෙදාහක්.”

එවකට ඉහළ වැටුප් ලබා දුන් ආයතන අතර උපාලි පුවත්පත් ආයතනයද පෙරමුණේ සිටිය බව පෙරේරා මහතා සිහිපත් කරයි.

1981 සිට අද දක්වාම පියවරෙන් පියවර ගොඩ නැෙඟමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පෙරලියක් කළ දිවයින ජාතික පුවත්පත අද වන විට නවීන තාක්ෂණයද උපයෝගි කර ගනිමින් තවත් අලූත් වෙමින් පවතී.

එදා මෙදා තුර පත්තර කලා ඉතිහාසයේ නොමැකෙන සටහන් තබන්නට සමත් වූ දිවයින ජාතික පුවත් පතට තවත් බොහෝ කාලයක් යන තුරු ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ ජාතික මුද්‍රා සටහන රන් අකුරින් සනිටුහන් කරන්නට වරම් ලැබේවා යි ලක්ෂ්මන් පෙරේරා මහතා ප‍්‍රාර්ථනා කළේය.

එමෙන්ම හතළිස් වසක් පුරාවට පුවත්පත් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් මූල්‍ය අංශයේ කටයුතු සඳහා ඇප කැපවී කටයුතු කරන පෙරේරා මහතාට ද නිරෝගීව තවත් බොහෝ කාලයක් සිය රාජකාරියේ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි දිවයින අපි ප‍්‍රාර්ථනා කරමු.

– නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment