දසිස් සහ රමිරු රාජකීයයන්ට රාජකීය ජයග්‍රහණයක් ලබා දෙති

212

144 වැනි නිල් මහා සටනෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 181කින් පරාජය කර පුරා වසර 7කට පසුව නිල් මහා සටනේ ශූරයෝ ලෙස කිරුළු පළඳින්නට කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව 2019 වර්ෂයේ දී සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ලද පරාජයෙන් පසු නැවතත් ඩී. එස්. සේනානායක සමරු ඵලකය තමන් වෙත නතුකර ගන්නට රාජකීය විද්‍යාලය සමත් වූ අතර ඒ ජයග්‍රහණය නිමිත්තෙන් කොළඹ රාජකීය විදුහලට අද (20 වැනිදා) නිවාඩු දිනයකි.

කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍ය තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ එම ඓතිහාසික කිරුළ හිමිකර ගත්හ.

දසිස් සහ රමිරු රාජකීයයන්ට රාජකීය ජයග්‍රහණයක් ලබා දෙති

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට වඩා මුල් ඉනිමේ ලකුණු 173ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 4කට ලකුණු 168ක් රැස් කර ජයග්‍රහණය සඳහා සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 341ක ඉලක්කයක් ලබා දුන්නද ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි.

පෙරේදා (18 වැනිදා) උදෑසන තම දෙවෙනි ඉනිම ඇරඹූ සාන්ත තෝමස් විද්‍යාලයේ තිශේන් ඇහැලියගොඩ ලකුණු ලබා ගැනීමට පෙරම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට රනුක මලවිආරච්චි සමත් වූ අතර දෙවැනි කඩුල්ල ලෙස නායක රොමේෂ් මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව 18 දී දැවී ගියේය. සාන්ත තෝමස් ආරම්භක පිතිකරු දිනෙත් ගුණවර්ධන දවා ගැනීම වෙනුවෙන් උවිඳු වීරසේකර විශිෂ්ට උඩපන්දුවක් රැකගත් අතර එය ප්‍රධාන කොටගෙන සන්දේශ් රාමනායකට තරගයේ විශිෂ්ටතම පන්දු රකින්නා සම්මානය ද හිමි වූයේය.

රාජකීය විද්‍යාලයේ දඟ පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වීමත් සමඟ දිවා ආහාරය වන විට සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු 6ක් ලකුණු 76ක් තුළ බිඳ වැටී අවසන්ව තිබූ අතර රාජකීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත ඒ වන විටත් විවර වී තිබුණි.

එහෙත් දිවා විවේකයෙන් අනතුරුව සාන්ත තෝමස් විද්‍යාලයේ පරාජය වැළැක්වීමේ අදිටනින් කඩුලු රකින පිතිකරු සෙනේශ් හෙට්ටිආරච්චි සහ චාරුක පීරිස් 7 වැනි කඩුල්ල සඳහා පන්දු 153ක දී ලකුණු 66ක් එකතු කරමින් සටන්කාමී සම්බන්ධතාවයක් වාර්තා කළහ. එහෙත් රමිරු පෙරේරා ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට ගිය චාරුක පීරිස්ගේ ඉනිම ලකුණු 22කට සීමා වීමෙන් අනතුරුව ආකාශ් ප්‍රනාන්දු ද පිටියෙන් ඉවත් කිරීමට රමිරු සමත් වූයේය. අවසානයේ ලකුණු 46ක් ලබා සිටි සෙනේශ් හෙට්ටිආරච්චි ලබා දුන් උඩපන්දුව රැකගත් රාජකීය නායක දසිස් මංචනායක රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය සනාථ කළේය. ඒ සමගම රාජකීය විද්‍යාලයේ සිසුන් දසිස් මංචනායක සහ රමිරු පෙරේරා තම කර මතින් පිටිය වටා රැගෙන යමින් ඔවුන් දෙදෙනාට කෘතගුණ දැක්වූහ. එහි දී මුල් ඉනිමේ ශතකලාභී දසිස් මංචනායක දෙවැනි ඉනිමේ ද වේගවත් ලකුණු 57ක් රැස් කළ අතර එම දස්කම මත ඔහු තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් තරගයේ එකම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් ප්‍රනාන්දු තරගය පුරාවට රාජකීය විද්‍යාලයේ කඩුලු 8ක් තමන් සතුකර ගනිමින් තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේ ය.

පළමු ඉනිමේ ශතකයක් ලැබූ රමිරු පෙරේරා හොඳම පිතිකරුවා වූයේ ය.

ලකුණු සාරාංශය

රාජකීය විදුහල පළමු ඉනිම 326/8
සාන්ත තෝමස් පළමු ඉනිම 153/10
රාජකීය විදුහල දෙවන ඉනිම 168/4
සාන්ත තෝමස් දෙවෙනි ඉනිම 161/10

තරගයේ වීරයා – දසිස් මංචනායක
හොඳම පිතිකරු – රමිරු පෙරේරා
හොඳම පන්දු යවන්නා – ආකාශ් ප්‍රනාන්දු
හොඳම පන්දු රකින්නා – උවිඳු වීරසේකර

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment