දසුන්ලාට දිනන්න පසුබිම හදලා දුන්නේ අපි -ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

833

ක්‍රීඩකයන් තේරීම් කමිටුව සහ පරිපාලනය ස්වාධීනව වැඩ කරනවා

මහේල අපේ ක්‍රිකට් ජයග්‍රහණවල සෙවණැල්ළක්

අලුත් ක්‍රීඩකයන් එක දවසෙන් බිහි වුණා නොවෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය අට වැනි වරටත් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙවර එහි සත්කාරකත්වය දැරුවේ ද ශ්‍රී ලංකාවයි. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සාර්ථකව පැවැත්වුණි. ඒ නිසා සත්කාරකයන් ලෙස ශ්‍රී ලංකාව ඊට සම්බන්ධ වූ ආකාරය ආසියානු ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත. එහෙත් තරගාවලිය මෙරටින් බැහැරට යෑම සම්බන්ධයෙන් ඊට පෙර නොයෙක් දෙනා නොයෙක් දෝෂාරෝපණ එල්ල කළහ. දැන් නම් ඒ චෝදනා හඬවල් නිහඬ වී ඇත. එසේම ලෝක කුසලාන තරගාවලිය ද දැන් අප අභිමුවටම පැමිණ ඇත. මෙවැනි කාරණා කිහිපයක් පිළිබදව කතා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ හඬ අපි මෙසේ අවදි කළෙමු.

ප්‍රශ්නය – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙස සත්කාරකයන් ලෙස ආපසු හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර – එය ඉතා සාර්ථක තරගාවලියක්.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ තරගාවලිය හොඳින් පවත්වන්න පුළුවන් වෙයි කියලා අපට මුල ඉඳන්ම ලොකු විස්වාසයක් තිබුණා. අපේ රටේ තරගාවලිය පවත්වන්න බැහැ කිව්වාම අපි එක්සත් අරාබි රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වීමට එකඟ වුණා. ඇත්තටම හිතුවටත් වඩා සාර්ථක ප්‍රතිඵල මේ තරගාවලියේදී අපට ලැබුණා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් බලාපොරොත්තු වූ ආදායම ලැබුණද?

පිළිතුර – ඔව්. ඩොලර් මිලියන හයහමාරක ශුද්ධ ලාභයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කළා. දැන් ඒ මුදල් ලැබෙන බවට තහවුරු වී තිබෙනවා. සමහරවිට ඩොලර් මිලියන හයහමාරක් හෝ ඊට වැඩි මුදලක් අපිට ලැබෙයි. දැනටමත් ඉන් ඩොලර් මිලියන දෙකහමාරක් අපිට ලැබිලා තියෙනවා.

ප්‍රශ්නය – නොයෙකුත් දෝෂාරෝපණ එල්ල වුණා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑම පිළිබඳව. මොකද අද ඒ ගැන කියන්න තියෙන්නේ?

පිළිතුර – ඒවා කිසි පදනමක් නැතිව පටු දේශපාලන වාසි තකා කරන ලද චෝදනා බව, අද ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම එම ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. මොකද ඒ වගේ චෝදනාවලින් නිදහස් වෙලා අපිට අපේ නම පිරිසුදු කරගත යුතුයි. ඒත් තවමත් ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා නැහැ. මොකද අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා අපි කිසිවිටෙකත් වරදක් නොකළ බවට. ක්‍රීඩාවටත්, ආයතනයටත්, රටටත් හොඳක් සිදුවන ආකාරයට වැඩ කළ බවට අපට අප ගැන විශ්වාසයි.

ප්‍රශ්නය – මේ තරගාවලියේ දී කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ පිටුපස තිබුණු සාධක විදිහට ඔබ දකින්නේ මොනවාද?

පිළිතුර – ක්‍රීඩකයෝ හැම දෙනාම සහෝදරයන් වගේ ක්‍රීඩා කළා. ඔවුන්ට එකම අරමුණක් තිබුණා. ඒ මේ රටට ජයග්‍රහණයක් ගෙන ඒම. ඔවුන් ඒ අරමුණ හඹා ගියා. එක තරගයක් වත් තනි අශ්වයකුගේ තරගයක් වුණේ නැහැ. කණ්ඩායමේ 11 දෙනාම ජයග්‍රහණයේ කොටස්කරුවන් වුණා. ඒ වගේම මේ ජයග්‍රහණය පිටුපස තිබෙන අනෙක් ප්‍රධාන සාධකය තමයි අපේ පුහුණුකරුවන්ගේ කාර්යභාරය. විශේෂයෙන් අපේ පන්දු රැකීමේ අංශය මේ තරගාවලිය තුළ ඉතා දියුණු මට්ටමකට පත්ව තිබුණා. ඒ පිටුපස තිබෙන්නේ අපි කණ්ඩායමට අලුතින් කැඳවූ පන්දු රැකීමේ පුහුණුකරුගේ කාර්යභාරයයි. ඔහු ලොකු කැපවීමකින් කටයුතු කළා. ඒ වගේම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ක්‍රීඩකයන් සමග බොහෝම සමීපව සුහදව කටයුතු කරනවා ඔබ දකින්නට ඇති. ඊට දසුන් ශානකගේ විශිෂ්ට නායකත්වයත් එකතු වුණා. ඔහු ගත් තීරණ සාර්ථක වුණා. අනෙක් ක්‍රීඩකයන්ගේ දායකත්වය සමග ශ්‍රී ලංකාව නැවතත් ආසියානු ක්‍රිකට් ශූරයන් බවට පත් වුණා.

ප්‍රශ්නය – මේ තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පැවැත්වූවා නම් අපට මීට වඩා ඩොලර් ටිකක් උපයා ගන්න තිබුණා නේද?

පිළිතුර – ඇත්තටම මේ තරගාවලිය තුළින් අපට ලැබෙන්නේ ඩොලර් මිලියන හයහමාරක් වුවත් ඊටත් වඩා විශාල ප්‍රතිලාභයක් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මෙහිදී උදා වුණා. විශේෂයෙන් තරගාවලිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම ක්‍රීඩාංගණවල ප්‍රදර්ශනය වූ ‘වියට් ශ්‍රී ලංකා’ දැන්වීම් පුවරුව මිලියන ගණන් ජනතාවගේ නෙත ගැටුණා. රූපවාහිනියෙන් ප්‍රදර්ශනය වුණා. එය මුදලින් තක්සේරු කරන්න බැරි තරම් ප්‍රතිඵල දායක වුණා. අපේ රට පිළිබඳව ලෝකයට හොඳ පණිවිඩයක් ගෙනියන්න එහිදී අපට හැකි වුණා. එය මේ අවස්ථාවේ දී රට වෙනුවෙන් අපට කරන්න පුළුවන් ලොකුම කාර්යභාරයයි. ඇත්තටම පිටරටක පැවැත්වෙන තරගාවලියක් අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න යැයි ආරාධනා කිරීමම අපේ රටට ලොකු ගැම්මක් නේද?

ඒ වගේම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අපි අපේ හද පිරි ස්තුතිය මෙහිදී පුද කරන්න ඕන. තරගාවලිය අපේ රටෙන් පිට පැවැත්වුවත් ඔවුන් සත්කාරකත්වයේ අයිතිය අපෙන් උදුරා ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපට ඩොලර් මිලියන හයහමාරක මුදලක් හෝ ඊට වැඩි මුදලක් ලැබෙන්නේ. නොඑසේ නම් අපට ලැබෙන්නේ මේ මුදලෙන් තුනෙන් එකක් පමණයි. ඒ වගේම මේ තරගාවලිය සංවිධානය කිරීමේදී ද ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් අපට නොමඳ සහායක් ලැබුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් බලධාරීන් අප සමග සාමූහිකව කටයුතු කළා. තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කාර්ය මණ්ඩලයටත් එහිදී හොඳ අත්දැකීමක් ලබා ගන්න හැකි වුණා.

ප්‍රශ්නය – තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඔබ ආඩම්බරයෙන්ද ඉන්නේ?

පිළිතුර – ඔව්. ලක්ෂ ගණනින් ප්‍රේක්ෂකයන් තරගාවලිය නැරඹීමට පැමිණියත් කිසිදු දෝෂාරෝපණයක් නොමැතිව තරගාවලිය අවසන් කරගන්නට අපට හැකි වුණා. ඒ වගේම එහි අවසන් ඵලය ඉතා මිහිරි එකක් වුණා. දසුන් ඇතුළු පිරිවර වසර අටකට පසුව ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන හිමිකර දුන්නා. ඒක අතිශය සතුටු කාරණයක්. අපි තරගාවලියට ගියේ රටක් වශයෙන් නොයෙක් අඩුපාඩුකම් මැද්දේ. ලෝකයෙන් අපව කොන් වෙලා තිබුණේ. එහෙම රටක කණ්ඩායමක් එදා ආසියානු කලාපයටම තමන්ගේ ක්‍රිකට් හයිය පෙන්නලා කුසලානය ගෙනාපු එක පිළිබඳව ආඩම්බර නොවී ඉන්න පුළුවන් කාටද? ඒ පීඩිත රටේ ජනතාවට මොහොතකට හෝ සැනසීමක් ගෙන ඒමට දසුන් ශානකගේ කණ්ඩායමට හැකි වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් සහ ජනමාධ්‍යයටත් මේ අවස්ථාවේදී විශේෂ ස්තුතිය පුද කරන්න ඕනෑ. ක්‍රීඩකයන් වැටී සිටි අවස්ථාවේදී ඔවුන් නඟාසිටුවීම පිළිබඳව. එතනින් තමයි ක්‍රීඩකයන් නැවත උනන්දු වෙලා තරගාවලියට අවතීර්ණ වුණේ.

ප්‍රශ්නය – තරගාවලියක් සාර්ථක වූ පමණින් රටේ ක්‍රිකට් පරිපාලනය හොඳ යැයි කියන තක්සේරුවට ඒමට අපට පුළුවන් කමක් නැහැ. තවමත් රටේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව වෙනත් චෝදනා එල්ල කරන්නන් සිටිනවා. කඹ ඇඳීම් සිදුවන බවට චෝදනා තියෙනවා. ඒ චෝදනාවලින් ගැළවෙන්නට ඔබට පුළුවන් කමක් නැහැ.

පිළිතුර – ඉස්සර තමයි ක්‍රීඩකයන්, පරිපාලනය හා තේරීම් කමිටුව අතර කඹ ඇදිලි තිබුණේ. ඔවුන් අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් තිබුණේ නැහැ. එදා හැමෝම හැදුවේ අනික් කෙනාව කපල මමයි කෙරුමා කියලා ලකුණු දාගන්න එක. ඒකෙන් වුණේ රටේ ක්‍රීඩාවට අයහපතක් පමණයි. දැන් මේ අපි හැමෝම එක පවුලක් වගේ වැඩ කරනවා. පරිපාලනය විදිහට අපි තේරීම් කමිටුවේ තීරණවලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. කණ්ඩායමට බලපෑම් කරන්නේ නැහැ. ඔවුන්ට නිදහසේ ස්වාධීනව කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සහ පරිසරය අපි හදලා දීලා තියෙනවා. ක්‍රීඩකයන්ට ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. ඒත් ඇතැමෙක් උත්සාහ කළා මේ සම්බන්ධය බිඳින්න. දේශපාලකයන්ට ඕන හැම තිස්සෙම කොහේ හරි අවුලක් හදන්න. ක්‍රීඩකයන් කැළඹෙන දේවලුත් ඔළුවට දාලා මේ වගේ තීරණාත්මක තරගාවලියක් ඉදිරියේ තියාගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න ඔවුන් ක්‍රීඩාව උගසට තියනවා අපි දැක්කා. ඒත් දසුන් ප්‍රමුඛ කණ්ඩායම ලබපු මේ ජයග්‍රහණයත් සමග ඒ පටු මතධාරීන්ගේ චෝදනා කුණු කූඩයට ගියා.

ප්‍රශ්නය – ක්‍රීඩකයන්ටත් නිදහස අවශ්‍ය බවට පසුගියදා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ප්‍රකාශ කළා. ඒ කියන්නේ දැන් ඔවුන්ට නිදහස අහිමි වෙලා ද?

පිළිතුර – එතැනදිත් මුලින් අපි නිවැරදි වෙලා ඉන්න ඕන. නිදහස වුණත් ඕනවට වඩා හොඳ නැහැ. හැබැයි ක්‍රීඩකයන් හරියට හදන්න පරිපාලනය නිවැරදි වෙලා ඉන්න ඕන. අපි වැරදි කරද්දී ක්‍රීඩකයන්ට හරි දේ කරන්න කියන්න බැහැ. දෙමව්පියන් වැරදි කරද්දි දරුවන්ට හරි මඟ යන්න කියන්න බැහැ. ඒත් අපි නිවැරදි නිසා ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් තද තීරණ ගන්න අපට පුළුවන් වුණා. මොන දේ කළත් විනය තමයි අංක එක. අපි දන්නවා අපේ කණ්ඩායම දැන් හොඳ විනයක් ඇතිව කටයුතු කරන බව. විනයයි නිදහසයි කියන්නේ එකක් නොවේ දෙකක්. ඔවුන්ට නිදහස භුක්ති විඳින්න පුළුවන්. හැබැයි විනය රකින්නත් ඕන.

ප්‍රශ්නය – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අපි සම්බන්ධ වුණේ නවක වේග පන්දු යවන්නන් හතර දෙනෙක් සමගයි. ඒ වගේම ඔවුන් හතර දෙනාම දක්ෂ ක්‍රීඩකයන් බව තරගාවලියේ දී ඔප්පු කළා. මේ නවක ක්‍රීඩකයන් බිහිවීම පිළිබඳ කතා කළොත්?

පිළිතුර – ඔවුන් එක දවසකින් බිහි වුණා නොවෙයි. දිගු කලක් ඔවුන් අප සමග සිටියා. අපේ සංචිතවල සිටියා. ඒ වගේ දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා උසස් කාර්ය සාධන ඒකකයෙන් විශාල පිටිවහලක් ලැබෙනවා. එතනින් තමයි මේ නවක ක්‍රීඩකයන් බිහි වෙන්නේ. මුලින්ම දිස්ත්‍රික් ඊට පස්සේ පළාත් මට්ටමේ සංචිත හදනවා. අපේ කනිෂ්ඨ කණ්ඩායමේ දක්ෂතා ලෝක මට්ටමෙන් සසදද්දී දියුණුවෙලා තියනවා. මේ දේවල් එක පාරට වුණා නොවෙයි. අපේ දිගුකාලීන සැලැස්මක ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.

ප්‍රශ්නය – හිටපු නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව යළිත් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?

පිළිතුර – මහේලගේ සම්බන්ධයට යළිත් කියන එක වැරදියි. කවුරුත් නොදුටුවාට පහුගිය ජයග්‍රහණ බොහොමයක් පිටිපස්සේ මහේල හිටියා. ඇත්තටම දැන් වසර එකහමාරක පමණ කාලයක සිට මහේලගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවා.

මහේල කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් එක ලෝකයට ගෙනියන්න පුළුවන් ‘බ්‍රෑන්ඩ්’ එකක්. ඔහුගේ දායකත්වය අපට ශක්තියක්. ජාතික කණ්ඩායමේ තේරීම්වලටත් ඔහු සම්බන්ධ වෙනවා. තේරීම් කමිටුව සමග ඔහු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ජාතික කණ්ඩායම පමණක් නොවෙයි ඊට පහළ කණ්ඩායම්වලටත් මහේලගේ මේ දායකත්වය ලැබෙනවා. කොටින්ම මහේල කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ජයග්‍රහණවල සෙවණැල්ල කිව්වොත් නිවැරදියි.

ප්‍රශ්නය – ඒත් මහේල මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රමුඛව අම්භානි සමූහයට අයත් ක්‍රිකට් කණ්ඩායම් තුනක ගෝලීය සාධන ප්‍රධානී ලෙස කටයුතු කරනවා. එහෙම අයෙක් කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සක්‍රීය ලෙස දායක වෙන්නේ?

පිළිතුර – මහේල අපේ කණ්ඩායම සමඟ හෝ අපේ ක්‍රිකට් සමග ඔහු සම්බන්ධවීමෙන් අදහස් වෙන්නේ නැහැ කණ්ඩායම යන හැම තැනකම ඔහු යා යුතු බවට. ඔහුගේ කාර්යභාරය වෙනස්. උපදේශකයකු ලෙස මහේලගෙන් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් සේවය වෙන කිසිම කෙනකුගෙන් ලබා ගන්න බැහැ. ටොම් මූඩි සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ඇති කරගත් ගිවිසුමත් අවසන් කරේ මහේල දැන් අප සමඟ සිටින නිසයි. මහේල ඉන්නකොට මූඩි කෙනෙක් අපට අවශ්‍ය නැහැ. මහේල විතරක් නෙවෙයි රටේ ක්‍රිකට් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අද අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මේක තමයි රහස. මේ තත්ත්වය කලින් තිබුණේ නැහැ. තල වැපුරුවොත් තල. මුං වැපුරුවොත් මුං. ඒ වගේ තමයි අපිත්. අපි හොඳ දේවල් කරන නිසා අපට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අපේ ක්‍රිකට් අස්වැන්න අද රටට අස්වැසිල්ලක් වෙලා තිබෙනවා.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment