දහඅට වසරකට පෙර අපවත් වී වදාළ සඟ සසුන් කෙත සඟරජසිරි හෙබවූ මඩිහේ ශ‍්‍රී පඤ්ඤාසීහ මහ නාහිමිපාණෝ

669

ගතානුගතිකත්‍වය ලෝකයාට නෛසර්ගයෙන් අයත් වූවකි. එහෙයින් ශ්‍රේෂ්ඨත්‍වය හා ප‍්‍රියශීලිත්‍වය ගර්භකොට පවත්නා චරිතය ලෝක සංස්කෘතියෙහි සාර වූ ආලවාලය මානයයි කවිජන සංකල්පනාවකි. විශේෂයෙන් ශාන්ති ක්‍ෂමොපශමාදි විවිධ ගුණරත්නයෙන් විභූෂිත චරිත විකාශය ලෝකාභිවෘද්ධියෙහිලා අත්‍යන්තෝපකාරීය. මේ වනාහි සුපේශල, ශික්‍ෂාකාමී, ධර්මවිනයධර ආදර්ශවත් ජීවිතයක් ජීවත් කර වූ නිසරු වූ සසරෙහි මරුමුවම ගැවැසෙන සත්ත්‍වලෝකය මෙබ`දු යයි අප හට ප‍්‍රත්‍යක්‍ෂ කරවමින් අපමණ ලෝසසුන් වැඩ වැඞීමෙහි නියැළුණු, මෙසියවස තුළ පහළ වූ සග සසුන් කෙත සගරජසිරි හෙබවූ, මහරගම, සිරි වජිරඤාණ ධර්මායතනාධිකර්තෘභූත, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය හෙබවූවා වූද, අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක ධුරය හෙබ වූවා වූද, අග්ගමහා පණ්ඩිත, විද්‍ය විශාරද අතිපූජ්‍ය මඩිහේ ශ‍්‍රී පඤ්ඤාසීහ මහානායක මාහිමියන් වහන්සේගේ විශිෂ්ට වූ චරිතාපදානයෙන් ලේශමාත‍්‍ර ගුණයක් මෙයින් ඔබ හමුවට ගෙන එන්නේ උන්වහන්සේගේ අපවත් වීමෙන් 2021 සැප්තැම්බර් මස 08 වන දිනට වසර දහඅටක් ගතවන හෙයිනි.

දේශීය වූත්, විදේශීය වූත් නානා ව්‍යාපාරයන්හි ව්‍යාවෘත වූ බෞද්ධ බලකොටුවක් යැයි දනන් තුඩ තුඩ රැද වූ දක්‍ෂිණ ලංකාවේ සකල නගරා`ඞගශ‍්‍රීන් සමුජ්වලිත මාතර නගරාන්තර්ගත මඩිහ නම් වූ ග‍්‍රාමවරය උන්වහන්සේගේ ජන්ම භූමිය විය. භක්ති පේ‍්‍රමයෙන් යුත් ශුද්ධකුලාභිජාත ජේම්ස් කරොලිස් පූජිත ගුණවර්ධන මහතාණෝ පියා වූහ. බෙලා ඇන්ජලීනා ධීරසේකර උපාසිකාවෝ මව වූහ. ධීරවීර ගුණනැණ සමුදායක උල්පතක් හා සමාන වූ මේ චරිත කථානායකයාණෝ ක‍්‍රි.ව: 1913 ක් වූ ජූනි මස 21 වන දින ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන නමින් මනුලොව දිනූ සේක.

දුටුවන් සිත් වසී කරවන රුචිර වූ දේහ ශ‍්‍රී සොභාවෙන් හා අනූන වූ ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණයෙන් ශෝභිත වූ මෙකුමරුන් කෙළි දෙළෙන් පිනපිනා දෙමාපියන්ගේ සෙනෙහස නමැති කිරිමුහුදට පුරපස ස`දමෙන් නිරුපද්‍රිතව වැඩෙන්නේ, අකුරු කරවීමට නිසිකල් වයස් පැමිණියෙන් ස්වකීය සහෝදරියන් අධ්‍යයනයෙහි නියුතුව සිටි සාන්ත තෝමස් ඉංග‍්‍රීසි විද්‍යාලයට ඇතුළත් කරණු ලැබීය. එහිදී උපතින් වසර දහයක් පමණ වනතෙක් අධ්‍යයන කටයුතු වල නිරත වූ කුඩා විල්මට් ඉන් අනතුරුව ස්වකීය පියතුමන් මුල්ගුරු ලෙස කටයුතු කළ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත් විය.

කුඩා කල සිටම මිශ‍්‍ර ආගමික පරිසරයක හැදී වැඩුණු විල්මට්ට ස්වකීය නිවසට පැමිණෙන පන්සලේ හාමුදුරුවන් වහන්සේගේ සේම, පල්ලියේ පාදිලි උන්නාන්සේගේ දර්ශනය අමුත්තක් නොවීය. එහෙත් සංසාරගත පෙරුම් දමක මහිමයෙන් දෝ කුඩා විල්මට්ගේ සිත ඇදී ගියේ පල්ලියට නොව පන්සලටය. ඒ අනුව ගුණින් නැණින් මෝරන මෙකුමරු කඹුරුගමුවේ දේවගිරි පුරාණ මහා විහාරස්ථානයේදී 1926 ජූනි 24 දා තත් විහාරාධිපතිව වැඩ විසූ, සිරිසද්ධම්මජෝතිපාල කවිධජ විනයාචරිය ගෞරවාර්හ වේරගම්පිට රේවත මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් හා ස්වදේශදේශාන්තරයෙහි ව්‍යාප්ත කීර්ති කදම්බෝජ්වලිත ගෞරවාර්හ පැලෑනේ ශ‍්‍රී වජිරඤාණ මහානාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්‍වයෙන් මඩිහේ පඤ්ඤාසීහ නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

ස්වකීය උපාධ්‍යායන් වහන්සේගේ පා සෙවනෙහි උගත යුතු මූලික පිරිත් බණ දහම් ආදිය මාස හයක් පමණ ප‍්‍රගුණ කළ නවක සාමණේරයන් වහන්සේ ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ කැ`දවුම පරිදි බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වීම ස`දහා අගනුවරට වැඩම කළහ. එහිදී කුඩා පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේගේ ආරක්‍ෂකයා වූයේ සැබැවින්ම උගත් ධර්මධර, විනයධර විචිත‍්‍ර ධර්මකථික මාහිමි නමකි. මෙහිදී පැලෑනේ වජිරඤාණ මහානාහිමියන් පිළිබ`දව යමක් ස`දහන් නොකළ හොත් එය අඩුුවකි. ඒ දේශීය විදේශීය ධර්මදූත ව්‍යාපාරය ස`දහා සාකල්‍යයෙන් ම උචිත දේශක පිරිසක් බිහිකිරීමේ ගෞරවය ලැබිය යුත්තා උන්වහන්සේ වන බැවිනි. වජිරාරාම සම්ප‍්‍රදාය හ`දුන්වා දුන් උන්වහන්සේ ලෝක ප‍්‍රකට ධර්මදේශකයන් වහන්සේලා ලෙස නමක් දිනූ වජිරාරාමවාසී නාරද, පියදස්සී, මෙතෙය්‍ය, සෝම, ඛෙමින්ද වැනි යතිවරයන් වහන්සේ බිහිකළා සේම අම්පිටියේ රාහුල, කඹුරුගමුවේ මහානාම, දෙණිපිටියේ සුමනසිරි වැනි තවත් දක්‍ෂ සිසු පිරිසක් ඇති කළහ.

අගනුවරට සැපත් දිනයේ සිටම පැලෑනේ මහානාහිමි සෙවණේ බණ දහම් සේම ගුණදහම් හදාළ පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේ විසිවයස් සම්පූර්ණව උපසම්පදාර්හව සිටි හෙයින් වර්ෂ 1933 දී පැලෑනේ ගංගාරාමස්ථ උදකුක්ඛේප සීමාමාලකයේදී ගෞරවාර්හ වේරගමපිට සිරි රේවත මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් සහ ගෞරවාර්හ පැලෑනේ වජිරඤාණ, පොල්වත්තේ ධම්මතිලක, අහංගම පඤ්ඤාලෝක යන මාහිමිපාණන් වහන්සේලාගේ කර්මාචාර්යත්‍වයෙන් සුපරිශුදෙධාපසම්පදාව ලැබූහ.

 පසම්පදාවෙන් පසු උසස් අධ්‍යාපන කටයුතු ස`දහා ද යොමු වූ උන්වහන්සේ ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත් වූ පරීක්‍ෂණවලට ස්වෝත්සාහයෙන් පෙනී සිටි අතර වර්ෂ 1941 දී මහාචාර්ය ජී.පී. මලලසේකර සූරීන් විසින් ලංකා විශ්වවිද්‍යාල කොලීජියෙහි ආරම්භ කරන ලද විද්‍යා විශාරද උපාධි පාඨමාලාවට පෙනී සිට 1944 දී පවත්වන ලද එහි අවසාන පරීක්‍ෂණයෙන් උත්තීර්ණව විද්‍යා විශාරද උපාධිය ලැබීය.

උසස් අධ්‍යාපන කටයුතු අවසන් වීමත් සමග ආගමික, සමාජීක, සංස්කෘතික මහමෙහෙවර උදෙසා ස්වකීය දායකත්‍වය දැක්වීම ස`දහා උත්සුක වූ උන්වහන්සේ ධම_ප‍්‍රචාරක කටයුතු ස`දහා ඉන්දියාව නේපාලය චීනය හොංකොං ආදී රටවල සංචාරය කළ අතර වර්ෂ 1953 දී බුරුමයෙහි පවත්වන ලද – ඡට්ඨ සංගායනාව ස`දහා ශ‍්‍රී ලාංකීක නියෝජිත පිරිසේ සාමාජිකයෙකු ලෙස ද සහභාගී විය. 2500 බුද්ධ ජයන්තියට සමගාමීව මහාචාර්ය ජී.පී. මලලසේකර සූරීන්ගේ මෙහෙයවීම මත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මගින් පිහිටුවන ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවෙහි සාමාජික තනතුරකට පත්කර ගනු ලැබූ විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ මුළු රට පුරාම සංචාරය කරමින් බෞද්ධ ප‍්‍රභූන් ඇතුළු එකී සමිති සමාගම්වල සාමාජික සාමාජිකාවන් හමුවෙමින් ඔවුනගේ් ප‍්‍රශ්න පිළිබ`දව නිරවුල් අවබෝධයක් ලබාගත්හ. පසු කාලීනව මහ නාහිමියන් නිතර ප‍්‍රකාශ කළ මිනිසා හදා ගම හදමු ගම හදා රට හදමු යන තේමා පාඨයට මෙකී සංචාරය උන්වහන්සේට යම් පිටුබලයක් වන්නට ඇතැයි සිතිය හැකිය.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ශ‍්‍රී ලංකා ජනරජයේ අනුග‍්‍රහයෙන් පාලි ත‍්‍රිපිටක පොත් වහන්සේලා හුදී ජනයාට තේරුම් ගැනීමට පහසුවන පරිදි සිංහල භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කිරීමට කටයුතු කළ අතර, එකී ත‍්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද මඩිහේ මහ නාහිමියෝ කටයුතු කළහ. එහිදී ජාතක පාලිය සිංහලට පරිවර්තනය කිරීමේ භාරධූර කාර්යද උන්වහන්සේට පවරනු ලැබීය.

අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක ධුරය හොබවමින් වැඩ සිටි ස්වකීයාචාර්ය ගෞරවාර්හ පැලෑනේ වජිරඤාණ නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 1955 සැප්තැම්බර් මස 21 දින අපවත් වූයෙන් ලංකාසාසනාම්ඹරය බැබළ වූ මිණි පහනක් නිවී ගියේය. උන්වහන්සේගේ අපවත් වීමෙන් හිස් වූ අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායෙහි මහානායක ධුරයට ඒ වන විට සතලිස් දෙවන වියෙහි පසු වූ මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ පත්කරන්නට තත් නිකායික වෘද්ධතර නාහිමිවරු පසුබට නොවූහ.

එයට හේතුව වූයේ ඒ වන විටත් එවැනි භාරධූර වගකීමක් දැරීමට උන්වහන්සේ තුළ වූ ශක්‍යතාව සිදුකළ ශාසනික ක‍්‍රියා තුළින් පළකර තිබීමයි. මෙම මහනායක ධුරප‍්‍රාප්තිය ධර්මරක්‍ෂිත මහානිකාය පමණක් ලැබූ භාග්‍යයක් පමණක් නොව සමස්ත අමරපුර පාර්ශ්වීයයන් ලැබූ භාග්‍යයක් බව පසක් වූයේ 1956 වර්ෂයේ

අගභාගයේදී බම්බලපිටියේ වජිරාරාමයට වැඩම කළ අමරපුර නිකායෙහි සියලූ පාර්ශ්වවල මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලාගේ එකගතාවයෙන් සමස්ත ලංකා අමරපුර මහාසංඝ සභාව පිහිටුවා ගැනීමේ ඓතිහාසික අවස්ථාවෙනි. එකී සද්කාර්ය උදෙසා මුලිකව වී ක‍්‍රියා කළ උන්වහන්සේට ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියද පිරිනැමීය.

මේ සියලූ ලෝක ශාසනික සේවාවන් මධ්‍යයේ උන්වහන්සේ සිදුකළ වැදගත්ම සේවාව වන්නේ සාසන සේවක සමිතිය නමින් සංවිධානයක් පිහිටුවාගෙන වර්ෂ 1958 අපේ‍්‍රල් මස 21 වන දින මහරගම සිරි වජිරඤාණ ධර්මයතනය ස්වකීය පැවිදි සහෝදර අම්පිටියේ රාහුල නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ද අනුග‍්‍රහය ලැබ පිහිටූ වීමයි. ඒ තුළින් වජිරාරාම සම්ප‍්‍රදාය චිරස්ථායී වූවා පමණක් නොව දේශීය විදේශීය ධර්මදූත සේවාවෙහි නියැලිය හැකි උගත් තරුණ යතිවරුන් රාශියක් බිහිවීමයි. ඒ අතර මහරගම ධම්මසිරි නාහිමි, අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති තිරිකුණාමලේ ආනන්‍ද මහානාහිමි, අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි, පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, මහාචාර්ය ධම්මවිහාරී හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි ආදී යතිවරුන් වෙසෙසින් සදහන් කළ හැකිය.

 ජාතික ප‍්‍රශ්නවලදී මඩිහේ මහානායක මාහිමියන් දැක් වූ අදහස් සෘජු බවින් යුක්ත විය. කිසිවිට කිසිවෙකුට පක්‍ෂග‍්‍රාහී නොවූහ. මෙරට යළිත් ධර්මද්වීපයක් කිරීමට නම් ජනතාව සිල්වත්ව විසිය යුතු බවත් ඒ සදහා සතර පොහොය නිවාඩු දින බවට පත්කළ යුතුයැයි යෝජනා කළේ ද එහෙයිනි. ගෞරවාර්හ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ කෙරෙහි පැවති කායවාක් සංයමය ගිහි පැවිදි හැමදෙනාීගේ ප‍්‍රසාදයට හේතුවක් විය. හැම ඉරියව්වෙහිම දුටුවන් ප‍්‍රසාද කර වූ ශ‍්‍රමණාකල්පය නොඅඩුව පැවැත්තේය. මේ කොයියම් ආකාරයකින් අප ජීවත් වුවද මාරයාගෙන් ගැලවීමක් නම් නැත. ඒ සදාතනික ධර්මතාව සිහිගන්වමින්, ලෝකශාසනෝපකාරීව ක‍්‍රියාකළ සුපේශල ශික්‍ෂාකාමී ගුණයන්ගෙන් සමුපශෝභිත අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන අමරපුර මහානිකායෙහි උත්තරීතර මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 2003 සැප්තැම්බර් මස 08 දින අපවත් වී වදාළහ. උන්වහන්සේගේ දහඅට වන ගුණ සැමරුම මේ වන විට රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මාර්ගගත ක‍්‍රමයට 2021 සැප්තැම්බර් 12 වන දින රාත‍්‍රී 7ට අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහ පින්වත් සාධූන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

අමරපුර කල්‍යාණිවංශ නිකායේ වැඩබලන මහා ලේඛකාධිකාරී
ගිංතොට ශ‍්‍රී ථූපාරාම රාජමහා විහාරාධිපති විද්‍යානිධි පණ්ඩිත
අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිර


සංස්කරණය නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment