දහම් සිරිසේන පොළොන්නරුවෙන් දේශපාලනයට

500

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඒකච්ජන්දයෙන් තේරි පත්විය.

එම පක්‍ෂයේ අනුබද්ධ සංවිධාන ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩ පිළිවෙළ යටතේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම පසුගිය ඉරිදා (7දා* හිටපු ජනාධිපති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි. ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාගේ නම යෝජනා වී ඇත. එහිදී සභාපති ධුරය සඳහා වෙනත් නම් යෝජනා වී නොතිබූ අතර ඒ අනුව ඒ මහතා ඒකච්ජන්දයෙන් එම තනතුර සඳහා තේරී පත්වී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන මහතා තේරී පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භ කර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි. ඒ 1969 වසරේදීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment