දහවල අඳුර ගෙනෙන සූර්යග්‍රහණය ගැන හරියටම දැනගන්න!

666

විශ්වයේ සිදුවන සංසිද්ධීන් රැසකට හේතු වන්නේ විවිධ වූ ග්‍රහණ ය. ඒ අතර සූර්යග්‍රහණ එක් ග්‍රහණ විශේෂයකි. කෙසේ නමුත් ග්‍රහණ හේතුවෙන් සමස්ත ලෝක පරිසරයටත් එහි වෙසෙන ජීවීන්ටත් ඍජු මෙන්ම වක්‍ර වූ ශුභ අශුභ ඵල ගෙන දේ. එහිදී විශේෂයෙන්ම කාලගුණික දේශගුණික විපර්යාස පැහැදිලිව ම සිදු වේ. ජ්‍යොතිෂ පොත පතේ සඳහන් වන ආකාරයට වර්ෂයක් තුළ සිදුවිය හැකි උපරිම ග්‍රහණ 7 කි. එහි දී වර්ෂයක් තුළ සිදුවිය හැකි උපරිම සූර්ය ග්‍රහණ 5 කි. නමුත් එලෙස සූර්ය ග්‍රහණ 5ක උපරිමය සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. කෙසේ නමුත් වර්ෂයක් තුළ සූර්යග්‍රහණ 2කට අඩුවෙන් සිදුවිය නොහැක.

සාමාන්‍ය ජන ව්‍යවහාරයේ ඉර රාහු අල්ලනවා. එසේත් නැත්නම් ඉර කේතු අල්ලනවා ලෙස ව්‍යවහාර වන්නේ සූර්ය ග්‍රහණයටය. සූර්යග්‍රහණයක් නිර්මාණය වනුයේ සූර්යයාත් පෘථිවයන් අතරට චන්ද්‍රයා පැමිණි මෙනි. සූර්යයා වටා පෘථිවිය ගමන් කරයි. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරයි. මෙම ගමන් මාර්ග දෙකම ඉලිප්සාකාරය. පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයාගේ ප්‍රමාණය පෘථිවි ප්‍රමාණයෙන් 1/4 පමණ වේ. මේ නිසා සූර්ය ග්‍රහණයක දී මුළු පෘථිවිය ම චන්ද්‍රයාගෙන් වැසී යෑම සිදු නොවේ. කෙසේ නමුත් සූර්යයා චන්ද්‍රයා හා පෘථිවිය එකම මට්ටමක පිහිටා නැත. නමුත් සූර්යයා සඳු හා පෘථිවිය එක එල්ලේ එකම රේඛාවක යෙදුණ අවස්ථාවේදී සූර්යග්‍රහණය සිදු වේ. මෙහිදී චන්ද්‍රයා විසින් හිරු ආවරණය කරනු ලබයි. එනම් සූර්යග්‍රහණයක දී සූර්යාගේ ඡායාව පෘථිවියට නොපෙනේ. මේ සන්සිද්ධිය පෘථිවිවාසීන්ට සූර්ය ග්‍රහණයක් ලෙස දිස් වේ. එහිදී සූර්ය ග්‍රහණය අවසන් වන තුරු අඳුර පවතී. ඉතා කෙටි වේලාවක් පවතින සූර්යග්‍රහණය පියවි ඇසින් දැකීම අනතුරුදායකය.

සූර්ය ග්‍රහණයක් සිදුවනුයේ අමාවක දිනකය. නමුත් සෑම අමාවක දිනකම සූර්ය ග්‍රහණයක් සිදු නොවේ. ඊට හේතු වන්නේ චන්ද්‍රයාගේ කක්‍ෂය පෘථිවි කක්‍ෂයට 50 ක පමණ ආනතියකින් පිහිටීමයි. මේ නිසා සූර්ය ග්‍රහණයක් ඇති නොවන අමාවක දිනවල චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය මතට නොවැටී අභ්‍යාවකාශයට පතිත වේ.

ඉහත දී සඳහන් කළ පරිදි පෘථිවිය වටා චන්ද්‍රයා භ්‍රමණය වේ. පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක හෙවත් කක්‍ෂයක පරිභ්‍රමණය වේ. මේ නිසාවෙන් සූර්යයා චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර වර්ෂය තුළ විචලනය වේ. ඒ නිසා සූර්යයා හා චන්ද්‍රයා පෘථිවියට දර්ශනය වන ප්‍රමාණය වෙනස් වේ. මේ හේතුවෙන් සූර්ය ග්‍රහණය; පූර්ණ, අර්ධ, වළයාකාර හා ද්විත්ව ලෙස දිස් වේ. සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයක් පූර්ණ සූර්ය ග්‍රහණයක් වන්නේ චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන විටය. එනම් සූර්යාගෙන් පෘථිවිය ඈත් වන වසරේ මැද දී පූර්ණ සූර්ය ග්‍රහණයත් සූර්යයා පෘථිවියට ළංවන වසරේ මුල වළයාකාර සූර්ය ග්‍රහණයත් ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වන ආකාරයට පෘථිවියේ එකම ස්ථානයකට පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වන්නේ ආසන්න වශයෙන් වසර 370කට පමණ වරක්ය.

සූර්ය ග්‍රහණය ප්‍රධාන වශයෙන් පූර්ණ හා අර්ධ ලෙස දෙයාකාරය. අර්ධ සූර්ය ග්‍රහණයක දී සූර්යා චන්ද්‍රයා හා පෘථිවිය පූර්ණ සූර්ය ග්‍රහණයක දී මෙන් එක එල්ලේ සරල රේඛීයව නො පිහිටයි. නමුත් ආසන්න වශයෙන් එක එල්ලේ සරල රේඛීයව පිහිටයි. අර්ධ සූර්ය ග්‍රහණයක් යනු සූර්යයාගෙන් හරි අර්ධයක් චන්ද්‍රයා හේතුවෙන් වැසී යෑම නොවේ. එහිදී සිදුවන්නේ සූර්යයාගේ යම් කොටසක් පමණක් චන්ද්‍රයාගෙන් වැසී යෑම පමණි. මෙම අර්ධ සූර්ය ග්‍රහණය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට වළයාකාර සූර්ය ග්‍රහණයක් සේ දිස් වේ.

සූර්ය ග්‍රහණයක් හොඳින් නිරීක්ෂණය කිරීමේදී චන්ද්‍රයාගේ සෙවනැලි දෙකක් හඳුනා ගතහැක. ඉන් එක් සෙවනැල්ලක් අඳුරු පැහැ වන අතර අනෙක් සෙවනැල්ල ළා පැහැතිය. එම සෙවනැලි පිළිවෙලින් පූර්ණ ඡායාව හා උප ඡායාව ලෙස හඳුන්වයි. කෙසේ නමුත් මෙකී ඡායා දෙකෙන් කවර හෝ ඡායාවකට හසුවන පෘථිවියේ ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් දර්ශනය වේ. මුළු පෘථිවිය ම සැලකූ කල ඉහත දී සඳහන් කළ ලෙස ම චන්ද්‍රයා කුඩා වන නිසා සූර්ය ග්‍රහණයක දී චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් පෘථිවියේ ඉතාම සීමිත බිම් ප්‍රමාණයක් වැසී යයි. සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයක දී සූර්යයා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැසී යන්නේ මිනිත්තු 7-8 කට වඩා අඩු කාලයකි. මීට වඩා වැඩි කාලයක් පවතින පූර්ණ සූර්ය ග්‍රහණ විශ්වයේ ඉතාම දුර්ලභය.

සූර්ය ග්‍රහණවල ද්විත්ව සූර්ය ග්‍රහණ ද ඉතාම කලාතුරකින් දැකිය හැක. මෙකී ද්විත්ව සූර්ය ග්‍රහණයක විශේෂත්වයක වන්නේ පෘථිවියේ යම් ප්‍රදේශයකට එය පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසත් තවත් ප්‍රදේශයකට වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසත් දිස්වීමයි. මෙලෙස ග්‍රහණ අවස්ථා 2 ක් එකවර ඇති වීමට හේතුව සූර්යයා චන්ද්‍රයා හා පාථිවියේ පිහිටීමයි. එනම් පෘථිවිය වක්‍ර නිසාවෙන් සූර්ය ග්‍රහණය සිදුවන අවස්ථාවේ පෘථිවියේ එක් පසකට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසත් අනෙක්පසට වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසත් දර්ශනය වේ. මෙහිදී සූර්ය ග්‍රහණයේ මධ්‍යයට හෙවත් ග්‍රහණ මධ්‍යයට පිටින් පිහිටි ප්‍රදේශවලට සූර්ය ග්‍රහණය දර්ශනය වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසිනි. පොත පතට අනුව පසුගිය 1900 – 2000 අතර වූ 20 වන ශත වර්ෂයේ මෙවැනි ද්විත්ව සූර්ය ග්‍රහණය 6 ක් දර්ශනය වූ බව සඳහන් වේ. කෙසේ නමුත් මෙකී ග්‍රහණ විශේෂය ඉතාම දුර්ලභය.

තවද පූර්ණ සූර්ය ග්‍රහණ අවස්ථාවකදී චන්ද්‍රයාගෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාම ආසන්න අවස්ථාවේ චන්ද්‍රයා මත යම් දිලිසුමක් දැකිය හැක. මෙවැනි දිලිසීමක් ඇති වන්නේ සූර්ය කිරණ චන්ද්‍රයාගේ කඳු, ආවාට වැනි ස්ථාන හරහා යෑමේදී ය. මෙම දිලිසීම බේලිස් බීඩ්ස් ලෙස හඳුන්වයි. මෙම දිලිසුම නිරීක්ෂණය කළ හැකි වන්නේ පූර්ණ සූර්ය ග්‍රහණයක දී පමණි. මෙම බේලීස් බීඩ්ස් නම් වූ දිලිසුම තත්ත්පර කිහිපයක් දර්ශනය වේ. මෙහිම තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස දියමන්ති මුද්ද නම් වූ දිලිසෙන බලයක් චන්ද්‍රයා වටා දැකගත හැකිය. මෙහිදී චන්ද්‍රයා වටා සූර්යාලෝකය දිලිසීමට පටන්

ගන්නේ දියමන්ති මුදුවක් ආකාරයකට ය. කෙසේ නමුත් ඉහත සඳහන් කළ බේලීස් බීඩ්ස් අවස්ථාව හා දියමන්ති මුද්‍රාව යන අවස්ථාව සම්බන්ධ තොරතුරුත් සජීවී, සත්‍ය, ත්‍රිමාණ ඡායා රූපත් රැසක්ම අන්තර්ජාලයේ වෙබ් අඩවිවල දක්වා ඇත.

එපමණක් නොව සෑම වසරකම සිදුවන ග්‍රහණ සම්බන්ධ තොරතුරු පංචාංග ග්‍රහස්ථුට ලිත්හි සඳහන්ය. ඒ අනුව 2018 වර්ෂයට අර්ධ සූර්ය ග්‍රහණ 3ක් සිදුවන බව සඳහන්ය. ඒ නිසා විශේෂයෙන් ශුභ මුහුර්ත සෑදීමේදී සලකා බැලිය යුතු කරුණු 37 අතර ග්‍රහනෝන්පාන රාශි දෝෂ ශුද්ධිය හා ග්‍රහනෝන්පාන දින දෝෂ ශුද්ධිය අන්තර්ගත වීම සැලකිල්ලට බදුන් කළ යුතුය. එනම් මාධව හා වෘහස්පති ඍෂි උතුමන්ට අනුව ග්‍රහණය සිදුවන දිනයත් ඊට පෙර දින 3 හා ඊට පසු දින 3 ද ඇතුළුව මුළු දින 07 ම ශුභ මුහුර්ථ සඳහා අශුභ බවය. තවද ග්‍රහණය සිදුවූ රාශියත්, නැකතත් ශුභ නැකැත් සෑදීමේදී යොදා ගැනීම අශුභය. එහිදී ග්‍රහණය සිදුවන දිනට පෙර දින 7 න් ග්‍රහණය සිදුවන දිනත් ග්‍රහණය සිදු වූ පසු උදා වන දින 7 න් යන මුළු දින 15 ම ශුභ මුහර්ථ සඳහා භාවිතය නොකළ යුතුය යන්න ඇතැම් උගත් ආචාර්ය මතය වේ. කෙසේ නමුත් ශුභ මුහුර්ථ සෑදීමේදී සර්වතෝභද්‍ර නැකැත් සෑදීම දුෂ්කර නිසාවෙන් ද ප්‍රායෝගික නොවන නිසාවෙන් ද නැකැත් සෑදීමේදී සලකා බලනු ලබන දෝෂ 37ම සලකා බැලීම හෝ නොබැලීම ගුරුකුල අනුව වෙනස් වේ.

පහත දැක්වෙන දළ රූප සටහන හොඳින් අධ්‍යයනය තුළින් සූර්ය ග්‍රහණයක් නිර්මාණය වනුයේ කවර ලෙසකට ද යන්න මැනවින් අවබෝධ කර ගතහැක.

දහවල අඳුර ගෙනෙන සූර්යග්‍රහණය ගැන හරියටම දැනගන්න!

ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment