ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු ලැයිස්තුවක් කා ළඟවත් නෑ

100

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල

මැති සබේ ද්විත්ව පුරවැසියන් දසදෙනෙකු සිටින බවත් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් මෑතකදී මන්ත්‍රීවරුන් ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ අයගෙන් ඔය මන්ත්‍රීවරු දසදෙනා කවුද කියලා අහන්නකෝ. එහෙම කියන්න ලැයිස්තුවක් කා ගාවවත් නෑ. ඕක හිතළුවක් විතරයි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ අයිතිය නැත්තේ ලංකාවේ සහ ඔස්ටේ්‍රලියාවේ පමණක් බවට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පවසනවා අපි මාධ්‍ය හරහා දැක්කා. මේක ජනතාව නොමග යවන බොරුවක්. මේ ප්‍රකාශය හරහා අපි 21 සංශෝධනය ගෙනාවේ පෞද්ගලික පලි ගැනීමකට යන මතය සමාජ ගත වීමේ අවදානමක් තිබෙනවා. ඔස්ටේ්‍රලියාවේ සහ ලංකාවේ පමණක් නොවේ තවත් රටවල් ගණනාවක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ. හොඳම නිදසුන පිලිපීනය.දිගු කාලයක් පුරා පිලිපීනයේ ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට හැකියාව තිබුනත් 2015 දී ගෙනා නීතියකින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ පමණක් නොවේ නගර සභාවකවත් දේශපාලන තනතුරක් දරන්න බෑ. අපේ අසල්වැසි ඉන්දියාවේ ද්විත්ව පුරවැසියෙකු වෙන්නවත් බෑ. වෙනත් රටක පුරවැසිකම ගත් වහාම ඉන්දියාවේ පුරවැසිකම අහෝසි වෙනවා. ඊට පස්සේ “විදේශීය ඉන්දියානු පුරවැසි” කියන විශේෂ තත්වය ලබා ගන්න පුළුවන්. විදේශීය ඉන්දියානු පුරවැසියන්ට ඉන්දියාවේ රැඳී ඉන්න දේපල අයිති කර ගන්න පුළුවන් වුණත් පාර්ලිමේන්තුවට තරග කරනවා තබා ගම් සභා ඡන්දයකදී ඡන්දය ප්‍රකාශ කරන්නවත් බෑ.

ආසියාවේ සහ අප්‍රිකාවේ ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීම තහනම් කළත් ඇමෙරිකාවේ බ්‍රිතාන්‍යයේ ජර්මනියේ එහෙම කරලා නෑ තමයි. ඒකට හේතුවක් තිබෙනවා. තමන්ගේ රට අතිශයින්ම බලවත් නිසා ද්විත්ව පුරවැසියෙකු මන්ත්‍රීවරයෙකු වී තමන්ගේ රටට ද්‍රෝහි වෙන්නේ නෑ කියන විශ්වාසය ඒ රටවලට තිබෙනවා. නමුත් දුර්වලම රටක් වන අපේ රටට එහෙම විශ්වාසයක් තබන්න බැරි බව කටුක අත්දැකීම් හරහා අපි ඉගෙන ගත්තා.

2021 වසරේදී මුදල් අමාත්‍යාංශය ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් එනජි සමාගම සමග ගිවිසුම අත්සන් කරන විට අපේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකානු ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක්. එයා ඇමෙරිකාව පැත්ත අරන් ඇමෙරිකාවට පක්ෂග්‍රාහි ගිවිසුමක් මහ රෑ 12ට හොර රහසේ අත්සන් කළා. ඒ නිසායි අපි 21 වන සංශෝධනය ගෙනවිත් ද්විත්ව පුරවැසියන්ට මේ රටේ මන්ත්‍රී ධූර දැරීම තහනම් කිරීමට අපි කටයුතු කළේ.

මැති සබේ ද්විත්ව පුරවැසියන් දසදෙනෙකු සිටින බවත් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් මෑතකදී මන්ත්‍රීවරුන් ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ අයගෙන් ඔය මන්ත්‍රීවරු දසදෙනා කවුද කියලා අහන්නකෝ. එහෙම කියන්න ලැයිස්තුවක් කා ගාවවත් නෑ. ඕක හිතළුවක් විතරයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment