දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ඌ තමයි සාම්බුවා !

213

සාප්පු සවාරි හොරකමේ යන උදවිය

සීසීටීවී තිබුණට වැඩක් නෑ!

පවුල් පිටින් හොරකමේ යන කලාව…..

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ඌ තමයි සාම්බුවා !

උත්සව සමය ඇරඹී තිබේ. පාස්කු ප්‍රහාරය නිසාත් ඉන්පසුව කොවිඩ් වසංගතය නිසාත් රටේ ජනතාවට “අත හැරී” තිබුණු උත්සව සමයේ සාප්පු සවාරි යෑම දැන් තරමක් දුරට වර්ධනය වී තිබේ. පසුගිය වසර වලට සාපේක්‍ෂව රටේ තරමක් ආර්ථික පසුබෑමක් තිබුණද නත්තල සහ එළැඹෙන නව අවුරුදු සමය වෙනුවෙන් බොහෝ දෙනෙක් සාප්පු සවාරි යෑමට පටන්ගෙන තිබේ.

පාරිභෝගික ජනතාව ක්‍රම ක්‍රමයෙන් වෙළෙඳසල්වලට එකතුවෙන අතරවාරයේ සුපිරි වෙළෙඳසල්වලට, සාප්පු වලට, තොග හා සිල්ලර වෙළෙඳපොළට, ග්‍රොසරියට, කඩපිලට හා සතිපොළට පාරිභෝගික වෙස් ගෙන එන තවත් පිරිසක් සිටී.

ඒ අය හඳුන්වන්නේ සාම්බුවා හෙවත් සාම්බු කාරයෝ ලෙසය. වෙළෙඳ ව්‍යාපාරික සමාජෙට අනුව මේ අය ‘මගෝඩි’ පුද්ගලයන්ය.

මේ අය තම ප්‍රධාන ජීවිකාව හා ආදායම් මාර්ගය කරගෙන ඇත්තේ කඩ සාප්පු වලට පැමිණ හොරකම් කිරීමයි. (මොවුන්ට අමතරව තව අල්ලෙ වාසි කාරයෝ කියා පිරිසක්ද සිටී. උන්ගේ ජීවනෝපායත් වෙළෙඳසල්වලට ගොස් අයකැමිවරු මුලාකොට ඔවුන්ගේ මනස ව්‍යාකූල කොට මුදල් වංචා කිරීමයි.)

සාම්බුකාරයා හෙවත් සාම්බු ගහනවා යන්නට ළඟම තේරුම දෙන ඉංග්‍රීසි වචනය ීයදච ඛසඓසබට ලෙස අපට හැඳින්විය හැක. නමුත් අල්ලෙ වාසි ගැහිල්ලට සමාන හෝ ආසන්න තේරුමක් දෙන වචනයක් අපට හොයාගන්නට බැරි වූයේ සමහර විට ඒ ඉංග්‍රීසි බස කතාකරන එංගලන්තයේ හෝ යුරෝපයේ වෙනත් රටක මේ අල්ලෙ වාසිකාරයන් නැති නිසා විය හැක.

“දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා…., ඌ තමයි සාම්බුවා’ කියා වීථි බසින් ඇති අපූරු කියමන ඔබ අසා තිබේද?

සාම්බු ගැසීම අද ඊයේ සමාජයට ආවක් නම් නොවේ. අපේ තාත්තලාගේ සීයලාගේ කාලයේ පවා මෙම හොර ක්‍රමය පැවැත ඇති බවට ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට සම්බන්ධව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කීපදෙනෙක් ගෙන්ම කළ විමසීම් වලදී අහන්නට ලැබුණි. සාම්බු යන වචනය කුමන භාෂාවෙන් බිඳී ආවක් දැයි දැනගන්නට නැතත් ඔබා ගැනීම, ඉණේ හෝ බඩතුරේ ගසා ගැනීම, දෙකකුල් අස්සේ ගසා සඟවා ගැනීම, ඇඳුමක් අස්සේ රිංගවා වසන් කර ගැනීම ලෙස විස්තර කළ හැක.

තනි තනියෙන් මෙන්ම කුඩා කණ්ඩායම් ලෙස කල්ලි හැදී කඩ සාප්පු වලට මොවුන් පැමිණෙති. එකම පවුලේ අයගෙන් සැදී කුඩා පිරිස් කීපයක්ද මෙලෙස ඉතා සංවිධානාත්මකව නගරයට පැමිණ සාම්බු සොරකමේ යෙදෙන බව නගරාශ්‍රිත ව්‍යාපාරිකයෝ දනී. බොහෝ කලකට පෙර අපට දැනගන්නට ලැබුණු පරිදි මව, මාමා, ලොකු පුතා හා දියණියකගෙන් සැදුනු මේ එක් සාම්බු පවුලක් පදිංචිව සිටියේ යක්කල නෙල්ලිගහමුල නම් ගමේ කුලියට ගත් නිවසකයි. ඔවුන්ගේ මුල් ගම මාතර මිරිස්ස පැත්තේලු.

එකල පැරණි මොරිස්මයිනර් කාරයක නැගී නගරයට ආ මුන් පසු කලෙක ජපානයේ නිෂ්පාදිත වෑන්රථයක හිමිකාරිත්වය දැරූ බව කියැවිණි. පුතා විසින් පදවන වෑන්රථයෙන් නගරයට එන ඔවුන් කාර්යබහුල, සෙනඟ වැඩි සාප්පුවක් ඉදිරියේ තම වාහනය නවතා එම ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙයි. එතැන සීයක් හමාරක් පිරිස හිටියත් ඒ කාටත් හොරා රෙදි පීස් එකක්, බ්ලවුස් හෝ ටීෂර්ට් බණ්ඩලයක් සොරා ගැනීමට යන්නේ විනාඩි කීපයකි. මොවුන්ගේ ප්‍රධානම ක්‍රමවේදය වන්නේ රෙදි පොදිය දෙකකුල් අතරේ රඳවා ගැනීමයි. ඒ සඳහා ඉදිරිපත් වන්නේ රියදුරු ලෙස සරමක් කමිසයක් ඇඳගෙන එන හතළිස් විය පැන්න ලොකු පුතාය. අම්මා, මාමා හා තරුණ රූමත් දුව හැසිරෙන්නේ මහ පරිමාණ රෙදි වෙළෙන්දන් හෝ ගාමන්ට් එකක හිමිකරුවන් ලෙසිනි. අම්මා හා දුව රෙදි පිළි තෝරද්දී මාමා විසින් සැමගේ ඇස් වසා රෙදි පොදියක් හෝ පීස් එකක් පුතාගේ දෙකකුල් අස්සේ ඔබයි. ඒ සඳහා පුතා සරම මදක් ඉහළට පිටු පස්සෙන් ඔසවාගෙන සැදී පැහැදී සිටී. සෑහෙන බරක් ඇති ප්‍රමාණයෙන්ද තරමක විශාල මෙවන් පොදියක් තම දෙපා අතරේ රුවා ගෙන අඩි කීපයක් ඇවිද ගොස් රථයට නැගීමට මොහු අති දක්‍ෂය. දෙකකුල් අස්සේ පමණක් නොව ඉණතුරේ, කමිසය අස්සේ, රැගෙන එන ලොකු මල්ලක පවා මුන් බඩු සොරකම් කොට හීන් සැරේ පලායන්නේ කඩේ ඉන්නා බටු මීයන්ටත් හොරෙනි.

පවුල් වශයෙන් මෙන්ම ජෝඩු ජෝඩු ලෙසද පැමිණෙන සාම්බු යුවළවල් ගැන අපට අසන්නට ලැබුණි. බොහෝ විට මුන් තරුණ හෝ තාරුණ්‍ය ඉක්මවන මැදිවියට ආසන්න අයයි. විදුලි භාණ්ඩ හෝ ඉලෙක්ට්‍රොනික බඩු ඇති සාප්පු, රත්‍රන් මාළිගා, (ස්වර්ණාභරණ සල්) හාඩ්වෙයාර්, ග්‍රොසරි, සුපිරි වෙළෙඳසල් ආදී ස්ථාන මොවුනගේ ඉලක්ක කලාප වෙයි. වැදගත් ලෙස ඇඳ පළඳ බඩු තෝරණ මුවාවෙන් මුන් ව්‍යාපාරික ස්ථානයට ඇතුල්ව කෙසේ හෝ වටිනා දෙයක් සාම්බුවේ ගසා ගනී. මෙසේ හොරකම් කරද්දී අසුවන අවස්ථාද එමටය.

‘දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා’ යන න්‍යාය එළියට එන්නේ මෙසේ සාම්බු ගසන්නට ගොස් හසුවන අවස්ථා වලදීය.

බුවා යනු ‘චන්ඩියා හෝ අයියා’ යන අර්ථය දෙන වීථි වචනයක් බව අපි දනිමු.

දැක්කොත් බුවා යනු සාම්බුකරු යම් දෙයක් බඩතුරේ ඔබා ගනිද්දී හෝ උරයක දා ගන්නට තැත් කරද්දී කඩ හිමියා හෝ සේවකයෙක් දැක කෑ ගසන්නට යද්දී ඔවුන්ට වඩා වැඩි සද්දයක් දාමින් සාම්බුකරු බුවා වෙන්නට යෑමයි.

‘අරි අරි….. පොඩි විහිළුවක් කළේ! අපි හොරු නෙමෙයි මල්ලි අරිද! කීයද ගාන? ඕන්නං ෂල්ලි දෙන්නං! බොරු ටෝක්ස් එපා අරිද අපිත් මේ බජාර් එකේ තමයි!…..”

මෙවැනි බුවා පාට් දමා ඔහු කෙසේ හෝ තට්ටු (මාරු වෙන්නට) වෙන්නට බලයි.

නොදැක්කොත් එබුවා යනු යම් හෙයකින් මේ හොරකම සිදුවනු කිසිවෙක් නොදැක්කොත් සැනින් එම භාණ්ඩය තම ඇඳුමක් අස්සේ හෝ මල්ලක ඔබා ගැනීමයි. එසේ ඔබාගන්නා සාම්බු කරු එතැනින් ‘බ්ලාස්’ වෙන්නේ නයා හුඹහට ඇදෙනවාටත් වඩා වේගයෙනි.

මෙම සාම්බුකාරයන් අතටම අසුවන අවස්ථා එමට බව අපි කලින් කීවෙමු. එසේ වුණ අවස්ථා ගැන කිරිබත්ගොඩ සාප්පුවක වෙළෙඳ සේවකයෙක් තම අදහස් දැක්වූයේ මෙසේය.

“උන් මාර වැඩකාරයෝ අයියා! ගානට ඇස් වහලයි වැඩේ දෙන්නෙ, හැබැයි අපිට මාට්ටු වුණොත් ඉතින් සඳ ගුටි තමයි! ආයි දෙකක් නැහැ ඇඳුම් ගලවල කඩේ ඉස්සරහ දන ගස්සනවා. ලොකු ටොකු පූජාව කෙලවරක් නැහැ…. හොරකම ලොකු එකක් නං හොඳටම නෙලලා පොලිසියට භාර දෙනව…, මේ කාලෙ අපි හොඳ සිහි කල්පනාවෙන් ඉන්නේ…, දැන් වැඩිපුරම ගෑනු තමයි මේව කරන්නෙ…, දැක්කම කියන්නම බැහැ හොරකමට එනවයි කියල!’

ඔහු කියන අන්දමට සාම්බුකාරයන් අසුවුණහොත් ලැබෙන දඬුවම් නිමක් නැත. කළුඅග්ගල වග කියන ගම පැත්තෙන් ත්‍රිරෝද රියක නැග නගරයට එන මෙවන් සාම්බු පවුලක්ම අද හිරගෙදර ළඟින්නේ දෙහිවල නගරයේ ස්වර්ණාභරණ සලකට ගොස් බඩු ගන්න මුවාවෙන් මුදු තට්ටුවක් (මුදු රඳවන වෙල්වට් රෙදි ඇතුරූ පැතලි පෙට්ටියක්) සොරකම් කරගෙන යන්නට ගොස් අසුවූ නිසාය. මෙම පවුල වඩාත් ප්‍රසිද්ධ රත්ත්‍රන් බඩු ඉස්සීම සම්බන්ධවයි.

අම්බලන්ගොඩ, ගාල්ල, මාතර වැනි නගරවලද සාම්බු කාරයෝ සැරිසරති. මේ අය වැඩිදෙනෙක් තරුණයෝය. උන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය වියදම සොයා ගැනීම, හවසට අරක්කු බී ජොලි කිරීම ආදියට බරපැණ සොයා ගැනීම සඳහා උන් මෙසේ සාප්පු සවාරියේ යෙදෙති.

සාප්පු සවාරියේ යෑම (Shopping යෑම) යනු තරුණයන් විසින් සාම්බු ගසන්න යනවාට හඳුන්වන කේත නාමයයි.

කුදු මහත් වෙළෙඳ ප්‍රජාව, සාමාන්‍ය සමාජය හා විෂම සමාජය යන ත්‍රිත්වය සමඟම මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මිරිහානෙ ඉන්දිකයියා නමැත්තා අපට කියාසිටියේ ඉස්සරට වඩා බොහෝ වැඩියෙන් දැන් සාම්බුකරුවන් බිහිවී ඇති බවයි.

ඔහුගේ මාර්ගයෙන් අපට හමුවූ “පබුළු” ලෙස සමාජය හඳුන්වන සාම්බු රජෙක් තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.

“ඉස්සෙල්ලම බිග් මැච් කාලේ ජොලියට තමයි අපි මේ වැඩේ කරන්න පටන්ගත්තේ, පස්සේ අපි ඒකටම හුරුවුණා. අපිත් එක්ක හැමදාම උදේට කොල්ලො හත් අට දෙනෙක් සෙට් වෙනවා. අපි බඩුගන්න යන විදිහට සාප්පුවෙන් සාප්පුවට කඩෙන් කඩේට යනවා. මුදලාලිගෙ හරි, වැඩ කරන අයගෙ හරි ඇස් වහල තියෙන දෙයක් සාම්බුවේ ගහ ගන්නවා.

මුලදී අපි වැඩිපුරම ටාගට් කළේ වටිනාකමෙන් වැඩි ප්‍රමාණයෙන් පොඩි දේවල්, ඒ කියන්නේ බැටරි පෙට්ටි, යූහු ගම් ටියුබ් පැකට්, පෑන් බණ්ඩල් වගේ සිල්ලර දේවල්. පස්සේ වැඩේ හුරු වුනාට පස්සෙ රත්තරන් මාල වළලු, ඇන්ටික් බඩු වලට කොටන්න ගත්තා.

අප කල්ලිය රට වටේම යනවා. හතේ කණුවෙ සසා තමයි මුදලාලිව කතාවට මාට්ටු කර ගන්නේ. දසපාල ලස්සන හැන්ඩියා – ඌ තමයි කෙල්ලන්ට ටෝක් කරන්නේ. ඒ අස්සෙ පොඩි චූලා, මලිය, මිත්තේ වගේ උන් පුළු පුළුවන් දේ ඔබා ගන්නවා.

සසා වැඩිපුරුම දක්‍ෂ ඇන්ටික් බඩු වලට ගේම දෙන්න. චූලාගෙ ඉණේ බය නැතුව කිලෝ දහයක් පහළොවක් ගහන්න පුළුවන්. ඌ ඒවත් එක්ක කිසි ගානක් නැතිව හැතැම්ම පහක් හරි දුවයි.

පොලිසියට අහුවෙලා නැද්ද කියා ඇසූවිට ඔහු දුන් උත්තරය.

‘ඇයි නැත්තේ? ඉසේ කෙස් ගානට! හැබැයි ගොඩක් වෙලාවට අපට දෙක තුනක් ඇනලා කූඩුවෙ තියන් ඉඳල පහුවෙනිදට එළියට දානව. බැරිම තැන තමයි රිමාන්ඩ් කරල උසාවි දාන්නෙ. ලොකු ලොකු වැඩ කරල මාට්ටු වුණොත් චාන්ස් එකක් නැහැ. හතර හන්දි කඩල තමයි පස්ස බලන්නෙ.

හැබැයි වැරැද්ද භාරඅරන් ගත්ත බඩු දුන්නොත් වැඩිය ගහන්නෙ නැහැ. සස්පිසන් (සැකපිට) (Suspicion) දාලා ඇතුළට යවනව. සුමාන දෙකකට එතනින් නිදහස් කරනව.”

සසා, දසා, චූලා, මලික් වැනි අය මෙසේ හොඳින් ගුටි කා පුරුදු අයයි.

වරක් කොල්ලුපිටියේ ඇන්ටික් සාප්පුවකින් පෞරාණික බුදුපිළිමයක් හා දඹ රන් කඩුවක් සාම්බු ගසා අසුවීම නිසා ලද සබ්බුවෙන් සසා සහ පබුළු ඇවිදගන්න බැරිව සති ගානක් හිරගෙදර පස්ස පැත්තෙන් ගිය අයුරු ඔහු කීවේ එදා ලද වේදනාව අදත් මුහුණේ මවා ගනිමිනි.

ගාල්ලේ පදිංචි ශාම් කියන චරිතය අනුගමනය කරන්නේ අමුතුම සාම්බු ක්‍රමවේදයකි. කඩවසම් පෙනුමක් ඇති ඔහු නිතරම ඉන්නේ ක්‍රීඩකයෙකු මෙන් උඩුකයට ටී ෂර්ටයක් දමා පහළට බොටම් Track bottom එකක් ඇඳගෙනය. සාප්පු සවාරියේ යන ඔහුගේ එම බොටම් කලිසමේ යට කොටස (bottom fold) කකුලේ බොටමට (ancle) තබා හිර කර තදින් බැඳ ඇත. එමෙන්ම ඔහුගේ බොටම් කලිසමේ සාක්කු වල අඩියක්ද නැත. සාප්පුවට යන ශාම් පොඩි පොඩි වටිනා දේ සාක්කුවට ඔබා ගනිද්දී ඒවා වැටෙන්නේ කලිසම් පතුලටය. ඉන් පසු වටයක් ගසා හීන් සීරුවේ ඔහු එළියට පැමිණ ආරක්‍ෂිත ස්ථානයකට ගොස් බඩු එළියට ගෙන අඩු මිලකට විකුණා දමයි.

ගම්පහ යාගොඩ සිට කෝච්චියේ සිට දිනපතා කොළඹ එන සරත් වඩා ජනප්‍රිය කැල්කි්‍යුලේටර් සාම්බුකරුවෙක් ලෙසයි. ඔහු කරන්නේ සාප්පුවකට ඇතුල් වූ විගස තමා අත රැඳි ලොකු දිනපොත හෝ ෆයිල් කවරය කැෂියර් මේසය මත ඇති කැල්කි්‍යුලේටරය වැසෙන ලෙස ඒ මත තැබීමයි. ඉන්පසු කුමක් හෝ මෙහි නැතැයි සිතිය හැකි දෙයක් අසා එය නැති බව කඩෙන් කී විට නැවත තම දිනපොත රැගෙන කඩෙන් පිටවී යයි. ඔහුගේ දිනපොත සමගම කඩේ කැෂියර් එක මත තිබූ කැල්කි්‍යුලේටරයද පිටව ගොස් ඇති බව කඩ හිමියා දැනගන්න විට සරත් බොහෝ දුර ගිහින්ය.

කඩවලට හොරකමේ එන පිරිස් විවිධ ක්‍රමවේද අනුගමනය කරති. ලිස්ට් ක්‍රමය ඉන් තව එකකි. මේ මගඩියට බොහෝ විට අසුවන්නේ ඉලෙක්ටි්‍රකල් බඩු සාප්පු, සිල්ලර කඩ වල හෝ ග්‍රොසරි වල අයයි.

විවිධ වර්ග වලට අයත් බඩු ලැයිස්තුවක් ඔවුන් අතේ අරගෙන එයි. සමහරවිට එය පැදුරු කඩමාල්ලක් තරම් දිග ලිස්ට් එකකි. “අද නම් හොඳ කන්දිරිය තමයි” සිතන කඩ හිමියාත් පිස්සු හැදුන ලෙස නැත්නම් ආච්චි වැහුන ලෙස කලබලයෙන් ලිස්ට් එකේ එල්ලා ඇති බඩු නිකුත් කරයි. කෙසේ හෝ සක්කරයාගේ පුතා වයිමාටවත් ලබාදිය නොහැකි අයිටමයක් දෙකක්ද මෙම ලිස්ට් එකේ අඩංගුව ඇත. ඒවා සොයා ගෙන ඒමට කඩ හිමියා අල්ලපු කඩේට ගියත් එහෙත් නැත. එනිසා “අපි ඒක හොයාගෙන එනකං ඔයා මේ ටික පැක්කරල බිල දාලා තියන්න” කියා පාරිභෝගිකයා ඉවත්ව යයි. ඒ යාමත් සමඟම ඌ කඩේ අයගේ ඇස් වසා වටිනා එක් භාණ්ඩයක් සාම්බුවේ ගසාගෙන හෝ තමන් රැගෙන ආ මල්ලක ඔබා ගෙන ගොස් ඇති බව තේරුම් යන්නේ සාම්බු කරු බොහෝදුරක් ගිය පසුයි.

නගරබද සැරිසරන තව පිරිසක් හුරුවී සිටින්නේ පොත් සාප්පු වලට ගොස් වටිනා පොත් පත් ඉණේ ගසා ගෙන ඒමටයි. විශේෂයෙන්ම විදේශිකයන්ට ලොකු මිලකට අලෙවි කළ හැකි සංචාරක මඟ පෙන්වන පොත් (Guide books) ලංකාවට ආවේනික කුරුල්ලන්ගේ පොත්, සමනළුන්ගේ හා සර්පයින්ගේ පොත් වැනි දේ මුන් උස්සති. කමිසය උඩින් දාගෙන පොත් සාප්පුවට ඇතුල්ව පොතක් දෙකක් ඉණේ ගසාගෙන එන විට අසුවන්නේ ඉතාම අඩුවෙනි.

සාමාන්‍යයෙන් මෙවැනි හොරුන් බඩුත් එක්ක අසුවුණ විට පොලිසි ගානේ ගොස් කරදර විඳීමට සාප්පු හිමිකරුවන් හෝ කළමනාකරුවන් මහන්සි වන්නේ නැත. හැඩිදැඩි ආරක්‍ෂක නිලධාරියෙක් ලවා පහර කීපයක් එල්ලකොට තවත් එවන් සුළු දඬුවමක් දී හොරාව පිටත් කර එවයි. එමෙන්ම ඔහුගේ අතේ මිටේ සාක්කුවේ ඇති සෑම සතයක්ම අසල ඇති පිං කැටේට හෝ ආධාර සඳහා එකතු කරන වීදුරු පෙට්ටියට ඔහු ලවාම දැමීමත් කරනු ලබයි.

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ඌ තමයි සාම්බුවා !

යම් දිනෙක ඔබ දිවයිනේ ප්‍රසිද්ධ පොත් හලකට ගොඩවී එහි ඉන්නා කළමනාකරුවෙක් ගෙන් මේ ගැන විමසුවහොත් ඔවුන් මොනවට සාක්‍ෂි දරනු ඇත.

පරිගණක තාක්‍ෂණය යොදා ඉලෙක්ට්‍රොණික රහස් කේත සහිත ප්ලාස්ටික් ටැග් කෑලි (Computerixed tags with secret codes) ඇමිණූ ඇඳුම් ඇති හතර වටේ වීඩියෝ කැමරා (CCTV-සීසීටීවී) සවිකර ඇති සුඛෝපභෝගී මහ පරිමාණ කඩ සාප්පු අද නගර වල ඔබ දකින සුලබ දසුනකි. බොහෝ අය සිතන්නේ සාම්බුකාරයන් මේවාට ඇතුළුවීමට බය බවයි.

නමුත් අපට විස්තර රැසක් ලබාදුන් පැපිලියානේ පබුළු කියන අන්දමට කලින් මෙවන් සාප්පුවක වැඩකර දැන් ඉවත්වී අති එක් තරුණියක් හා ඇගේ පෙම්වතත් එකී ටැග් අරින අන්දමත් කැෂියර් එක මත ඇති යන්ත්‍රයට හොරෙන් ඒවා පන්නන අන්දමත් දන්නා නිසා අධි වටිනාකමෙන් යුත් ඇඳුම් ඉතා සූක්‍ෂමව ටැග් ඉවත්කර කාටත් හොරෙන් පන්නා ගෙන යෑමට පුදුරු වී සිටී. ඇයත් ඇගේ පෙම්වතාත් තද බල ලෙස හෙරොයින් මත්කුඩට ඇබ්බැහිවී සිටී. මේ ක්‍රමයට සාම්බු ගහන අය තව කීපදෙනෙක්ම අද බිහිවී ඇත.

එසේ ටැග් ඉවත් කරන්නේ එකී සාප්පු වල ඇති ෆිටෝන් කාමර ඇතුලේදීය. (fiton rooms) හතර වටේ මනාව ආවරණය කරන ලද මෙම ‘හරිද බලන කාමර’ තුළ නොකර හැකි දෙයක් නැත. සදාචාරයට විරුද්ධ නිසා ඒවාට රූපවාහිනි කැමරා සවි නොකරයි.

කලකට ඉහතදී මේ උත්සව සමයේම මහරගම පමුණුව පාරේ සුපිරි තොග වෙළෙඳ සලකට පැමිණි රූමත් තරුණියක් කුඩා තුවායක් පමණක් මිලදී ගෙන පිටව යද්දී දොරටුව අසල සිටි ආරක්‍ෂක නිලධාරිනියකට සැක සිතී ඒ තරුණියව පරීක්‍ෂාවට ලක්කර ඇත. පුදුමයක මහත, ඇය සාමාන්‍ය තරුණියක් නොව බැගී තුන්කාලේ කාකි කලිසමට යටින් කාන්තා යට කලිසම් (ජංගි Panties) විස්සකට වඩා ඇඳ සිටින්නියක බව නිලධාරීන්ට පෙනී ඇත. ඒවා සියල්ල මෙම සාප්පුවෙන් සොරකම් කොට හරිද බලන කාමරේදී එක පිට එක ඇඳගත් ඒවා බව හෙළිවිය.

මෙම හරිද බලන කාමරම ඉලක්ක කොට ගෙන සාප්පු කරා ඇදෙන වෙනම හොරු පිරිසක්ද වෙති. ඔවුන් සාම්බු ගහන්නේ සාප්පුවේ විකිණීමට ඇති බඩු භාණ්ඩ නොවේ. සාමාන්‍ය කඩ වල ෆිටෝන් රූමය එතරම් පිළිවෙළකට නැත. එහි සේවකයන්ගේ පෞද්ගලික භාණ්ඩ, තේ හදන හීටර්, කිරි පිටි පැකට්, සේවිකාවන්ගේ අත් බෑග්, ජංගම දුරකතන ආදියත් තබනු ලබයි. ඇඳුම් අඳින මුවාවෙන් මේවාට වදින සාම්බුවෝ අසරණ දුප්පත් සේවක සේවිකාවන්ගේ මෙකී බඩු වලට විද පලායන්නට තරම් පහත් ජාතියකි. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන වික්‍රම නමැත්තා වරක් සුපිරි සලක පිහිටි සාප්පුවකදී එවන් ජඩ වැඩක් කර අසුවූ නීච සාම්බුවෙකි.

කොළේ ඩබල ලෙස බජාර් එකේ හා ලයිනප් එකේ හඳුන්වන (අපරාධ විමර්ශන මූලස්ථානය) එක සමාන රූ සපුවක් ඇති තරුණ ගැහැනුන් දෙදෙනෙක් (සහෝදරියන්) මෙම සාම්බු කෙළිය කාලයක් තිස්සේ කරගෙන යති. උන් දිනපතා උන්ගේ ඇඳුම පෙනුම ගමන බිමන මාරු කරති. මීට මද කලකට පෙර නම් සෑම පොලිසියකම වාගේ මේ දෙන්නාගේත්, නීතියේ රැහැනට වාර්තා වුණු වෙනත් සොරුන්ගේත් උඩුකය ඡායාරූප රැසක්ම එහි දැන්වීම් පුවරු වල එල්ලා තිබුණි. සමහර පොලිස් ස්ථානවල ඒවා තාම පවතී. නිකම් සිටින වෙලාවක තම ගමේ හෝ නගරයේ ඇති පොලිසිය පැත්තේ ගොස් එම රූප දෙස හොඳින් බලා හොරා කවුද, කළේ “කරා” කියා දැනගෙන හිටියා නම් ඔබට මොවුන්ගෙන් බේරී සිටීමට මඳක් හෝ උපකාරී වනු ඇත. කෙසේ වෙතත් මේ උත්සව සමයේ ඔබ සැම සාම්බු කාරයන්ගෙන් බේරී සිටීවා යයි පතමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationally Certified Addiction Professional
National Trainer in Addiction Science

advertistmentadvertistment
advertistmentadvertistment