නැවක් මුහුදුබත් වනවිට එහි සිටින මගීන් සිය ජීවිත රැකගැනීමට කළ යුත්තේ කුමක්ද? එකිනෙකා කුලල් කා ගැනීමද නැතිනම් සියලු දෙනා සමගිව ප්‍රායෝගික උපක්‍රම සොයා විපතින් මිදීමට කටයුතු කිරීමද.
අද අප හමුවේ ඇති මූලික ප්‍රශ්න ටික මොනවාද? ගෑස් හා ඉන්ධන ගැනීමට, බෙහෙත් ගැනීමට ඩොලර් නැතිවීම, කෘෂිකර්මාන්තය කඩාවැටීම, බඩු මිල දරාගත නොහැකි ලෙස අහස උසට නැගීම, කර්මාන්ත වැසී රැකියා වියුක්තියක් මතුවීම, සාමාන්‍ය ජනතාවට එදිනෙදා ආදායම් මාර්ග අහිමිවීම හා ජීවත්වීමේ අවිනිශ්චිතභාවය, විදුලි කප්පාදුව නිසා ජන ජීවිතය හා ව්‍යාපාර කුඩුපට්ටම්වී යෑම, පාසල් හා උසස් අධ්‍යාපන ආයතන වැසීයාම ආදී දස දහසක් ප්‍රශ්න ජංජාලයක් වී ඇති පසුබිමක පුරවැසියන් රට හැරයාම හෝ සියදිවි නසා ගන්නා තැනට පත්ව තිබේ.
මේවා සියල්ල විසඳිය හැක්කේ අප අතර ඇති පටු වාද භේද අතහැරීමෙනි.
කොරෝනා වසංගතයෙන් පටන් ගෙන පසුගිය රජයේ හා ජනාධිපතිගේ අකාර්යක්ෂමතාවය හා වැරදි කළමනාකරණය නිසා මේ රට බංකොලොත් වූ බව බොහෝ දෙනාගේ මතයයි. එනිසා අති ිවිශාල ජන විරෝධයක් හා අරගලයක් තුළින් ජනාධිපතිවරයා හා රජය පෙරළා දමා නව ජනාධිපතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්වීමට කරුණු සැලසුනි. එය යථාර්ථයකි. එම පාලන තන්ත්රයට ද නැවත විරෝධතා දක්වමින් එයද විනාශ කිරීමට කටයුතු කරන්නේ නම් කිසිදාක අපට මෙම විපතින් ගොඩඒමට නොහැකිවනු ඇත.
ප්රජාතන්ත්රවාදී රජයකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නට සිදු වේ. පාලනය හා පාලකයන් පත් කරගන්නේ මැතිවරණ ක්රමයෙකිනි. මිනිසුන්ට ආවේග ඇති වූවාට කැලෑ නීතිය ක්‍රියාත්මක වුණොත් එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇත. මිනිසුන් ඇන කොටා ගනිමින් සොරකම් කරමින් ජීවත්වන මිලේච්ඡ සමාජයක් බිහිවනු ඇත. වත්මන් තත්ත්වය තුළ මැතිවරණ පැවැත්වීමට බල කරන්නේ බලලෝභීන්ය. මැතිවරණ පවත්වන්නේද මහජන මුදලින්. එදා වේල සොයා ගැනීම ප්රශ්නයක්ව සිටින අප දැන් කළ යුතු වන්නේ සියලු වාදභේද පසෙකලා පත්වී ඇති නව රජයට මාස 6 ක් වැනි කාලයක් කටයුතු කිරීමට ඉඩ දීමයි. ජාත්‍යන්තර සංවිධාන අපට උදව් කරන්නේ රටේ නීතිය හා සමාය යථා තත්ත්වයට පත් වූ පසුවය. එසේ කිරීමට අපි පෙළපාලි යෑම නවතා, වැඩ වර්ජන හා උද්ඝෝෂණ යම් කාලයකට නවතා පක්ෂ සියල්ල හා සිවිල් සංවිධාන පවතින පාලන තන්ත්රයට ඉඩ සලසමු.
කුමන ආකාරයකින් හෝ ව්‍යවස්ථානුකූලව ජනාධිපති කෙනෙක් දැන් පත්කර ඇත. ඔහුගේ පරණ චරිත සහතික අවුස්සමින් ඔහු ද එළවා දැමුවොත් අර්බුදයේ අවසානයක් නැත. අරගලකාරයන් ලෙස හඳුන්වන කණ්ඩායම නැවතත් වත්මන් ජනාධිපති සහ මන්ත්‍රීවරු 225 ම ගෙදර යන්න කීවාට ඔව්හු බෝඩිංකාරයෝ නොවෙති. මැතිවරණයකින් පත්වූ පිරිසකි. ඔවුන්ගේ නීත්‍යානුකූල කාලය අවසන් වන තෙක් එම තනතුරුවල තවදුරටත් රැඳී සිට කටයුතු කිරීමට ඉඩදිය යුතුයි.
දැනට ගෑස් පෝලිම් අඩුවෙමින් පැවතීම සතුටට කරුණකි. ඒ වගේම තෙල් පෝලිම් ද අඩු කරගන්නට ආකල්ප වෙනසක් ඕනෑ. පළමුවම ටැක්සි රියදුරන් ඉන්ධන ගබඩා කිරීමේ පුරුද්ද නතර කළ යුතුයි. නොඑසේ නම් තෙල් නැව් නොවෙයි තෙල් ලිං පිටින් ගෙනාවත් තෙල් ගංගාවක් හැරවුවත් මේ පෝලිම් අවසන් කළ නෙහැකියි. තවද මා බලශක්ති ඇමැතිට කියන්නේ කිව් ආර් හා කෝටා ක්‍රමය ඉවත්කර හැම වාහන හිමියකුටම පුල් ටෑන්ක් නොව අවශ්‍ය පමණට පෙර පරිදි ලබාදීම කළ යුතුය. ටැක්සි රියදුරන්ට ද දැනට දෙන ඉන්ධන කෝටාව දිනකටවත් මදි. එය ප්‍රමාණවත් පරිදි ලබා දුන්නොත් පෝලිම් ඉබේම නවතිනු ඇත.
මෙහිලා නීතිඥ ප්‍රජාවට විශේෂ යුතුකමක් තිබේ. සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදීව තම නීති කෘත්‍ය කරගෙන යාමට. ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථානුකූල රජයක් පෙරළා දමන්නට ප්රචණ්ඩත්වය තුළින් ඉටුකරගන්නට නීතියේ පිහිට හා ආශිර්වාදය ලබා දීමට පසුගිය සිදුවීම්වදී මැදිහත්වීම වැරදි ආදර්ශයකි. ඔබතුමන්ලා වැරදිකරුවන් වෙනුවෙන් පෙනී සිට ඇප ලබාදීමට මැදිහත් වනවිට තව තවත් ත්රස්තවාදීන්, අපරාධකරුවන්, අවස්ථාවාදීන් කල දුටු කල වළ ඉහගනී. ද්‍රවිඩ පක්ෂ නායකයිනි, ජාතිවාදී අරමුණු පෙරදැරිකර ගෙන ඔබලා උතුරේ ඉඩකඩම් ප්‍රශ්න, මානවහිමිකම් ප්‍රශ්න කොන්දේසි වශයෙන් දමා මස් රාත්තලම මේ මොහොතේ ඉල්ලන්නේ නැතිව ජනතාවගේ දැවෙන ප්‍රශ්න හා පෝලිම් නැති කිරීමට කොන්දේසි විරහිතව සර්වපාක්ෂික රජයකට එක්විය යුතුය. දෙවනුව අර ප්‍රශ්නවලට අදාළ සාකච්ඡා පැවැත්විය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුනි, පෙරටුගාමි පක්ෂයේ සහෝදරවරුනි, වෙනත් පක්ෂ නායකයිනි, හොරුන් ගෙන් යුතු නීති විරෝධි ආණ්ඩුවකට අපේ සහයෝගය දෙන්නේ නැහැ කියන ස්ථාවරය වෙනස් කර එවැනි රාජ්‍යයක් නීත්‍යානුකූල කර ගැනීමට ඔබලාද ජාතියේ නාමයෙන් මෙම යෝජිත සර්වපාක්ෂික රජයකට සහයෝය දී බලන්න. මාස
6 ක් තුළ පොරොන්දු ඉටු නොවේ නම් නැවත පෙර පරිදි ක්‍රියා කළ හැකිය.