දැන් අපිට දානෙත් හිඟයි… පිට පළාත්වල පින්වතුන් එන්නෙත් නෑ

366

පූජා භූමිවල වගා කරන්න අවසර දෙන්න…

උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන අනාරක්‍ෂිතයි…

උතුර, නැඟෙනහිර රාජ්‍ය ආයතනයකින් ලේසියෙන් වැඩක් කරගන්න බෑ…

කවියක් කියමින් පැමිණි රළ පොකුරක් මගේ දෙපා සෝදා ආපසු මුහුදට දිව ගියේය. දීර්ඝ ගමනකින් පසු දැනෙමින් තිබුණු විඩාව ඒ සුළඟත්, රළ පහරත් විසින් මුහුදට ඇදගෙන ගියා සේ මට දැණිනි. සිනිඳු වැල්ලේ දෙපා රඳවා මම සිහිල් සුළං රැල්ලක් ආශ්වාස කරමින් ඉන් පෙනහලු පුරවා ගතිමි. ඉහළට ඇදගත් ඒ හුස්ම රැල්ල ආපසු හෙළමි. පෙනහලු කුඩා වී පුදුම සැහැල්ලුවකට මා පත්වන බව මට හැඟිණි. මේ හුදෙකලා ලොවේ මම දසත සැරිසරමි. සියලුම බරින් සිත දැන් නිදහස්ය. අරිසිමලේ සහල් වැල්ලත් ඒ මනස්කාන්ත පරිසරයත් සිත නිවන ආශ්චර්යයක් බව අතිශෝක්තියක් නොවේ.

දෙපා එරෙන සිනිඳු වැලිතලාව දිගේ මම සෙමෙන් ඇවිද ගියෙමි. වැලි කැට සහල් ඇට වැනිය. පෑගෙන විට සිත රිදෙන තරම්ය. මම කුඩා ගල් තලාවක් මතට නැඟ මහ සාගරය දෙසට දෑස් යොමු කළෙමි. ඇසිල්ලකින් සිත අතීතයට දිව ගියේය.

එදා ගෞතම බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ වඩම්මවාගෙන අරිසිමලේ වෙරළට ගොඩබට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට සම්බුද්ධ වන්දනාව පැවැත්වීමට සහල් නොතිබිණි. පසුව වෙළෙඳ දෙබෑයන් සම්බුද්ධ වන්දනාව පැවැත්වීමට සහල් ලැබේවා කියා ප්‍රාර්ථනාවක් කර තිබිණි. එසැණින් වෙරළේ වැලි කැට සහල් බවට පත් වී ඇති බව ජනප්‍රවාදයේ කියැවෙන කතාවකි. එවැනි ආශ්චර්යවත් වෙරළට මායිම්ව ඉහළ කඳු ගැටය මත පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනය නැඟෙනහිර පළාතටම පහන් ටැඹක් බව සැබෑය. එහෙත් දැන් එම පහන් සිල පවත්වාගෙන යෑමට තෙල් හිඟය. එමෙන්ම එම පහන් සිල නිවා දැමීමට කාලකණ්ණි අන්තවාදීන් දරන වෙර වීරිය අප්‍රමාණය. ඒ කතාවේ ඇතුළාන්තය ඔබට පැවසීමට අරිසිමලේ නායක හාමුදුරුවෝ ආරණ්‍ය සේනාසනයේ සිට පියගැටපෙළ බැස අප දෙසට වඩිති. උන්වහන්සේ වඩින පෙර මඟට ගිය මම දෙපා වැඳ එකත්පසව හිඳ ගත්තෙමි. ළෙන්ගතු කතාබහකින් අනතුරුව පවතින ආර්ථික අර්බුදය තුළ නැඟෙනහිර පළාතේ වැඩ වාසය කරන භික්‍ෂුන් වහන්සේට මුහුණදීමට සිදුව ඇති ගැටලු මෙන්ම නැවත හිස ඔසවන මුස්ලිම්, දෙමළ අන්තවාදය ගැන උන්වහන්සේ මෙසේ විස්තර කළහ.

“උතුර, නැඟෙනහිර ආරණ්‍ය, විහාරස්ථාන පමණක් නෙමෙයි මේ වෙනකොට පිරිවෙන් කිහිපයක්ම තියෙනවා. ඒ සිද්ධස්ථානවලට එදා වගේ දැන් දානය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඇතැම් ස්වාමීන්වහන්සේ විනය කර්ම තුළ හිඳගෙන, කැපකරු අය සමඟ එකතු වෙලා වගා කටයුතු කරගෙන යනවා. ඒත් පොහොර, බීජ නැතිකම නිසා නිසියාකාරව වගා කටයුතු කරගෙන යෑමට අපහසු වෙලා තියෙන බවක් පේනවා. ඒ වගේම උන්වහන්සේ වගා කරගෙන හෝ දානය පිළියෙළ කරගෙන වැඩ වාසය කරන්න උත්සාහ දරන්නේ එම ප්‍රදේශ තුළ බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගැනීමට. ඒ නිසා විහාර ඉඩම්වල වගා කටයුතු කිරීමට අවසර ලබාදී, ඒ කටයුතුවල සහායට සහ භික්‍ෂුන්වහන්සේගේ ආරක්‍ෂාවට එක් සිද්ධස්ථානයකට ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා බැගින් හරි ලබාදෙනවා නම් බොහොම වටිනවා. විනයානුකූලව වගා බිම් පවත්වාගෙන යෑමට ඒ දරුවන්ට, භික්‍ෂුන්වහන්සේ මාර්ගෝපදේශය ලබා දෙන බව මට විශ්වාසයි. උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගැනීමට ඒ හැර වෙනත් විකල්පයක් නෑ…”

මේ ප්‍රදේශවල සිංහල බෞද්ධයන් ජීවත් වෙන්නේ සුළු පිරිසක්. ඔවුන්වත් අපිට රැකබලා ගන්න වෙලා. ඒ මිනිසුන්ට වේලක් කෑමටවත් ආර්ථික ශක්තියක් නෑ. වගා කරන්න අවසර දෙනවා නම් ඔවුන්වත් සම්බන්ධ කරගෙන ඒ අසරණ ජීවිතවලටත් ශක්තියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සර දකුණේ බෞද්ධ ජනතාව කණ්ඩායම් පිටින් ඇවිත් මේ ප්‍රදේශවල ආරණ්‍ය, විහාරස්ථානවල දානමය පින්කම් කළා. පවතින අර්බුදය එක්ක දානය දෙන්න දකුණේ මිනිස්සු එන්නෙ නෑ. පවතින ඉන්ධන ගැටලුවත් එක්ක ඒ බැතිමතුන්ට දුර කතර ගෙවාගෙන එන්නත් බෑ. වෙනදා යම් හේතුවක් නිසා දානය ලබාදීමට නොහැකි වුණොත් ඊට සරිලන මුදලක් අපිට එවනවා. දැන් මුදල් පරිත්‍යාගත් ගොඩක්ම අඩු වෙලා. වෙනදා රුපියල් පන්දාහ පරිත්‍යාග කරන මිනිස්සු දැන් එවන්නේ රුපියල් පන්සීයයි. මේ හේතු නිසා විශාල වශයෙන් ස්වාමීන්වහන්සේ වැඩසිටින සිද්ධස්ථානවල දාන ප්‍රශ්නය හරිම උග්‍රයි…”

“අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයේ පමණක් ස්වාමීන්වහන්සේ හතළිස්නමක් වැඩ සිටිනවා. උන්වහන්සේට උදේ, දවල් දානය සූදානම් කරන්නේ අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසනයෙන්. මේ වෙනකොට ආරණ්‍ය සේනාසන දහඅටක පමණයි ස්වාමීන්වහන්සේ වැඩ සිටින්නේ. සේරම සේනාසන තිස්දෙකක් තියෙනවා. ආර්ථික දුෂ්කරතා උත්සන්න වීමත් එක්ක ඒ සේනාසනවල වැඩසිටි භික්‍ෂුන්වහන්සේලා දකුණේ ප්‍රදේශවලට වැඩම කරලා තියෙනවා. ඒ වගේම පවතින ආර්ථික දුෂ්කරතාවය මැද සේනාසනවල වැඩ සිටින ස්වාමීන්වහන්සේටත් විවිධ ගැටලුවලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා. විශේෂයන්ම අපේ ස්වාමීන්වහන්සේ එහාට, මෙහාට වෙනකම් ඉඳලා අන්‍ය ආගමික ඇතැම් පුද්ගලයන්, ආරණ්‍ය සේනාසනවලට හොරෙන් ඇතුළු වී සීනි, තේ කොළ, විදුලි පන්දම් අතට අහුවෙන සියලු දේ අරගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක අති භායනක තත්ත්වයක්. ස්වාමීන්වහන්සේගේ ජීවිතවලට පවා තර්ජනයක්…”

දැන් අපිට දානෙත් හිඟයි… පිට පළාත්වල පින්වතුන් එන්නෙත් නෑ

ඒ වගේම උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන සියල්ල අනාරක්‍ෂිතයි. ඉන්ධන, ආර්ථික අර්බුද මුල් කරගෙන පුරාවිද්‍යා නිලධාරීන් ඒ ස්ථාන ගැන සොයාබලන්න එන්නෙත් නෑ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මුස්ලිම්, දෙමළ අන්තවාදී කල්ලි, කණ්ඩායම් එම පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන බවක් පේනවා. ඒ වගේම අන්තවාදී පිරිස් විවිධ බෞද්ධ විරෝධී ක්‍රියාකාරම් සිදු කරමින් ජාත්‍යන්තර සංවිධානවලින් ඩොලර් ගරනවා. ඒක මේ දිනවල ජයටම කෙරෙනවා. ආසන්නතම සිද්ධිය මුලතිව් කුරුන්දි විහාරයේ ධාතූ නිධාන උත්සවය කඩාකප්පල් කිරීම. දෙමළ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් කිහිපදෙනෙක් උද්ඝෝෂණ කරලා ඒ මහා ජාතික උත්සවය කඩාකප්පල් කළා. අන්තවාදී හඬට බය වෙච්ච සිංහල නිලධාරීන් ඒ උත්සවය නතර කළා. ප්‍රධාන නිලධාරීන් ඒ වගේ බියගුලු තීන්දු, තීරණ ගන්නකොට උතුර, නැඟෙනහිර ප්‍රදේශවල අපිටත් කොන්ද කෙළින් තියාගෙන වැඩ වාසය කරන්න බැරිව යනවා…”

“දැනටත් උතුර, නැඟෙනහිර රාජ්‍ය ආයතනයකින් ලේසියෙන් වැඩක් කරගන්න බෑ. බෞද්ධ සිද්ධස්ථානවල ඉඩකඩම් නිරවුල් කරගන්න එක නම් හරිම අසීරුයි. අදටත් විහාරස්ථාන හතරකට පමණයි නිරවුල් ඔප්පු තියෙන්නේ. අනෙකුත් කිසිදු විහාරස්ථානයකට පූජා ඔප්පු ලබාදීලා නෑ. පූජා භූමි හැටියට ගැසට් කරලා තියෙන්නේ සිද්ධස්ථාන දෙකයි. පූජා භූමි හැටියට ගැසට් වෙන්න තව සිද්ධස්ථාන අටක් තියෙනවා. ඒක නතර කරගෙන ඉන්නේ දෙමළ දේශපාලනඥයො කිහිපදෙනෙක්. කොළඹ මවු ආයතනවලින්වත් මේ අකටයුතුකම් ගැන සොයා බලා බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගැනීමට උනන්දු වෙන්නේ නෑ. උතුර, නැඟෙනහිර භූමියේ මේ වෙනකොට හඳුනාගෙන තිබෙන බෞද්ධ සිද්ධස්ථාන කිහිපය හෝ ආරක්‍ෂා කරගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නෑ. උතුර, නැඟෙනහිර අන්තවාදය ඉදිරියේ බලධාරීන් සහ නිලධාරීන් අතිශය නිහඬයි. ඒ වගේම මේ වෙනකොට උතුර, නැඟෙනහිර දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට අමුතු ජීවයක් ලැබිලා තියෙනවා…”

‘සාදු ඔයාලගේ වාරය ඉවරයි… මේ අපේ වාරය…’ කියලා ඇතැම් දෙමළ, මුස්ලිම් මිනිස්සු අපේ මූණටම කියනවා. පැවති යහපාලන ආණ්ඩුව කාලයේදී ඔය වගේ ශබ්ද තිබුණා. මඟ තොටේ අමුතු සෙල්ලම් තිබුණා. අපිව අපවත් කරන්න සැලසුම් කරලා තිබුණා. අපවත් වෙන්න නම් බය නෑ. ගෙරවිලිවලට අපිව බය කරන්නත් බෑ. අපේ ගමන නතර කරන්නත් බෑ. මීට වඩා දරුණු කාලවල උතුර, නැඟෙනහිර මංමාවත්වල තනියෙන් වැඩම කරලා තියෙනවා. මහ කැලෑවේ ගල් කුටිවල වැඩ හිඳලා තියෙනවා. ඒ වගේම අතීතයේ ඉඳලම බෞද්ධයන්ට විවිධාකාර හිරිහැර කෙරුණා. ඒක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ලෝකයේ විසිරුණු සියලු බෞද්ධයන්ට මේ කෙණහිලිකම් උරුමයි. ඒ වගේම සෑම අවස්ථාවකම වැඩි බහුතරය ඉන්න පරිසරයක සුළුතරය යට කරගෙන ඉන්න ප්‍රවණතාව වැඩියි. ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැඟෙනහිර පළාත්වල සුළුතරය වෙලා ඉන්නේ සිංහල බෞද්ධ මිනිස්සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් මැද. ඉදිරියේදී එම කෙණහිලිකම් වැඩි වෙන්න පුළුවන්. ඒත් මේ බෞද්ධ රටේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීම උදෙසා වෙර වීර්ය දරන අපිට සෑම මොහොතකම තුනුරුවන්ගේ සරණ තියෙනවා. අපිට ඕන බුද්ධ ශාසනයේ නාමයෙන් අවිහිංසාවාදී ජාතියක් විදිහට බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගන්න විතරයි. බුද්ධ ශාසනය, ජාතිය ආරක්‍ෂා කරන්නේ යම් පාලකයෙක්ද ඒ පුද්ගලයාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු සංඝයා වහන්සේගේ ආශීර්වාදය ලැබෙනවා. ඒ ඇරෙන්න ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේ නමක් විදිහට අපි කිසිම නායකයෙක්, පක්‍ෂයක් පත් කරන්න ඡන්ද පාවිච්චි කරන්නේ නෑ. අර පුද්ගලයා, මේ පුද්ගලයා හොඳයි කියලා සම්මත කරන්නෙත් නෑ. ඒක අපේ ප්‍රතිපත්තියක්…”

“ඒ වගේම සර්ව ජාතික රාජ්‍යයක් විදිහට හුවා දක්වන්න හදන දේශපාලනඥයන්ට අපි කියන්නෙ මෙච්චරයි. මේ සිංහල බෞද්ධ රටක්. ඉතිහාසය පුරාවට අපි රැකගෙන පැමිණි සිංහල බෞද්ධ උරුමය විජාතික බලවේග ඉදිරියේ හෑල්ලුවට ලක් කරන්න ඉඩ තියන්න එපා. අපේ රට සිංහල බෞද්ධ රටක් කියන්න කොන්ද පණ තියෙන නායකයෙක් පත් කරගැනීමට සියලු බෞද්ධ ජනතාවත් එකා මෙන්ම පෙළගැසිය යුතුයි. එහෙම නැතිව විජාතික බලවේග ඉදිරියේ පමණක් නොව මේ රටේ අන්තවාදීන් ඉදිරියෙත් තුනට, හතරට නැමෙන නායකයෙක් පත් වුණොත් අපිට රටක් නැතිවීම නියතයි. දකුණේ ජනතාවට මේක දැනෙන්නේ නෑ. අන්තවාදී කොලනිවල සුළුතරය වූ අපිට ඒ දුක හොඳට දැනෙනවා. උතුර, නැඟෙනහිර ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචිකරන්න යන බව කියමින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පහුගිය කාලේ නටපු නාඩගම් අපිට හොඳට මතකයි. ඒත් උතුර, නැඟෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් පරිසරය විනාශ කරන්නේ දෙමළ, මුස්ලිම් අන්තවාදීන්. අන්තිමේ රටේ පරිසරය භාර දුන්නේ මුස්ලිම් දේශපාලනඥයකුට. වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව. හැමදේම වෙන්නේ රුයිතෙට. අවාසිය සිංහල බෞද්ධ ජනතාවට. ජාතියට සිදුවෙමින් තිබෙන විනාශය අපේ බහුතරයකට තේරෙන්නෙත් නෑ. නිදහසේ මැරෙන්න හරි සිංහල බෞද්ධ නාමයෙන් බිම් අඟලක් තියෙන්න ඕනෑ…” උතුර, නැඟෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක, කුච්චවේලී ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හාමුදුරුවෝ ලොව පුරා සිටින පින්සාර බෞද්ධ ජනතාවගේ හදවත්වලට කතා කළහ. සංවේදී හදවත්වල සියුම් ලේ නහරවලට පවා ඒ කතාව හොඳින් සන්නිවේදනය වන බව සැබෑය.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ ප්‍රාර්ථනාවට වෙරළේ වැලිකැට සහල් බවට පත් වූ පින්බිමක වැඩහිඳිමින් ගුණ පුරණ භික්‍ෂුන්වහන්සේට දානය හිඟ නොවන බව අපගේ ප්‍රාර්ථනාවය. අති දුෂ්කර කාලයක මහා සංඝරත්නයට දානය පූජා කිරීමේ ආනිශංස දැන සිටින ඔබ අප්‍රමාදීව උතුර, නැඟෙනහිර ස්වාමීන්වහන්සේට දානය පිළියෙළ කිරීමට සම්මාදම් වන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම බුද්ධ ශාසනයේ නාමයෙන් උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය සුරක්‍ෂිත කරගැනීමට කැපවීම ඔබ, අප සැමගේ ජාතික යුතුකමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment