දැන් අලුත්ම වංචාව ටෙන්ඩර් නැතිව බොරතෙල් ගෙන්වීම  – එස්. එම්. මරික්කාර් (සජබ)  

154

නිවැරදි තීන්දු සහ තීරණ හේතුවෙන් වියදමට ගැළපෙන ආදායමක් ඇති ආර්ථිකයක්
ගොඩ නැගීමට පුළුවන් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

නිවැරදි තීන්දු සහ තීරණ ගන්නා බැවින් වියදමට ගැලපෙන ආදායමක් ඇති ආර්ථිකයක් ගොඩ නැගීමට නුදුුරේදීම හැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව “ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතය.

ඊට අමතරව “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු‍ හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත් කිරීමේ යෝජනාවද ඉදිරිපත් කෙරිණ.

විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය –

අපනයනයෙන් පසුගිය මාසවලදී වර්ධනයක් පවතිනවා. ආනයනවල වියදම අඩු කර ගැනීමටත් හැකි වුණා. අපනයන වියදම ජුනි මාසය වනවිට සියයට 25 කින් අඩු වුණා. අපි දැන් ක්‍රමයෙන් ඉලක්කයට පැමිණෙමින් පවතිනවා.

රාජ්‍ය සේවකයාට වැටුපෙන් අඩක් ගෙවන බවට මතයක් යනවා. එය වැරදියි. වැටුප් හා විශ්‍රාම වැටුපට අපි වාර්ෂිකව බිලියන ගණනක් වෙන් කරනවා. එහෙත් කිසිම අවස්ථාවක අපි වැටුප් කපන්නේ නැහැ. එය අත්‍යවශ්‍ය වියදමක් බවට පත් කර තිබෙනවා. වැටුප් ගෙවීමට නොහැකි වෙනවා. ආර්ථිකය අයාලේ ගියා නම්. එහෙත් දැන් එහෙම නැහැ. රාජ්‍ය සේවකයා රැක ගැනීම අපේ ප්‍රමුඛ වගකීමක් කරගෙන තිබෙනවා.

කාගෙත් උදව් ඇතිව රටේ ආර්ථිකය නැංවිය යුතුයි. සාමාන්‍ය ජනතාවට බදු බර දැරීමට පෙර සමාගම්වලින් බදු අයකර ගන්නවා.

සියයට 8 ක බදු ප්‍රතිශතය සියයට 12 ට ගෙන යා යුතුයි. උපයන විට බදු ලිපි ගොනු ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරනවා.

බදු අයකිරීම ප්‍රශංසාවට කරුණක් නොවෙයි. එහෙත් ආදායම වැඩි කර ගත යුතුයි. වියදමට ගැලපෙන ආදායමක් ඇති කරගත හැකි රටක් බවට අපි ඔක්කොම එකතුව ගොඩනඟමු.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)

එදා 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගේන්න කටයුතු කරපු ජවිපෙ හා සන්ධාන ආණ්ඩුව ක්‍රමෝපාය සංවර්ධන බදු පනත් ගෙනාවේ. මේවා ගජ මිතුරන්ට බදු සහන දීමට ගෙනාපු ඒවා. රට මේ තරමට වැටුණෙ ඒකයි.

ඉන්දියාවේ ආයෝජනය කරන විදෙස් සමාගම් විසින් ආදායමින් සියයට 21 ක් ඒ රටට බදු ගෙවිය යුතුයි. ඉන්දියාවේ බදු ගෙවන සමාගමක් මේ රටේ ආයෝජනයක් කරන විට අපි ඔවුන්ට වසර 17 ක බදු සහන දෙන්න යනවා. ආයොජන අවශ්‍ය වුණත් මේ තරම් බදු සහන කාලයක් ලබාදිය යුතුයි. මේ ගැන තීරණයක් වහා ගන්න.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති කියලා සමාගම්වලට බදු සහන දීමක් නොදිය යුතුයි. ජනතාවට බදු ගහනවාට වඩා මෙවැනි සමාගම්වලින් බදු අය කළ යුතුයි. සමාගම් ආයෝජනය කරන්නේ හිතකර ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් තිබුණොත් පමණයි. ඊට කටයුතු නොකර බදු සහන දීලා ආයෝජන ගෙන්වන්න යනවා. මාලදිවයිනෙත් විදේශිකයන්ගෙන් බදු ගන්නවා. ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ) ලොව වැඩිම සෘජු විදේශ ආයෝජන තියෙන්නේ ව්‍යාපාර පහසුවෙන් කරන්න පුළුවන් රටවලට. එවැනි රටවල් 190 ක් තියෙනවා. අපි ඉන්නේ එහි 100 වන ස්ථානයේ. ඉන්දියාව එදා සිටියේ 106 අද තවත් ඉහළට ගිහින්. බංගලාදේශය 108 සිංගප්පූරුව 1. දිගු ගමනක් යන්න නම් අපි නිවැරදි වැඩපිළිවෙළකට යා යුතුයි. අපි පැටලිලි කාර ජාතියක්, ආගම, භාෂාව, දේශපාලනය, කුලය හැම එකක්ම පටලවාගෙන. ඒකයි 225 ටම ගෙදර යන්න කියන්නේ. දැඩි ආත්මාර්ථකාමී ජාතියක්. මේ ප්‍රශ්නය ඊළඟ පරම්පරාවට නොතැබිය යුතුයි. හොඳටම කරන්න පුළුවන් අපට කියන මානය නැති කර ගත යුතුයි. අද දක්ෂයාට කාර්යශූර මිනිසාට ඉඩ ලබා ගැනීමට බාධා පවතිනවා.

රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්- වැඩිහිටි පොලිය නැති කළ බව කියනවා. දැන් ඊට වැඩි ප්‍රතිලාභ ලැබෙන ක්‍රම තිබෙනවා. වැඩිහිටියන්ට විශේෂ සෞඛ්‍ය රක්ෂණයක් ආරම්භ කළා.

රෝහල්ගත වීම් හෝ පරීක්ෂණවලට ප්‍රතිලාභ ලැබෙනවා. සුළු වියදමක් පමණයි වැය වෙන්නේ. අවුරුදු 80 දක්වා රක්‍ෂණ ආවරණ ලැබෙනවා. 17 වැනිදා සිට ජපන් රැකියා සඳහා ජපන් පංති ආරම්භ කරනවා. රැකියා සඳහා සමෘද්ධිලාභීන් ඇතුළු හැකියා ඇති පිරිස් යොමු කරනවා. ජපන් භාෂා හුරුවද ඊට අවශ්‍යයි. වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා ආදිය ගැන ග්‍රාමසේවා වසමේ සමෘද්ධි නිලධාරි තොරතුරු ලබාදෙනවා. ළදරුවන්ගේ පෝෂණය වැඩි කිරීමට ඉලක්ක කරගත් පිරිසට අවශ්‍ය පෝෂණය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – පොලී අනුපාතිකය වැඩි කරපු නිසා ණය ලබාගත් රජයේ සේවකයා හා විශ්‍රාමිකයා අසරණ වෙලා. වැටුපත් මදි වාරිකය ගෙවන්න. නමුත් කොම්පැණිවලට බදු සහන ලබාදෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසරණයි.

ආයෝජන වැඩි කරන්න බදු සහන නොවෙයි අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයයි අවශ්‍ය. වංචාව දූෂණය නැතිවිය යුතුයි. ඇමැතිවරු පගාව ඉල්ලනවා එය නතර කරන්න. ආයෝජකයාට ලංකාවේ ආණ්ඩුව අදාළ නැහැ. වියට්නාමයේ රතු ආණ්ඩුවක් තියෙන්නේ. හොරකම වංචාව නැහැ. ආයෝජකයෝ එහි යන්න පොරකනවා.

අද ජනපතිවරයා සිංගප්පූරු ගිවිසුම ශක්තිමත් කරන්න එකඟවෙලා. එදා විපක්‍ෂයේ සිටියදී මේ ආණ්ඩු පක්‍ෂය විරුද්ධ වුණා. ව්‍යාපාරිකයා නිෂ්පාදකයා අසරණයි. චීනය සමග අත්සන් කරන වෙළෙඳ ගිවිසුම වහා හෙළි කරන්න. රටට වන බලපෑම දැනගන්න අවශ්‍යයි.

රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර – ජනතාව පෝලිමේ සිටියදී අපට ඒවා දෙස බලා සතුටුවීමට හැකියාවක් තිබුණේ නෑ. එදා අපි බැණුම් අහගෙන ආණ්ඩු පක්‍ෂයේ වාඩි වුණත් අද වනවිට ඒ තිබුණු පෝලිම් අද දකින්න ලැබෙන්නේ නෑ. අප ඒ ගැන සතුටු වෙනවා. ඇතැම් අය මැතිවරණයක් ඉල්ලද්දී අපි බැලුවේ ජනතාව දෙසයි. අද ඉන්ධන පෝලිම් නෑ. අද ගෑස් හිඟයක් නෑ. ඒ සභාපතිතුමා සාර්ථකව ඒ ආයතනය මෙහෙයවනවා. ඒ ගැන අපට සතුටුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ – වසර ගණනාවකින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිවීමක් නැහැ. සුරාබදු නිෂ්පාදනය කරන සමාගම් මිලියන ගණන් ලාභ උපයනවා. ඒවා බලන්න කවුරුත් නැහැ. අරක්කු මිල 9 වතාවක් වැඩි වුණත් බදු ආදායම වැඩිවී නැහැ. ඊට හේතුව සමාගම් බදු ගෙවා නැහැ.

බදු පැහැරහැර ඇති සමාගම්වල ලේඛන මා සතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල බදු නොගෙවන අයට අපරාධ නීතියයි ක්‍රියාත්මක වන්නේ. අපේ රටේ නීතිය හොරුන්ට රිංගා යෑමට හැකි විදිහටයි තියෙන්නේ.

ලක්‍ෂ 50 ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ 150 යි. සමාගම් එක්ලක්‍ෂ පන්දහක් තියෙනවා. ඉන් බදු ගෙවන්නේ සුළු ප්‍රමාණයයි. නිලධාරීන් දෙන ලනු කන්න එපා. ඇමැතිවරු අමාරුවේ වැටෙනවා.

සීනි බදු වංචාව ගැන කතා කළා ලාබ ලබපු අය බදු ගෙවලා ද බලන්න. එහෙම ගෙවා නෑ. ඒවා හොයන්න නිලධාරීන් නැහැ. ආදායම් නියාමනයට කණ්ඩායමක් දානවාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විරුද්ධයි. එහෙම නම් කොහොමද බදු අයකර ගන්නේ. මිලියන 782ක් බදු නොගෙ වූ ඇලෝසියස්ව ඇප දීලා එළියට දැම්මා.

රේගුව, සුරාබදු, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිසිලෙස කළමනාකරණය විය යුතුයි. එසේ වුවහොත් රුපියල් බිලියන 4000ක් අයකර ගත හැකියි. පොඩි මිනිහාට නොවෙයි සමාගම්වලින් බදු අයකරගත හැකියි. කෝටි ගණන් හම්බ කරගෙන අධි සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. තිබෙන මිනිස්සුන්ගෙන් අරගෙන නැති මිනිස්සුන්ට ලබාදීමට වහාම බදු අයකිරීම් නිවැරදි කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න – (සජබ) – දැන් අපේ රටේ බදු ආදායම නැතිවෙලා. බදු ලැබීමෙන් තමයි ආහාර සුරක්‍ෂිතතාවය, අධ්‍යාපනය, සෞඛ්‍ය ලබන්න පුළුවන් වෙන්නේ. අද බලන්න පාසල්වල තත්ත්වය. ගුණාත්මක භාවයක් තිබිය යුතුයි. බදු නිදහස දෙද්දී ඇති නැති පරතරය වැඩිවෙලා රැකියාවල් නැතිවෙලා. ලක්‍ෂ ගණන් රැකියා තිබෙන අයටත් උද්ධමනය බලපාලා. ඒ අයගෙත් පිඟන්වල බත් ටික විතරයි, බිත්තර, මස්, මාළු නෑ. අපි දැකලා තිබෙනවා මධ්‍යම පාන්තිකයාගේ බත් පිඟානේ අඩුපාඩු තිබෙනවා. දුප්පතාගෙ පිඟානේ පමණක් නොවෙයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ (ශ්‍රී.ල.පො.පෙ.)

ආනයන සීමා පැනවීම සහ ඒවා විටින් විට ඉවත් කරනවා අපි දකිනවා. එහිදී ඒ අංශ සමඟ සාකච්ඡා කිරීම වැදගත්. අපට මේ වන විට ආනයනයන් ඒ ආකාරයෙන් ම කරන්න බැහැ. අපි ආනයනයන් අවම කරලා දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරලා අපනයනයන් ශක්තිමත් කළ යුතුයි. අපි ක්‍රම ක්‍රමයෙන් මේ රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඒක ඉතා වැදගත් තත්ත්වයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (ස.ජ.බ.) –

අපි දැක්කා ඉන්ධන පෝලිම් තිබුණා. අලුත් ඇමැති කෙනෙක් ඇවිත් කිව්. ආර්. කෝඩ්එක හඳුන්වා දුන්නා. ඒකෙන් ත්‍රීවීල්වලට, මෝටර් සයිකල්වලට අඩුවෙන් තෙල් ලබා දුන්නේ. නමුත් මේකෙදි අපි දකිනවා නිලධාරීන්, දේශපාලනඥයන් හොඳට හොරා කනවා. ලංකා ඛනිජ තෙල් සමාගම බ්‍රෙන්ට් ඔයිල් ගෙන්වීමේදී ජනතා මුදල් මංකොල්ල කාලා තිබෙනවා. ඒවායේ කුට්ටි එක් එක් කෙනාට ගිහින් තිබෙනවා. කවුරුහරි නෑ කියනවද? දැන් අලුත්ම වංචාව තමයි ඩොලර් නැති නිසා ටෙන්ඩර් නොකැඳවාම පිරිපහදු නොකළ තෙල් ගෙන්වා ඒවායෙන් කොමිස් ගසා කනවා. කොලර් කියන සමාගමක් තිබෙනවා. ඒ සමාගම තමයි ඉන්ධන ගෙන්වන්නේ. ටෙන්ඩර් නැතුවයි ගෙන්වන්නේ. අර්බුදය කළමනාකරණය කරනවා ඇරෙන්න හොරකම් කරලා මේ ආර්ථිකය හදන්න බෑ.

රාජ්‍ය ඇමැති සුරේන් රාගවන්

ශක්තිමත් ආර්ථිකයක් හා ස්ථාවර ආණ්ඩුවක් නැත්නම් මොන බදු සහන දුන්නත් ආයෝජන ලැබෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ මෙන් එකොළොස් ගුණයක් ලොකු, මුහුදු සීමාවක් අපට හිමියි. අපේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අහිංසක කාන්තාවන් පිටරට යවා නොවෙයි. මැදපෙරදිග ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට අපි සභාවක් ලෙස තීරණයක් ගනිමු.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ (ශ්‍රීලපොපෙ)

මේ බදු පැනවීම මැද කර්මාන්ත මේ රටින් පිටවී නොගියහොත් පුදුමයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකෙන ලෙස බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අපි 225 නොදන්න 05 දෙනෙක් දන්න ආර්ථික ප්‍රතිපත්තිය නිසයි ආර්ථිකය හැකිලුනේ.

ආර්ථිකය ශක්තිමත් කරන අයට බදු සහන නොදුන්නොත් රට ගොඩනඟන්න බැරි වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) – අපනයනකරුවන්ගෙන් සියයට 36 කගෙන් බදු අයකරන්න යනවා. මෙය දරන්න වෙන්නේ ජනතාවටයි. ආදායමක් නැතිව ජනතාවට වියදම වැඩි වී ජනතාවට දරන්න බැරි වෙනවා. දුගීභාවය, මන්දපෝෂණය තවත් වැඩිවේවි.

ඉතිහාසයේ වැඩිම ණය ගත්ත වර්ෂය 2020 බවට පත්වෙලා. ණය අරගෙන රාජ්‍ය ණය ටි්‍රලියන 23 යි. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. එහි ලාභ ලබන ආයතනත් තියෙනවා. ගුවන්තොටුපළ, කේටරිං සේවය ලාබ ලබනවා. ඒවාත් පුද්ගලීකරණය කරන්න යනවා. මේ යටතේ ආයෝජකයන්ගේ පැමිණීමත් ප්‍රශ්න සහගත වෙනවා.

අද රටේ පවුල් 60 ලක්‍ෂයක් හෝ පනස්නව ලක්‍ෂයකටම ජීවත් වීමේ ප්‍රශ්න. සමෘද්ධිය අනවශ්‍ය පවුල්වලටත් ලැබෙනවා. ඒ තත්ත්වය නිවැරදි විය යුතුයි. ආර්ථිකය මේ විදිහට ගියොත් දෙසැම්බර් වන විට ජනතාවට ඉතා අසීරු තත්ත්වයක් ලැබෙයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ- අපේ රට ආයෝජනවලට හිතකර රටක් කළ යුතුයි. ශ්‍රී ලංකාව නොවෙයි ආයෝජනය කළ හැකි එකම රට. අපේ රටට ගැලපෙන ආයෝජන තෝරා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කළ යුතුයි. සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 84 යි. ඉන්දියාව බිලියන දහසකට වැඩියි. පකිස්තානය, බංගලාදේශය අඩුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ප්‍රතිසංස්කරණ කරනවා කියලා චෝදනා කළා. අපි රට ගොඩනැගිය හැකි නිවැරදි පියවරයන් විතරයි ක්‍රියාත්මක කරන්නේ. අපි ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.

වැරදි මත පැතිරවීම සුදුසු නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය ඉවත් කරන්න පියවර අරන් කියලා චෝදනා වුණා. කෙටිකාලීන විසඳුමක් ලෙස මහ බැංකුව පියවර ගත්තා. සියයට 15 තිබීමෙන් වැඩි පොලියක් ගැනීමේ හැකියාව නැති වෙනවා.

පනත් සංශෝධන සම්මත විය.

පාර්ලිමේන්තුව අද (05 දා) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment