දැන් එලවළු විකුනන්නේත් ඩොලර්වලට

326

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම එළවළු පලතුරුවල මිල පවා සියයට සියයකින් ඉහළ ගොස් ඇති වටපිටාවක තුන්වේල තියා එක වේලක්වත් සරි කරගන්නට මිනිසුන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබේ. හාල්, පොල් පරිප්පු සීනි පමණක් නොව මේ වන විට විකිණීමට තබා ඇති ප්ලාස්ටික් කොස්සේ, පොල්කටු හැන්දේ මිල පවා එකට එකක් වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත.,රුපියල් පන්දහසක් අරගෙන පාරට බැස්සත් නිවසට අවශ්‍ය කළමනා සියල්ල මිලදී ගන්නට නොහැකි වන තරමටම රුපියල බාල්දු වී හමාරය. සතියකට දෙකකට පිරිමැසෙන්නට නිවසට අත්‍යවශ්‍ය දෑ මිලදී ගන්නට හුරු පුරුදු වූ මිනිසුන් පවා දැන් එදාවේල සරිකර ගන්නට විකල්ප සොයමින් සිටියි.පසුගිය සිකුරාදා මැනිං වෙළෙඳපොලේ වෙළෙන්දෙක් එළවළු අලෙවි කළේ “තක්කාලි කිලෝ එකක් ඩොලර් දෙකයි” ලෙස කෑගසමිනි. “කිලෝ එකක් ඩොලර් දෙකයි” කතාවත් සමග පාරිභෝගිකයන්ගේ අවධානයද මේ වෙළෙන්දා දෙසට යොමු විය. එළවළුවල මිල ගණන් රුපියල් වලින් හඬගා කියන බොහෝ වෙළෙඳුන් මැද තක්කාලි කිලෝවක් ඩොලර් දෙකක් යැයි කෑ ගසන වෙළෙන්දා සුවිශේෂී යැයි මටද සිතුණි.වෙනදාට අතුරු සිදුරු නැතිව පාරිභෝගිකයන්ගෙන් පිරීයන මැනිං වෙළෙඳ පරිශ්‍රය තුළ ඒ වන විටත් එතරම් ජනාකීර්ණ බවක් දකින්නට තිබුණේ නැත. එළවළු තෝරමින්, කේවල් කරමින් මිල ගණන් විමසමින් ඉදිරියට ඇදෙන කිහිප දෙනෙක් පසු කරගෙන මමද තක්කාලි කිලෝවක් ඩොලර් දෙකට විකුණන වෙළෙන්දා සමීපයට වුණෙමි.

“එළවළු විකුණන්න අලුත් කලාවක් හොයාගත්තද?” මට අවැසි වූයේ මේ අපූරු විකුණුම් ක්‍රමය පිළිබඳව ඔහුගෙන් දැනගන්නටය.

“තියෙන එළවළු ටික විකුණන්න මොන කලාවක්ද නෝනේ. දැන් තියෙන එළවළුවල මිල රුපියල්වලින් කිවුවාම කියන අපිටත් අමාරුයි. අහන මිනිස්සුන්ටත් අමාරුයි. අහලා සතුටු හිතෙන තරම් මිලකට දැන් එළවළු විකුණන්න බෑ. හැම එළවළුවක්ම ගිනි ගණන්. ඒ මදිවට දැන් එළවළු හිඟයි. මිනිස්සු එළවළු ටිකක් ගන්නත් දහ දොළොස් පාරක් කල්පනා කරනවා. සමහර මිනිස්සු එළවළුවක් දෙකක් අරන් යනවා. ඔය අතර මොනවත්ම නොගෙන ආපහු යන කොටසකුත් ඉන්නවා”

නමින් බණ්ඩාර වන ඔහු පැවසුවේ එවැනි කතාවකි. සැබෑවටම එළවළු කිලෝවක මිල රුපියල් වලින් කියන්නට බැරි තරමටම බර බව බණ්ඩාරගේ “කිලෝ එකක් ඩොලර් දෙකයි” කතාවේ ගැබ්ව ඇතැයි මට සිතුණි.මේ වන විට රට තුළ උද්ගතව ඇති අර්බුදත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍යවල මෙන්ම එළවළු පලතුරුවල මිල ගණන්ද ඉහළ ගොසිනි. දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිලත් සමඟ මෙරට ගමනාගමන සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට සෘජුවම බාධා එල්ල වී තිබේ. ඒත් සමඟම දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු පලතුරු තොග ලැබීමද ප්‍රතිශතයක් ලෙස පහත වැටී ඇති බව එක් එක් ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම්හි නිලධාරීහු පවසති.වෙනදාට දිනකට කිලෝ ලක්ෂ පහළොවකට ආසන්න එළවළු ප්‍රමාණයක් ලැබෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය සතියේ මැද වන විට දිනකට ලැබෙන එළවළු තොග ප්‍රමාණය කිලෝ ලක්ෂ දෙක හමාරක්, තුනක් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී තිබුණි. අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන සඳහා ද දෛනිකව ලැබෙන එළවළු තොග ප්‍රමාණයන් සියයට විස්ස විසි පහ දක්වා අඩුවී ඇති බවට තොරතුරු වාර්තා විය.ශීඝ්‍රයෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිඟය මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන සඳහා ලැබෙන එළවළු පලතුරු තොග ප්‍රමාණයන් අඩු වීමට ප්‍රධානතම හේතුව ලෙස වෙළෙන්දන් පෙන්වා දෙයි.ඉන්ධන ගැටලුවත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු පලතුරු සැපයීම අඩු වන බවට වෙළෙඳුන් පවසද්දී, තෙල් පොහොර, කෘමිනාශක හිඟ වීමත් ඒවාගේ මිල ගණන් ඉහළ යෑමත් සමඟ බලාපොරොත්තුවන අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිව වගාවන් පාඩු ලබන බවට ගොවියෝ පෙන්වා දෙති.

වෙනදාට නිසි ලෙස තෙල් පොහොර යෙදීමෙන් පසුව ලබන අස්වැන්නෙන් කොටසක්වත් පසුගිය දිනවල ලබා ගන්නට නොහැකි වූ නිසා ඇතැම් ගොවියන් එළවළු නිෂ්පාදනයෙන් ඉවත් වීමටද කටයුතු කර ඇත. මෙලෙස තෙල් පොහොර සහ ඉන්ධන ගැටලුව නිසා ගොවියන්, සැපයුම්කරුවන්, ව්‍යාපාරිකයන් තොග වෙළෙඳුන් මෙන්ම අතරමැදි වෙළඳුන් ද පත්ව ඇත්තේ මහත් දුෂ්කරතාවකටය.ඉහත සඳහන් කළ කාරණා නිසාම වෙළෙඳපොළේ පවතින එළවළු, පලතුරු වල මිල ගණන් වුවද වෙනදාට වඩා ඉහළ ගොස් තිබේ. එළවළු පලතුරු හිඟවීමත් සමඟ ඒවායේ මිල ගණන් ඉහළ යෑම සාමාන්‍ය වෙළෙඳපළ සිදුවීමකි. එළවළු වල මිල ගණන් ඉහළ යෑම නිසා තොග හෝ සිල්ලර වශයෙන් එළවළු ලබා ගැනීමට පැමිණෙන පිරිසේද අඩුවක් පසුගිය සතිය පුරාවටම පැවති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති හේවාවිතාරණ මහතා පවසයි.

“මිනිස්සුන්ට එළවළු ගන්න එන්න වාහනවලට තෙල් ගහන්න තෙල් නෑ. මීටර් ටැක්සියක ආවත් ගිනි ගණන්. අද වැඩි ගාණටවත් ටැක්සි එකක් හොයාගන්න නැති තත්ත්වයක් උදාවෙලා. වැඩි මුදලක් වියදම් කරගෙන මාර්කට් එකට ඇවිල්ලා එළවළුවල ගණන් ඇහුවාම මිනිස්සු අසරණ වෙනවා. එළවළු විකුණගන්න බැරුව වෙළෙන්දොත් අසරණ වෙනවා. දැන් වැස්ස ඇවිත් නිසා කරල තියෙන වගා ටිකත් හානි වෙන්න පටන් අරන්. සොබාදහම පවා නරක පැත්තට තමයි අපිට සලකන්නේ” ඉතිහාසයේ කවරදාවත් නොවූ තරමටම පාරිභෝගිකයන්, වෙළෙන්දන් මෙන්ම සැපයුම්කරුවන් හා ගොවියන් ද අසරණව ඇති බව වෙළෙන්දන්ගේ අදහසයි. මේ සියලු අර්බුදයන් මැද කළු කඩ මාෆියාව ද යළිත් හිස ඔසවමින් සිටියි.දිනෙන් දින ඉහළ යන බඩුමිල සහ රට තුළ උද්ගතව ඇති අර්බුදයන් සම්බන්ධයෙන් දැන් ජනතාව අදහස් දක්වන්නේද එතරම් කැමැත්තකින් නොවේ. දිනෙන් දින උද්ගත වන ගැටලුත් සමඟ හෙට දවස ගෙවා ගන්නේ කොහොමදැයි හිතනවා හැර වෙනත් සැලසුමක් නැති බව බොහෝ දෙනෙක්ගේ අදහසයි.

“එළවළු පලතුරු තියා අත්‍යවශ්‍ය දේවල් ටිකවත් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. හැමදේම ගිනි ගණන්. වැඩි ගාණට හරි ගන්න සමහර තැන්වල බඩුත් නෑ. අපේ අතේ සල්ලිත් නෑ. තව ටික දවසකින් කන්න බොන්න නැතිව මැරිලා යන්න වෙයි කියලා බයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට නැතත් පොඩි එවුන්ට වේලක් ඇර වේලක් හරි කන්න දෙන්න ඕන. ඉස්සරහට මේ රටට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ.”ජනතාව පවසන්නේ තමන්ගේ මෙන්ම රටේ අනාගතය සම්බන්ධයෙන්ද ඇත්තේ ප්‍රශ්නාර්ථයක් බවයි. මැනිං වෙළෙඳ පරිශ්‍රයට පැමිණි කිහිප දෙනෙක්ම එළවළු සහ පලතුරු මිල ගණන් සම්බන්ධයෙන් මෙන්ම රටේ උද්ගතව ඇති වාතාවරණය සම්බන්ධයෙන් දැක්වූයේ සුබවාදී අදහස් නොවේ.

“එළවළු කිලෝ එකක මිල ඩොලර් වලින් කියනවා අහන් ඉන්න තරමටම අපි අසරණ වෙලා කියලා හිතෙනවා. තව ටික දවසකින් බඩු වල ගණන් ඇහුණාම හාර්ට් ඇටෑක් හැදෙනවා. ලෙඩ වුණත් දැන් ඉස්පිරිතාලවලට ගිහින් ගන්න බෙහෙත් නෑ.මිනිස්සුන්ට කන්න බොන්න නෑ. ජීවත්වෙන්න රටත් තිබ්බට වැඩක් නැහැ. මිනිස්සුන්ට ඒ රටේ ජීවත් වෙන්න පුළුවන්කමක් නැත්නම්. කවදා ද අපේ රටේ මිනිස්සුන්ට හූල්ලන්නේ නැතුව හිනා වෙලා ජීවත් වෙන්න පුළුවන් දවසක් උදා වෙන්නේ.?” සැබෑවටම එවැනි දවසක් උදා වෙන්නේ කවදාදැයි සමස්ත රට වැසියාම බලාපොරොත්තු දල්වාගත් දෑසින් බලා සිටියි.

කුමාරි ඉරුගල්බංඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment