දැන් වැඩිහරියක් බිහිවෙන්නේ ඒකාකාරී සින්දු – දර්ශ කපුගේ

359

‘බඹර කුලේ’

ඔහු නමින් දර්ශ කපුගේ. පුවත්පත් කලාවේදියෙක්, චිත්‍ර හා කාටුන් ශිල්පියකු ලෙස ප්‍රකට දර්ශ කලාවේ විවිධ ඉසව් තුළ නියැළෙන්නෙක්. දර්ශ ගීත රචනයටත් දක්ෂයෙක්. නවක, ප්‍රවීණ කිහිප දෙනකුටම ගීත රචනා කොට ඇති ඔහු චිත්‍රපට ගීත රචකයකු ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහු විසින් රචනා කරන ලද නවතම ගීයක් ‘බඹර කුලේ’ නමින් පසුගියදා නිකුත් වුණා.

මේ ගීතය විරහ ගීයක්. ගමක බොහොමත්ම අහිංසක, අවංක, සුකුමාල යුවතියකට පෙම් බැන්ද ඒ ගමේම සල්ලාල තරුණයෙක් වටා මේ ගීතය පාදක වෙලා තිබෙනවා. මේ ගීතය ගායනා කරන රෙෂ්මා පෙරේරා මගේ පැරණි මිතුරියක්. ඇය නැසීගිය ප්‍රවීණ ගායක ෂෙල්ටන් පෙරේරාගේ දියණියයි. ඇයගේ ආරාධනාවක් මත තමයි මා මේ ගීතය රචනා කරන්නේ. මෙහි සංගීතය නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය ගයාත්‍රී කේමදාස විසින් ඇය බොහොම වෙනස් අපූරු රසයකින් මෙයට සංගීතය එක්කළා. ඒ අපූර්වත්වය නිසාම පසුව බඹර කුලේ ගීතය රූප රචනාවක් බවට පත් වුණා. දැන් එය “යූ ටියුබ්” හි සහ විවිධ නාළිකා තුළින් හොඳ ප්‍රතිචාර ලබමින් රසිකයා අතරට ගමන් කරමින් තිබෙනවා.

බඹර කුලේ ගීතයෙහි රූප රචනාවද වෙනස් අයුරකින් නිර්මාණය වී තිබෙනවා. අපූරු දර්ශන තළ සමග සිනමාත්මක රූප රාමු මගින් ගීතයෙහි ගැඹුරක් දනවනවා. මෙහි ගීත රචනය මෙන්ම රූප රචනය ද දර්ශ විසිනි. ඔහු මින් පෙර චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කර ඇති අතර ගීත කිහිපයකම රූප රචනා සිදුකර ඇත.

ඇත්තටම මට ඕන වුණා ගීතයට යම් නිර්මාණාත්මක වෙනසක් එක්කරන්න. මොකද දැන් වැඩිහරියක්ම බිහිවන ගීත රචනා මෙන්ම රූප රචනාද හරිම ඒකාකාරියි. එයින් මිදෙන්න මම ගත්තු උත්සාහයක් තමයි බඹර කුලේ ගීතය. මෙහි ගැමි තරුණිය අන්ධ ලෙසින් නිරූපණය කරන්න හිතුවෙත් මේ නිසයි. වෙනස් රසයක් වගේම වෙනස්ම නිර්මාණයක් හොයන අයට බඹර කුලේ ගීතය හොඳ පිළිතුරක්.” දර්ශ පැවසීය. මෙය යූ ටියුබ් හි ‘බඹර කුලේ’ නමින් රසවිඳිය හැකියි. කැමරාකරණයෙන් ජනිත් සුසෙව්හේවාද, සංස්කරණයෙන් භවන්ත ගමගේ ද දායක වී ඇති ‘බඹර කුලේ’ ගීත රූප රචනාවට සවිනි යකුපිටිය සහ විශ්මිත ප්‍රභාත් යන නැඟී එන නළු නිළි දෙපළ මෙන්ම ළමා නිළි සයුනී විහන්සාද රංගනයෙන් දායක වෙනවා.

සිනමා කලා අතිරේකය සංස්කරණය – දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment