දැන් වෙලා තියෙන්නේ කැසිකිළිය හා වැසිකිළිය එකතුවීමයි – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

200

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ සමගි ජන බලවේගයට එල්ලවී ඇති අභියෝග ඇතුළු තවත් කරුණු කාරණා කීපයක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ එම පක්ෂයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මුණ ගැසුණෙමු. පහතින් පෙළ ගැසෙන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සමගි ජන බලවේගය තුළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි ඇතැමුන් සඳහන් කරනවා. එහි සත්‍ය අසත්‍යතාව කෙසේද?

පිළිතුර:- සමගි ජන බලවේගය තුළ අර්බුද, ඒකෙ කට්ටිය ආණ්ඩුවට යනවා වගේ අදහස් පළ වන්නේ ජාතික ආණ්ඩු, සර්ව පාක්ෂික ආණ්ඩු ඉන්පසු සර්ව පාක්ෂික පාලනයක් වගේ ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටයි.

එය මුළුමනින්ම මාධ්‍ය මෙහෙයුමක් පමණයි. එසේ නොමැතිව සමගි ජන බලවේගය තුළ කිසිදු අර්බුදයක් නිර්මාණය වී නැහැ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියලු පක්ෂයන්ට විවෘත ආරාධනයක් කළා. සමගි ජන බලවේගය එවැනි ආණ්ඩුවකට එක්වෙනවාද?

පිළිතුර:- සර්ව පාක්ෂික ආණ්ඩුවකට යෑමට හෝ එහි ඇමැතිකම් දැරීමට තරම් රජය තුළ පාරිශුද්ධත්වය අපට පෙනෙන්නේ නැහැ. වත්මන් රජය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමින් පෙනෙන්න ඇතත් එය රාජපක්ෂ පාලනයේ දිගුවක්. එය ඉතා පැහැදිලියි. රාජපක්ෂලා ආරක්ෂා කරන සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා. එවැනි තත්ත්වයක් තුළ අපගේ අදහස පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රාජ්‍ය පාලනයට අදාළ අපේ දායකත්වය ලබාදීමයි.

ප්‍රශ්නය:- එජාපයට බලය හිමිවීමත් සමග සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් පක්ෂය තුළ රැකගැනීම අභියෝගයට ලක්වෙලා නේද?

පිළිතුර:- එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර වැනි ප්‍රබල චරිත පක්ෂයට රැකගන්න නොහැකිව පාක්ෂිකයන් රැක ගන්නේ කෙසේද?

පිළිතුර:- පාක්ෂිකයන් දරන මතය හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පක්ෂය තුළ තුළ දරපු මතය නෙවෙයි. එම මන්ත්‍රීවරුන් දෙදෙනා පක්ෂයෙන් යෑම තුළ රටේ ජනතාව පක්ෂයෙන් ඈත්වීම කිසිලෙසකවත් නිරූපණය වන්නේ නැහැ. මිනිසුන් ඒ මතයේ සිටියා නම් අපට පාක්ෂිකයන් රැකගන්න බැරි වෙනවා. ඒකේ දෙකක් නැහැ. ඒ නිසා ඔය කාරණා දෙක පටලවා ගන්න එපා. එම නිසා ඔබේ ප්‍රශ්නය තුළ තර්කයක් නැහැ. මොකද පාක්ෂිකයන් සිටින්නේ සමගි ජන බලවේගය මහා කුලකය සමගයි.

ප්‍රශ්නය:- අද රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔබතුමන්ලාගේ පක්ෂයේ නායකවරයාට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධුරය භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ එය භාරගත්තේ නම් අද ජනාධිපතිවරයා ඔහුයි. මෙම අදහස ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම ඔබතුමන්ලාගේ පක්ෂ සාමාජිකයන් සඳහන් කරන්නේ අගමැති ධුරය දෙන්න නෙමෙයි ඔය කිව්වේ කියලා. කොන්දේසි නොදා අගමැති ධුරය භාර ගත්තා නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයා වෙන්න තිබුණා. අවංකව කියන්න. එහෙම අවස්ථාවක් තිබුණා නේද?

පිළිතුර:- නැහැ. නැහැ. මම හේතු කියන්නම් සියල්ලම. අපට වගකීම් දෙන්න හැදුවා. නමුත් මේ අපි එය භාරගත්තේ නෑ වගේ හිතන අය සත්‍යවශයෙන් ම දැනගන්න ඕන කාරණය තමයි එහෙම අපට වගකීම් දෙන්න හැදුවේ නැති බව. හැබැයි ඔවුන් දෙනවා වගේ පෙන්නන්න හැදුවා.

සජිත් ප්‍රේමදාස මහත්මයාට එම තනතුර භාර ගන්න විදිහට එය නිකමට දුන්නා හිතමු. එහෙම දුන්නේ නැහැ. ඒ නිසා එහෙම හිතන්න එපා. නමුත් ඔබ ගොඩනගන තර්කය අනුව එහෙම හිතුවොත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව රට තුළ මතු වූ අරගලය එළවන්නෙ සජිත් ප්‍රේමදාස මහත්මයාට.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාස මහත්මයා බය වුණේ එයට ද?

පිළිතුර:- සජිත් ප්‍රේමදාස මහත්මයා බය වුණේ රටේ හදගැස්මට මිසක් තනතුර භාරගැනීමට නෙවෙයි. අරගලය පාවා දෙන තැනක අපි හිටියේ නැහැ. හැබැයි සමහරුන්ට ඕන වුණා අප සහ ජනතා විමුක්ති පෙරමුණ ඔය කුණු හොද්ද ඇතුළට දාන්න. ඔය වෙනකොට පොහොට්ටුව පරඬැලක් වගේ හැකිලී තිබුණේ. ඔය ඇතුළට දාගන්න බැරි දේශපාලන සංවිධාන තුනයි එළියේ හිටියේ. දෙමළ කතා කරන ජනතාවගේ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය එම පක්ෂ තුනයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ පොහොට්ටුව එකතුවීම කැසිකිළිය හා වැසිකිළිය එකතුවීම හා සමාන දෙයක්. එය රන් රස එකතු වීමක් නෙවෙයි.

ප්‍රශ්නය:- ඔබතුමා මීට පෙර සඳහන් කරා අරගලයට එරෙහි වෙන්න අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට නොතිබූ බව. ඇත්තෙන්ම මේ වන විට ඔබතුමන්ලා අරගලයේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටිනවාද?

පිළිතුර:- ඔව්… මේ කතා කරන මොහොතෙත් අපගේ නීතිඥ කණ්ඩායම් ඔවුන් වෙනුවෙන් නීති සහය ලබාදෙනවා. සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් රට පුරා සිටින සමගි ජන බලවේගයේ එක්දහස් දෙසීයකට ආසන්න සමගි නීතිඥ ඇණිය රටපුරා පෙනී සිටිනවා. අපි අඛණ්ඩව අරගල භූමිය සමග අපගේ සංවාදය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.

ප්‍රශ්නය:- අරගල භූමියේ සිටි ක්‍රියාධරයන් ලැයිස්තුගත කර අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ඇතැමුන් සඳහන් කරනවා. එසේ වනවා නම් විපක්ෂය ලෙස ඔබතුමන්ලාට කළ හැකි කාර්යභාරය කෙසේ ද?

පිළිතුර:- අපට කළ හැකි සියලු දේ අපි කරමින් සිටිනවා. අපි මාධ්‍ය හරහා සියල්ල හෙළිදරව් කරනවා. ඒ වගේම නීතිඥ සහය ලබාදෙනවා. ඉන් නොනැවතී මානව හිමිකම් සංවිධාන වෙත යෑම, තානාපති කාර්යාල වෙත යෑම සියල්ල කරනවා. පාර්ලිමේන්තුව තුළත් අප ඒ සම්බන්ධයෙන් හඬ නගනවා. හදිසි නීතියට එරෙහිව ඡන්දය භාවිතා කිරීමම එහි සංකේතීය ප්‍රකාශනයක්.

ප්‍රශ්නය:- ඔබතුමාට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට මර්දනයක් ක්‍රියාත්මක කර තිබෙනවා ද?

පිළිතුර:- ඉතා පැහැදිලිවම ඔව්.

ප්‍රශ්නය:- ඇතැම් පිරිස් සඳහන් කරන්නේ 88 – 89 වර්ෂවල සිටි රනිල් වික්‍රමසිංහ මහතා නැවත ඉපදිලා කියලයි. ඇත්තටම 88- 89 සිටි රනිල් වික්‍රමසිංහ නැවත ඉපදිලා ද? එසේ නොමැති නම් වැටී ඇති රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පසුබිම ද දැන් මේ සකසමින් තියෙන්නෙ…?

පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරද්දී පොහොට්ටුවේ අය ආරක්ෂාව ලබා දෙන්න. ගෙවල් හදන්න උදව් කරන්න. පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ නොදෙන්න වැනි ඉල්ලීම් ගණනාවක් කළා. අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා සමඟ දේශපාලනය කර තිබෙන අය. ඔබ දැකලා තිබෙනවාද ඔහු මෙගාෆෝන් එකක් අතේ තබාගෙන කතා කරන එකක්. එලෙස පින්තූර සහ වීඩියෝ තිබෙනවා නම් මට පෙන්වන්න. මම නම් එහෙම ඒවා දැකලා නැහැ. වේදිකාවක මයික් එකක් අරන් කතා කරන එකයි මෙගාෆෝන් එකක් අරන් කතා කරන එකයි දෙකක්. මගේ ඉතිහාසයේ නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙන්නේ මෙගා ෆෝන් එකක් අතේ තියන් කතා කරන්න එකක් දැකල නෑ. එහෙම ඒව තියෙනවා නම් කරුණාකර අපට එවන්න. එහෙම එකක් තිබෙනවා නම් අතේ ඇඟිලි දහයටත් අඩු ගණනක් තමයි තියෙන්න ඕනා. එකිනෙකට වෙනස් ස්ථානවල එඩිට් නොකර එහෙම පින්තූරු තිබෙනවා නම් මට එවන්න. එහෙම එකක් හෝ දෙකක් හොයාගන්න තිබුණොත් ලොකු දෙයක්.

ප්‍රශ්නය:- ඔබ මොකක්ද මේ කියන්න උත්සාහ ගන්නේ..?

පිළිතුර:- ඔහු එදා ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇවිත් පළමුව කතා කරන්නේ කාටද? එදා කතා කරන්නේ මිල්ටරි ඇණියට මෙගා ෆෝන් එකකින්. ඔහු ඒ මගින් යම් සංඥාවක් ලබා දෙනවා. ඉන් අනතුරුව ඔහු යන්නේ අකුරේගොඩ හමුදා මූලස්ථානයට. ඔහු එහිදී ආරක්ෂක කවුන්සලයට කතා කරනවා. ජනාධිපතිවරයා විසිරුණු කැබිනට් එකට කතා කළේ නැහැ. එසේ නොමැති නම් මන්ත්‍රී කණ්ඩායමට කතා කළේ නැහැ.

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ මහත්මා දිනෙන් දින ස්ථාවර වන බව ඔබට හිතෙන්නේ නැද්ද?

පිළිතුර:- ඉතිහාසය බලන්න. එතුමා බලය තිබෙන අවස්ථාවකවත් ස්ථාවර වෙලා නැහැ. ඔබ එක විනාඩියකටවත් එහෙම හිතන්න එපා. ඡන්දයක් තිබ්බොත් ඔය කියන කිසි දෙයක් නැති බව පෙනේවි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment