දැන් වෙළෙඳුන්ට උඩ පැන පැන පොහොර මිල නියම කළ හැකියි – නාමල් කරුණාරත්න

214

රජයේ සමාගම්වන ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් අක‍්‍රීය කරමින් පෞද්ගලික අංශයට පොහොර ආනයනයට අවසර ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොහොර මිල අසීමිත ලෙස ඉහළ ගොස් ගොවියන් තවදුරටත් අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (24දා* පැවැසීය.

පොහොර වෙනුවෙන් ගොවියාට සහනාධාරයක්ද ලබානොදීම නිසා ඉදිරියේදී පෞද්ගලික වෙළෙඳුන්ට ‘උඩ පැන පැන’ මිල නියම කළ හැකි තත්ත්වයක් දැන් උදාකරදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රසායනික පොහොර, දිලීර නාශක, වල්නාශක සහ පළිබෝධ නාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කර තිබූ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් රජය නැවත ඒවා ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රසායනික පොහොර සමාගම්වල කොන්ත‍්‍රාත්කරුවෝ කියලා ආණ්ඩුව මටත්, පක්‍ෂයටත්, ගොවියාටත්, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන්ටත් චෝදනා කළා. දැන් අපි අහනවා ඒ කොන්ත‍්‍රාත්තුව ජනපතිවරයා ප‍්‍රමුඛ රජය භාර ගත්තාද කියලා. මේ ආණ්ඩුව ආවේ පොහොර නිකං දෙන්න. අන්තිමට කළේ ගොවියා පාරට ඇදලා දාපු එක. ආණ්ඩුව වැරදි භාවිතයක හිටපු නිසා තමයි තහනම් ගැසට්ටුව නැවත ‘රිවස්’ කළේ. ආණ්ඩුව පොහොර වැඩිමිලට විකුණන කඩවලට පැනලා දඩ ගැහුවා. සීල් කළා. නඩු දැම්මා. අපි එයට විරුද්ධ නැහැ.

හැබැයි එහෙම කරපු ආණ්ඩුව යූරියා මිටිය රුපියල් හයදහස් පන්සියයට විකුණුවා. එතකොට ඒ පොහොරවල වස විස නැද්ද? ආණ්ඩුව දැන් කරලා තියෙන්නේ සෘජුව හෝ වක‍්‍රව පෞද්ගලික පොහොර සමාගම්වලට ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට බලය ලබාදීමයි. මේකෙන් වෙන්නේ ගොවියා තවදුරටත් නන්නත්තාර වීමක්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment