දැන් සිටම පැයක් දෙකක් විදුලිය කැපීම අවශ්‍යයි – විදුලි ඉංජිනේරුවෝ කියති

104

දිනකට පැය හතර පහක විදුලි කප්පාදුවකට රට තල්ලූ නොකොට දැන් සිටම දිනකට පැයක්, පැය දෙකක් විදුලි කප්පාදුවකට යෑම අත්‍යවශ්‍ය බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි.

මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය සියයට විසිපහ දක්වා අඩුවී ඇතැයි ද තවදුරටත් අඛණ්ඩව විදුලි බලය ලබාදෙමින් කටයුතු කරගෙන ගියහොත් විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජලය පහළ බැස පවතින විදුලි අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇතැයි ද ඉංජිනේරු සංගමය කියා සිටී.

විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම මේ වනවිට සියයට 60 ක් පමණ දක්වා අඩුවී ඇතැයි ද ජල මට්ටම සියයට 40 ට පහළ ගිය පසු ජල විදුලි නිෂ්පාදනය නතර කිරීමට සිදුවන බවද ඉංජිනේරුවෝ කියති.

ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසා හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් වැඩි මිල ගණන්වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන නිසා හොඳම විසඳුම දිනකට පැයක් දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවූහු කියා සිටිති.

එසේ නොකර හිතුවක්කාර ලෙස මෙයාකාරයට අඛණ්ඩව විදුලිය ලබාදෙමින් කටයුතු කරන්නට ගියහොත් ඉදිරි සති තුන හතරට පසු දිනකට පැය හත, අට විදුලිය කපා දැමීමකට රට තල්ලූ වී යා හැකි බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

දිනකට පැයක් එකහමාරක් හෝ ඊට වැඩි කාලයක් විදුලිය කපා දමන ලෙස ඉල්ලමින් ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත්තේ හේතු ඇතුව බවද ඔවූහු කියා සිටිති. දැනට කි‍්‍රයාත්මක තාප බලාගාර කාර්මික දෝෂවලට ලක්විය හැකි බවත් අප සිටින්නේ දැඩි අවදානම්කාරී මොහොතක බවත් ඉංජිනේරුවරු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment