දැයක් අවදි කළ සිරිමාවෝ චින්තනය

357

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අභාවප්‍රාප්ත වී අදට (10 දා) වසර 22 කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

 විශිෂ්ට නායකයන් මියගියද ඔවුන්ගේ නිවැරදි දැක්ම ඔවුන් ජීවත්ව සිටි කාලයට වඩා ඔවුන්ගේ අභාවයෙන් පසුව ප්‍රභලව මතුවේ. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වී දෙවතාවක්ම එම තනතුර හොබවමින් ජාත්‍යන්තර දේශපාලන වාර්තාවක් සනිටුහන් කළ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිණිය ඉටු කළ ජාතික හා ජාත්‍යන්තර මෙහෙවර යුග යුග අමරණීය වේ.

 එදා ඇය විසින් දියත් කළ බොහෝ ජාතික වැඩසටහන් සහ විදේශ ක්‍රියාකාරකම් හුදෙක් ස්ත්‍රීත්වය පදනම් කර ගෙන ප්‍රතිගාමීත්වය විසින් අතිශය සැහැසි ලෙස හෙළා දුටුවද වත්මන් ශ්‍රී ලාංකීය සංකීර්ණ දේශපාලන සංදර්භය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක චින්තනයේ නිවැරදි බව හා ප්‍රබුද්ධත්වය වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ වනු ඇත.

 1916 අප්‍රේල් මස 17 වැනිදා සබරගමු පළාතේ රදළ පෙළපතක උපතලත් ඇය දෛවය විසින් ඇයට පැවරූ ජාතික මෙහෙවර විශිෂ්ටත්වයෙන් යුතුව නිමවා වර්ෂ දෙදහසේ ඔක්තොබර් මස දහ වැනි දින ජාතියෙන් සමුගත්තාය. අභාවයෙන් වසර විසි දෙකකට පසුවත් සිරිමාවෝ මැතිණිය විසින් ගෙන ගිය ජාතික, ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලනික හා සමාජීය වැඩපිළිවෙළෙහි මහිමය නැවත නැවතත් වත්මන් දේශපාලන කරලියේ අවධානයට මෙන්ම සාකච්ඡාවට භාජනයවී තිබිණි. ඇයගේ ස්වජාතික දැක්මේ හා මෙහෙවරේ ඇති සරුබව යළි යළිත් තහවුරු වී ඇත.

 නාමිකව ලත් නිදහස තුළින් අධිරාජ්‍යවාදී වහල් බැමිවලින් තැලී මිරීකි සිටි ජාතියක් ඉන් මුදාගනිමින් මවුබිම තුළ පොදුජන යුගයක් බිහිකලාවූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සාහසික ක්‍රමන්ත්‍රණයක් තුළින් ඝාතනය කිරීමෙන් එතුමාගේ දේශජ දැක්මත්, එකී දැක්මෙන් පරිණත අපේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මරා දැමීමට උත්සාහ ගත්තද කුමන්ත්‍රණකාරීන්ගේ එම අනර්ථකාරී උත්සාහයන් ව්‍යක්ත වන්නේ බණ්ඩාරනායකයන්ගේ අභාවයෙන් පසුව පක්ෂයේත්, මෙරට ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපෘතියේත් යන දෙකෙහිම නායකත්වය එවකට සිටි පක්ෂ නායකයන්ගේ ඉල්ලීම මත මැතිණිය විසින් භාර ගැනීම නිසාය. බණ්ඩාරනායක ශ්‍රීමතුන්ගේ අභාවයත් සමඟ නිර්මාණය වූ පිරවීමට අසීරුවූ දේශපාලන රික්තය පිරවීමට සිරිමා මැතිණිය ගත් දේශපාලන තීන්දුව ඓතිහාසික තීරණයකි. එතුමිය එදා එම භාරධූර වගකීම සියතට ගත්තේ කිසිදු පෞද්ගලික කීර්තියක් අපේක්ෂාවෙන් නොවේ. 56 ආරම්භ කළ පොදුජන මෙහෙවර ඉදිරියට ගෙන යෑමට ඇය දිවිහිමියෙන් කැපවූවාය.

 බණ්ඩාරනායක මහතා ගෙන ගිය සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතාවන්හි පවත්වා ගෙන ගිය මධ්‍යස්ථභාවය හා බෞද්ධ ආගමික හා සිංහල භාෂා පුණර්ජීවණ කාර්යභාරය එලෙසින්ම දැඩි කැපවීමකින් යුතුව ඇය ඉදිරියට ගෙන ගියාය. රක්ෂණ, බැංකු ආදී ආර්ථිකයේ මර්මස්ථාන රැසක් ජනසතු කළ ඇය ක්‍රියාත්මක කළ යම් යම් දේශපාලන තීන්දු තම දේශපාලන පැවැත්මට හානිකර වුවද, තමා විශ්වාස කළ දේශපාලන දැක්මේ තිරසරව එල්බ සිටීම ඇය තුළින් මා දකින ඉතා ප්‍රභල චරිත ලක්ෂණයකි. ඇය සිදුකළ සමහර දේශපාලන ප්‍රතිසංස්කරණ පසුකාලීනව අප රට තුළ බිහිවූ ජාතිකවාදී දේශප්‍රේමීන් විසින් පවා නිවැරදි හා සැබෑ විමසුමකට හෝ තක්සේරුවකට ලක්කළා දැයි සැක සහිතය.

 ලංකාව ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් කරමින් නව ජනරජ ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින් ඇය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරව ද අවධානය හා ගෞරවය දිනා ගත්තාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සමඟ එකට සිට ගනිමින් සමගි පෙරමුණ බිහිකළ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මැදුම් පිළිවෙතෙහි පිහිටාලමින් මවුබිමට ගැළපෙන ප්‍රගතිශීලී පරිවර්තනයන් රැසක් සිදු කරලීමට සමත් වන්නීය. 1971 දී පැන නැඟුනු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැඟිටීම පාලනය කිරීමට ඇය දැක්වූ දේශපාලන කෘතහස්තභාවය මෙරට පමණක් නොව විදේශීය රටවල දේශපාලඥයන්ගේ ද පැසසුමට ලක්විය. එහිදී මැතිණියගේ සහායට ලෝකයේ බොහෝ රටවල් ඉදිරිපත්වීම සහ ඒ වෙනුවෙන් උපරිම සක්‍රීය දායකත්වයක් ලබාදීම බොහෝ විචාරකයන් හැඳින්වූයේ සිරිමා මැතිණිය ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙසය. රටට නව කාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් සමාජවාදී කඳවුරේ රටවල් රැසක අනුග්‍රහයෙන් රට තුළ සිමෙන්ති, කඩදාසි, වානේ හා රසායනික කර්මාන්ත රැසක් ස්ථාපිත කළාය. යැපුම් ආර්ථිකයක් වෙනුවට ස්ව ශක්ති ආර්ථිකයක් වෙනුවෙන් ඇය තුළ වූ දුරදක්නා දැක්ම අද දවසේදී බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. ඒ යුගයේ ඇතිවූ ආහාර අහේනියට විසඳුමක් ලෙස හඳුන්වා දුන්, නිෂ්පාදන සංග්‍රාමය” තුළින් මවුබිමේ සෑම බිම් අගලකම වගා කරන ලෙස එතුමිය කළ ඉල්ලීමත්, එයට ජනතාව වෙතින් ලැබූ සාර්ථක ප්‍රතිචාරයත් නිසාම ඇතිවූ තත්ත්වයන් ඇගයීමට ලක්කළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇයට, “සියරීස්” පදක්කම පිරිනැමුවාය.

 සිරිමා මැතිණියගේ දේශපාලන ගමන් මගේ මා දකින සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ ඇය විසින් අනුගමනය කළ කීර්තිමත්, නොබැඳි විදේශ ප්‍රතිපත්තියයි. රන්පවුම් වතු ජනසතු කිරීම හා පෙට්‍රෝලියම් සමාගම් ජනසතු කිරීම තුළින් මහා බි්‍රතාන්‍ය හා ඇමෙරිකාව වැනි රටවල් එතුමිය සමඟ උරණ වුවද එම අඩුව පිරිමසා ගැනීමට චීනය හා රුසියාව වැනි සමාජවාදී රාජ්‍ය පද්ධතියේ සහාය ලබා ගන්නට ඇය සමත්වූවාය.

 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම, කච්චතිවු දූපතේ අයිතිය ලබා ගැනීම, සැතපුම් 200 ක මුහුදු සීමාවේ අයිතිය මෙරටට හිමිකර ගැනීම වැනි දීර්ඝ කාලයක් නොවිසඳුනු ගැටලු ප්‍රශ්න රැසකට අපට වාසිදායක වන ලෙස විසඳුම් ලබා ගැනීමට හැකිවීම මුළු මහත් ජාතියේම වාසනාවකි. ඇය ඉදිරිපත් කළ ඉන්දියානු සාගර සාම කලාප යෝජනාව අද දවසේ අපගේ මාතෘ භූමිය බලවත් ජාතීන්ගේ බලපෑම්වලට ලක්වීමට ඇති ඉඩකඩ වැළැක්වීම වෙනුවෙන් ගනු ලැබූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැක. 1976 දී ශ්‍රී ලංකාවේ පැවති පස්වන නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වීමේ සත්කාරක රාජ්‍ය හැටියට කටයුතු කළ එතුමිය එහිදී කළ ඓතිහාසික ප්‍රකාශය අදත් ජාත්‍යන්තරය හමුවේ වලංගුව පවතී.

 ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ වටා ගොනු වූ ලක්ෂ සංඛ්‍යාත සාමාජිකත්වයත් සිය පණ සේ රැක්කා සේම ඔවුන්ට සැබවින්ම උපරිමයෙන් ඇලුම් කළාය. රාජ්‍ය බලය ඇතිව සිටියදී මෙන්ම රාජ්‍ය බලය අහිමිව සිය ප්‍රජා අයිතිවාසිකම් උරුමය පවා නොමැතිව සිටියදී පක්ෂය රැකීම හා එය ප්‍රවර්ධනය කිරීම එතුමියගේ කාර්ය භාරය විය.

 වසර 22 කට පෙර ඇය ජාතියට සමුදුන්න ද ශ්‍රී ලාංකික ජන සමාජය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයට සමු දුන්නේ නැත. තව දශක ගණනාවක් ඇයගේ දර්ශනය සදාතනික වටිනාකම අප අතර ජීවමාන වනු ඇත.

 සිරිමාවෝ මැතිණිය එදා ඉටුකළ ඒ උත්තුංග කාර්ය භාරය වර්තමානයේ ඉටු කරලීමේ වගකීම වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් වෙත පැවරී ඇත. යූ.ඇන්.පී. විරෝධී සැබෑ ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කර ගනිමින් පොදු ජනතා බලයක් බිහිකරලීමේ අරමුණ මුදුන්පත් කරලීම සඳහා එතුමා අද දවසේත් දැඩි කැපවීමෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම රටේ ද වාසනාවකි. එම උත්සාහය සාර්ථකව ඉටු කරලීම සිරිමාවෝ මැතිණිය වෙත කෙරෙන උපරිම උපහාරයක් සේම එය වත්මන් යුගයේ ජාතික අවශ්‍යතාවය සහ කාර්යභාරය ලෙසද මම දකිමි.

ෂාන් විජයලාල් ද සිල්වා
 ශ්‍රී.ල.නි.ප. උප සභාපති
 ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
 හිටපු ප්‍රධාන අමාත්‍ය – දකුණු පළාත
 හිටපු ආණ්ඩුකාරවර – නැගෙනහිර පළාත

advertistmentadvertistment
advertistmentadvertistment