දැයක් පොබකළ  අසිරිමත් සංවාදය

196

ධර්මාශෝක නිරිඳුන්ගේ නව රට සසුන් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අපගේ මේ පුංචි රට ද තෝරාගෙන තිබීම අප ලැබූ භාග්‍යයකි, වාසනාවකි. ඒ අනුව බුද්ධ පරිනිර්වාණය සිදුවී වසර 236 ක් ගෙවී ගිය අද වන් පොසොන් පුර පසළොස්වක පොහොය දිනෙක එම විශේෂ දූත පිරිස අප රටේ මිහින්තලා පර්වතයට (මිස්සකන පව්ව, අම්භස්තල) පා තබන ලදි. අදින් වසර 2321 කට පෙර එම අසිරිමත් සිදුවීම සිදුවිය. ධර්මාශෝක මහ රජතුමාගේ පුත්‍රරත්නය වන මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු රාජකීය දූත පිරිසක් ඒ සඳහා යොදාගෙන තිබීම ද වැදගත් කරුණකි. අප රටේ සම්බුදු දහම වසර පන්දහසක් කල් පවතින බවත්, මේ රට ආරක්‍ෂා කරන ලෙස සක්දෙව් රජුට පිරිණිවන් මක්‍ඳ්චකයේදී භාර දී තිබීම මෙයට හේතු වන්නට ඇත.

 එකල අප රටේ රජකම් කළ තිස්ස රජතුමා (පසුව දේවානම්පියතිස්ස) හතළිස් දහසක (40,000) පිරිවර සමඟ මිහින්තලාව අවට වනයේ සංචාරය කිරීමට තීරණය කර තිබූ දිනය විය. මෙම සිද්ධිය රජතුමා මුව දඩයමට ගිය බව බොදුණුවන් වන අප අතර ප්‍රචලිත කරුණකි. නමුත් එය එසේ විය හැකිද? රජතුමාට මුවන් දඩයම් කිරීමට අවශ්‍ය වන්නේ කුමකටද? සතුන් දඩයම් කිරීමට යනවා නම් තනිවම හෝ කිහිපදෙනකු සමඟ පමණක් යා යුතු ය. හතළිස් දහසක මහ සෙනඟක් සමඟ යා යුතුද? රජුට අවශ්‍ය මස් සැපයීමට වෙනම පිරිසක් සිටිති. එසේ නම් මේ කවර ආකාරයේ සංචාරයක් දැයි අපි බුද්ධියෙන් සලකා බැලිය යුතුය. වර්තමානයේ අප රට දෙස බලමු. යුද්ධය නිමාකර තිබියදී මෑතකදී යුද්ධයක ලකුණු දක්නට නොතිබියදීත් ත්‍රිවිධ හමුදාවේ සෙබළුන්ගේ ශාරීරික හා මානසික වර්ධනය ඒ අයුරින් පවත්වාගෙන යෑම සඳහා වරින්වර යුද අභ්‍යාස පවත්වති. ව්‍යායාම කරති. එසේ නම් තිස්ස රජතුමා ශාරීරික අභ්‍යාස සඳහා ව්‍යායාම කිරීම සඳහා හෝ යුද අභ්‍යාස සඳහා හතළිස් දහසක සෙබළුන් සමඟ වනාත්තරයට ගියා විය හැක.

 කෙසේ වෙතත් රජු ඇතුළු පිරිස වනයේ ඇවිදීමේදී මිහින්තලා පර්වතය අසලදී රජුගේ නම කියා කතා කරන කහ පැහැති වස්ත්‍ර හැඳගත් පුද්ගලයකු පර්වතය මුදුනේ සිටිනු තිස්ස රජතුමාට දක්නට ලැබුණි.

 “තිස්ස, තිස්ස” පුදුමයට පත් තිස්ස රජතුමා තමාගේ නම කියූ පුද්ගලයා දෙස බලා

 “කව්ද ඔබ?” යනුවෙන් ඇසීය.

 “සමනා මයං මහාරාජ

 ධම්ම රාජස්ස සාවකා

 තමෙව අනුකම්පාය

 ජම්බුදීපා ඉධාගතා” යනුවෙන් මහරජ, අපි ධර්ම රාජයාණන් වහන්සේගේ (බුදුරජාණන් වහන්සේගේ) ශ්‍රාවකයෝ වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව හෙවත් ජම්බු දීපයේ සිට මෙහි පැමිණියෙමු.” යි පිළිතුරු දුන් සේක. මෙහිදී ඉතා කෙටියෙන් තමන් වහන්සේ ඇතුළු පිරිස කව්ද යන බවත්, පැමිණි කාරණයත් කොහි සිට පැමිණියේද යන්නත් තරජතුමාට පවසන ලදී. රජු පැහැදීමට පත් විය. ඒ සමඟම බිය හා සැකය ද දුරු විය.

 තිස්ස රජතුමාට මෙහිදී ධර්මාශෝක රජතුමා හා බුදු සසුන ද සිහිපත්ව, මේ මීට පෙර තමන් වෙත දන්වා ඇති පරිදි බුද්ධ ශ්‍රාවකයන් බව අවබෝධ කර ගත්හ. ඒ සමඟම මිහිඳු මහ රහතන් වහන්සේ තමන් වහන්සේ සමඟ පැමිණි අනෙක් පිරිස ද රජතුමා ඇතුළු පිරිසට දැක ගැනීමට සැලැස්වූහ. රජු හා පිරිස පුදුම වූහ. එම අවස්ථාවේදී ද දෙබසක් ඇතිවිය.

 “ස්වාමීනි, මේ පිරිස මෙතැනට පැමිණියේ කොයි වේලාවේද?” රජු ප්‍රශ්න කළේය.

 ඒ පිරිස පැමිණියේ ද මා සමඟයි. මහිඳු මහ රහතන් වහන්සේගේ පිළිතුර විය.

 “ස්වාමීනි, ඔය වැනි අය දඹදිව තවත් සිටීද?”

 “මහ රජතුමනි, මේ වන විට මුළු මහත් දඹදිව් තලයම කසාවතින් බබළන්නේය.”

 “ස්වාමීනි, ඔබවහන්සේලා මේ පර්වත මස්තකයට කෙසේ නම් වැඩියේද?”

 තිස්ස රජතුමාගේ නුවණ හා බුද්ධිය විමසා බැලීමට මෙය තවත් කදිම අවස්ථාවකැයි සැලකූ මිහිඳු මහ රහතන් වහන්සේ මෙසේ වදාළහ.

 “මහරජතුමනි, අප දියෙන් හෝ ගොඩින් ආවේ නැත”

 බුද්ධිමත් රජතුමා ගොඩින් හා දියෙන් ආවේ නැති නම් ඊළඟට ළඟා විය හැකි එකම ක්‍රමය අහසින් බව දැන තවත් පුදුමයට පත්වූහ. තව තවත් පැහැදුණි. අසීමිත සතුටක් ද ඇතිවිය.

 “එසේ නම් ස්වාමීනී, ඔබවහන්සේලා අහසින් වැඩියා වන්නට ඇති” යැයි රජු පැවැසීය.

 තමන්වහන්සේ ඇතුළු පිරිස පැමිණි ආකාරය රජතුමා අවබෝධ කර ගැනීමෙන් රජුගේ බුද්ධි මහිමය මිහිඳු මාහිමියෝ අවබෝධ කර ගත්ත ද, ධර්මය අවබෝධ කර ගැනීමට තරම් නුවණක් පවතී දැයි සැක හැර දැනගැනීමට රජුගෙන් ප්‍රශ්නාවලියක් විචාලහ.

 මිහිඳු මහ රහතන් වහන්සේ එම ගල් තලාව අසල තිබූ අඹ ගසක් පෙන්වා

 “මහ රජ, මේ කිනම් ගසක් දැයි’ ඇසූහ.

 “ස්වාමීන් මේ අඹ ගසකි” රජු කීය.

 “මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද?”

 “එසේය ස්වාමීනි, තව ඕනෑ තරම් අඹ ගස් තිබේ.”

 “මහරජ, මේ අඹ ගසත්, ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?”

 එසේය ස්වාමීනි, තවත් බොහෝ ගස් වර්ග තිබේ.”

 “මහරජතුමනි, ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේද?”

 “තිබේ, එය තමා මේ අඹ ගස” රජු පිළිතුරු දුනි.

 රජතුමාගේ බුද්ධි මහිමය වටහා ගත් මිහිඳු මහ රහතන් වහන්සේ ඒ අඹ පැනයම ඥාතීන් කෙරෙහි යොමු කරවා නැවත වරක් ප්‍රශ්න කළහ.

 “මහ රජ, තොපට නෑයෝ සිටිත්ද?”

 “එසේය ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිති.”

 “එසේ නම් මහ රජ, තොපට නොනෑයෝත් සිටිත් ද?”

 “ස්වාමීනි, බොහෝ නොනෑයෝ සිටිති.”

 “මහ රජතුමනි, ඔබගේ ඒ නෑයෝත්, නොනෑයෝත් හැර තවත් අය සිටීද?”

 “සිටිනවා ස්වාමීනි, ඒ තමා මම” රජුගේ පිළිතුර විය.

 “මහ රජ ඔබ පණ්ඩිතයෙකි. බුද්ධිමතෙකි.” මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළහ.

 තිස්ස රජුගේ බුද්ධි මහිමය, වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කළහ. පැහැදුන පිරිස තෙරුවන් සරණ යෑමෙන් බෞද්ධ උපාසක පිරිසක් බවට පත්වූහ.

 තිස්ස රජතුමා හා මිහිඳු මහ රහතන් වහන්සේ අතර ඇති වූ මේ සංවාදය එදා මෙන්ම අදටත් ප්‍රායෝගිකය. මේ බුද්ධිමත් සංවාදය ඓතිහාසික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වැනිය.

 සාමවිනිසුරු  ගුණපාල කාරියවසම්
 ගෝනලගොඩ, තල්ගස්වල.

advertistmentadvertistment
advertistmentadvertistment