දැයෙන් සමුගත් බෙල්ලන්විල මහා යතිවරයාණෝ

170

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටයුතු කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් අපවත් වී අදට වසර 5ක් සම්පූර්ණ වන අතර, මේ ඒ වෙනුවෙන් පළකරන ලිපියකි.

1942 අප්‍රියෙල් මස 14 දින ජන්ම ලාභය ලද මෙම පිංවත් කුලකුමරුවාණන්ගේ ගිහිකල නම වූයේ ඕමන්තගේ ගිල්බට් පෙරේරාය. නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුලකුමරුවා වයස අවු. 13 දී එනම් 1956 පෙබරවාරි 28 වන දින බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘ ලෙස සලකන බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

1967 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 1972 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් අතර, 1980 දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගන්නට සමත් වූහ.

පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස සිය ගුරු ජීවිතය ඇරඹූ උන්වහන්සේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දැරූ පරිවේනාධිපති තනතුරෙන් ඉවත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පූර්ණ කාලීනව සිය සේවාව ලබාදෙන ලද්දේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් දහස් ගණනකට දැනුම පෝෂණය ලබාදීමේ අරමුණිනි.

උන්වහන්සේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් කරන ලද අනූපමේය සේවාව හා අනෙකුත් ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය සේවාවන් ගැනත් සලකා බලා 2000 වර්ෂයේදී උන්වහන්සේට විශ්වවිද්‍යාලයක් තුළින් ලැබිය හැකි ඉහළම තනතුර වන සම්මානනීය කුලපති පදවියෙන් පිදුම් ලැබීම උන්වහන්සේටත්, එම තනතුරටත් කරන ලද ගෞරවයක් ලෙස හඳුන්වා දිය හැක.

උන්වහන්සේ විහාරස්ථානයේ රථගාලෙන් ලැබෙන ආදායම විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදවා එම මුදල සම්පූර්ණයෙන්ම ප්‍රදේශයේ වකුගඩු හා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා අරමුදල් සපයන ගිණුමක් බවට පත්කර ඇත. විහාරස්ථානයේ රථගාලට ඇතුල් කරගන්නා වාහනයකින් අය කරන රු. 30 බැගින් වූ මුදල එකතුකර අද වනවිට අසරණ රෝගීන් 800 කගේ පමණ සැත්කම් සඳහා රුපියල් ලක්‍ෂ 250කට අධික මුදලක් ලබා දී තිබීම ගැන කවුරුත් පුදුමයට පත්වන අතර, එය බොහෝ දෙනාගේ ප්‍රසංසාවට පවා පාත්‍ර වී ඇත.

විමලරතන ස්වාමින්වහන්සේ විහාරස්ථානයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආරම්භ කරන ලද්දේ ළමුන්ට අධ්‍යාපනය පමණක් නොව ඔවුන් හට විනය හා ගුණගරුක බව ලබාදීමේ අරමුණිනි. අද එම දහම් පාසල දක්‍ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් 2500 කට අධික සංඛ්‍යාවක් සිටින අගනුවර ඇති ප්‍රධාන පෙළේ දහම් පාසලක් බවට පත්ව ඇත.

මාස 3 කට වරක් කලුබෝවිල හා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කැඳවා ප්‍රදේශයේ අසරණ ජනතාවට නොමිලයේ බෙහෙත් ලබාදීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමත්, වසරකට වරක් ප්‍රදේශයේ දුප්පත් පවුලක් තෝරා ඔවුනට ඉඩමක් සහිත නව නිවසක් ඉදිකර දීමත්, ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පොත් හා ශිෂ්‍යත්ව ලබාදීමත් උන්වහන්සේ විසින් ආරම්භ කළ ප්‍රජා සත්කාරක සේවාවන් අතර වේ.

උන්වහන්සේගේ 5 වන ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් උන්වහන්සේට පිං අනුමෝදන් කිරීම සඳහා පෙබරවාරි 02 වන දින පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නාහිමියන් විසින් ධර්ම දේශනාවක් පැවැත්වූ අතර අද (03දා) මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානය පිරිනමනු ඇත. ඊට අමතරව පෙබරවාරි 9 වන දින වයස අවු. 6 න් පහළ දරුවන් 60 දෙනකුට අධිපෝෂණ ගුණයෙන් යුත් කිරිපිටි බෙදාදීමක් ද, එම මව්වරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින් ලබාදීමක් ද සිදු කෙරේ. එපමණක් නොව පෙබරවාරි 11 වන දින කඩුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී ඒ අවට පාසල් 3ක දරුවන් 400 කට පාසල් පොත් හා උපකරණ ලබාදීමත්, 50 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීමක් සිදුකරනු ඇත.

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි වෙනුවෙන් සිදුකරනු ලබන මෙම හැම පිංකමක්ම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක, කඩුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරනු ඇත.

විමලරතන හිමි වැනි උගත් බුද්ධිමත් යතිවරයකුගේ අභාවය නිසා ඇති වූ හිඩැස අපට කිසි දිනක සම්පූර්ණ කළ නොහැකි අඩුවක් වනු ඇත. දැයෙන් සමුගත් මෙම යතිවරයාණන් සිදුකරන ලද සමාජ, ආගමික, ශාස්ත්‍රීය සේවාවන් සලකා උන්වහන්සේට ගෞරව කිරීමක් වශයෙන් දැනටමත් බෙල්ලන්තර බොරලැස්ගමුව ප්‍රධාන මාර්ගය ‘මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත’ ලෙස නම්කර ඇති අතර ඉදිරි දිනක පවත්වන උත්සවයකදී උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුල්දින කවරයක් නිකුත්කිරීමට ද කටයුතු සම්පාදනය කර ඇත.

වසර 5කට පෙර අප අතරින් වියෝවූ මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමිනම් වූ ඒ යතිවරයාණන්ට අජරාමර නිවන් සුව අත්වේවා!

එල්.එස්.වනිගසිංහ
විහාරස්ථ දායක සභාවේ ලේකම්,
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය.

advertistmentadvertistment
advertistmentadvertistment