දැය පුබුදුවන අපේ අතපත්තුකන්දේ ආනන්ද නායක හිමිපාණෝ

160

රට දැය පුබුදුවාලන මහසඟ පරපුරේ සම්භාවනීයත්වය දිවිහිමියෙන් රකිමින් ගිහි – පැවිදි ගෞරවයට පාත‍්‍රව ධර්මධරව, විනයධරව, ශික්ෂාකාමීව සංඝ සෝභනත්වයට පත්ව වැඩවෙසෙන මහ තෙරනමක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිවරයෙක් වූ කොළඹ හැව්ලොක් ටවුන් සාම විහාරාධිපති ඇතුළු හක්මණ දෙණගම ශ‍්‍රී මුණසිංහාරාමය, බෙරුවේවෙල ශ‍්‍රී සෞගතාරාම පුරාණ විහාරය, ඇල්ලේවෙල ශ‍්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය යන සිව් මහා විහාරාධිපතිත්වය දරන ඉතා සරළ සුගම හා සුමර ලෙස දිවිගෙවන අපේ පූජ්‍යපාද අතපත්තුකන්දේ ආනන්ද නායක හිමිපාණෝ දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවියට ‘සද්ධර්මකීර්ති ශ‍්‍රී ධම්මරතන ප‍්‍රඥාතිස්ස’ යන ගෞරව නාම සම්මුතිය සහිතව මල්වතු විහාරයීය කාරක මහා සංඝ සභාව විසින් සම්භාවනාවට පාත‍්‍ර කිරීම අපගේ මහත් සොම්නසට හේතුවන කරුණකි.

උන්වහන්සේගේ විනීත, විශාරද හා ධර්මධර ශික්ෂාවෙන් යුත් සංඝ ගුණයට, අනුශාසනාවට හා ශාසන චිරස්තිථිය වෙනුවෙන් කළ අපරිමිත සේවය මෙලෙස මල්වතු විහාරයීය කාරක මහා සංඝ සභාව, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ සානුනායක සංඝ සභාව උන්වහන්සේව පත්කිරීම ඉතා කාලෝචිත දුරදිග බලා ගත් තීරණයක් බව පැහැදිලිය.

අපේ කථානායකයන් වන අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ සිය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පුහුදුන් අපටිආනන්දය. නිතැතිව ලබාදෙන මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකි. ඒ හදවත දනවන ‘ආනන්දනීය’ ධර්ම ඇසුර උන්වහන්සේ වෙතට පැමිණෙන සියලූ සත්වයා වෙත එක සේ ලබාදෙන ඉතා දුර්ලභ පරාර්ථය සාදන උදාර හැඟුමෙන් වැඩකරන අපූරු චරිතයකි. මානසික සුවයක් ලබාදී උවැසි උවැසියන් සුවපත් කරනා සංඝ නේතෘවරයාණන් වහන්සේ නමකි.

අප ඇසුරට මේ පින්වත් හිමියෝ 1980 දශකයේදී අවතීර්ණ වන්නේ උන්වහන්සේගේ නේවාසික පදිංචිය සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය තෝරාගැනීමත් සමඟය. අපේ බෙල්ලන්විල සෝමරතන නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හා පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමිවරුන්ගේ මඟපෙන්වීම හා ගුරු උපදේශ හා සමීප ආශ‍්‍රය-නිශ‍්‍රය හේතුවෙන් උන්වහන්සේගේ පැවිදි ගමන්මග බෙල්ලන්විලින් ආලෝකමත් වීම ආරම්භ විණි. මේ බව උන්වහන්සේ කෘතවේදීව අදටද නිතර නිතර මුමුණන පරම සත්‍යයකි. ඉදිරි ගමන් මග ඒකාලෝක කරනා ප‍්‍රදීපස්ථම්භය ලෙස අපේ බෙල්ලන්විල විහාරය පාදක කරගනිමින් උන්වහන්සේ අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව උත්කෘෂ්ඨ, ශාසනික, සමාජයීය හා ගිහි – පැවිදි සුවිශේෂී පදනම සඳහා මූලික අඩිතාලම සකස් කරගනු ලැබූහ. එම වකවානුවේම පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණේ ආචාර්යවරයෙක් ලෙස අත්පොත් තැබූ උන්වහන්සේ 1985 හිදි රජයේ ගුරු සේවයට එක්විණි. ඉනික්බිතිව ඇහැලියගොඩ විමලසාර මහා විදුහල, මහරගම විද්‍යාකර මහා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරු සේවයට එක්ව අනතුරුව එම ආනන්ද විද්‍යාලයේම සහකාර විදුහල්පතිවරයෙක් දක්වා උසස්වීම් ලැබ සිය අධ්‍යාපන මෙහෙවර පුළුල්කර සේවයෙන් ඉසිඹු ලැබූ විශිෂ්ඨ ආචාර්යවරයෙක් ද වේ.

පේරාදෙණිය, කැළණිය ආදි විශ්වවිද්‍යාල මඟින් ශාස්ත‍්‍රවේදී හා ශාස්ත‍්‍රපති උපාධි ලබාගත්තද සෑමවිටම ප‍්‍රකට කරනු ලැබුවේ උන්වහන්සේගේ අප‍්‍රමාණ කරුණා ගුණයයි. නිහතමානී බව, සරළ බව, ප‍්‍රියමනාප බව හා අද්විතීය කරුණාගුණ මහිමය උන්වහන්සේ සොයාඑනු ලබන චුම්බකයක් බඳු විය. අපේ විමලරතන හිමියන්ට මහා ජවයක් ලබාදෙමින් බෙල්ලන්විල විහාරස්ථානය තුළ උන්වහන්සේ ඉටුකළ සේවය ලියා නිමකළ නොහැක. වසර 25 කට වැඩි කාලයක් බෙල්ලන්විල දහම් පාසල් ප‍්‍රධානාචාර්ය ලෙසත්, විහාරස්ථානයේ ප‍්‍රජා පදනමේ උපසභාපතිවරයා ලෙසත් එමෙන්ම ඇසළ පෙරහැර සංවිධානයටත් ලබාදුන් අමිල ආලෝකය මෙතෙකැයි කිව නොහැක. උන්වහන්සේ ඒ තරමටම බෙල්ලන්විල තරුණ කොටස්වල, දායක සභාවේ සාමාජිකයන් තුළ මෙන්ම උපාසක උපාසිකාවන් තුළ ජීවමානවම බැබළෙන මතකයක් රඳවා හැව්ලොක් ටවුමේ දර්ශනීය සාම විහාරයේ විහාරාධිපතිත්වයට ඉනික්බිතිව පත්වූහ.

අප තථාගතයන් වහන්සේ භික්ෂූත්වය පිළිබඳ ධම්මපදය පියවග්ගයේ මෙලෙස දේශනා කර ඇත. ”සිව් පිරිසිදු ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ඨියෙන් යුත්, නව ලොව්තුරා දහම්හී පිහිටි, සත්‍යවාදී වූ, ත‍්‍රිවිධ ශික්ෂා පූරණය කියන ලද තමාගේම වැඩ කරන්නා වූ ඒ පුද්ගලයා මහජනයා ප‍්‍රිය කරයි”. මෙකී වැකි අපේ කථානායකයානන්ට කොතරම් උචිත දැයි යන්න මෙම ලේඛකයාටත් වඩා උන්වහන්සේගේ ඇසුර ලබන සියල්ලෝ දනිති. අනුන්ගේ දුකෙහිදී තම වාහනයට නැඟ යොදුන් ගණන් ගෙවාගෙන ගොස් පීඩිතයාව අස්වැසිල්ලට පත් කරනා අයුරු අප අත්දුටු සත්‍යයක්ය. අවශ්‍ය හැමවිටදීම අසාධාරණය ඉදිරියේදී තීරණාත්මකව ඉදිරිපත් වීමද උන්වහන්සේ සතු නිසඟ ගුණයක් වන අතර දායකයන් විවිධ අපහසුතාවලට ලක්වන අවස්ථාවලදී මහා පෞර්ශ්වයකින් යුතුව සත්‍යය වෙනුවෙන් පෙනී සිටින උත්තමයෙකි.

එපමණක් ද නොව උන්වහසන්සේ තම ජන සමූහයාගේ ධර්ම ඥානය පුබුදුවාලීමට සතිපතා, මාස්පතා සහ පුරුද්දක් ලෙස ප‍්‍රධාන ධාරවේ ජාතික පුවත්පත්වලට, සඟරා සහ ශාස්ත‍්‍රීය ලේඛනවලට කාලීන පොහොය දිනයට අදාළ විචිත‍්‍රාංග ලිපි වසර ගණනාවක සිට සපයති. ලබන ඉරිදා පැවැත්වෙන පදවි ප‍්‍රධානෝත්සව අභිනන්දන උත්සවයේදී එම සියලූ ලිපිලේඛන නව ග‍්‍රන්ථයක් ලෙසත් එමෙන්ම තවත් ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ දෙකක් ද උන්වහන්සේගේ ශ‍්‍රී නාමය වෙනුවෙන් එදින දොරට වැඞීම සිදුකරනු ලබයි.

මෙම උතුම් ශාසනික මොහොතේ උන්වහන්සේ වෙනුවෙන් බෙල්ලන්විල ගම්වාසියෙක් ලෙස කෙටි සටහනක් හෝ තබන්නට ලැබීම භාග්‍යයක් වන අතර උන්වහන්සේගේ මෙම ධූරප‍්‍රාප්තියෙන් චිරාත් කාලයක් සිදුකරනු ලබන සත්පුරුෂ හා ශාසනික සේවාවන් තවත් ප‍්‍රවර්ධනය කිරීමට උතුම් රත්නත‍්‍රයේ ආශිර්වාදය හා දිගාසිරි සම්පත්තිය නොඅඩුව සැලසේවා යැයි සුභාශිර්වාද කර මෙලෙස සනිටුහන් කරමි.

සිසිර විජේසිංහ
ප‍්‍රධාන මාධ්‍ය සම්බන්ධීකාරක – අභිනන්දන කමිටුව
හිටපු බස්නායක නිලමේ – බෙල්ලන්විල රජමහා විහාරය.

advertistmentadvertistment
advertistmentadvertistment