දැරියකට අතවර කළ මවගේ අනියම් සැමියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට – සහෝදරියගේ පෙම්වතාත් ඵ් අතර

253

වයස අවුරුදු දාහතරක බාලවයස්කාර දැරියක, වසර තුනක සිට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන දැරියගේ මවගේ අනියම් සැමියා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදාවේ සේවය කරන දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා ද වන බව පැවසෙයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව (64), රාජගිරිය, බණ්ඩාරනායකපුර (59) සහ මහියංගනයේ (36) පදිංචිකරුවන් තිදෙනෙකි.

දැරිය, මව සහ සහෝදර සහෝදරියන් කීපදෙනකු සමග පදිංචිව සිටින අතර පියා මියයෑමෙන් පසුව 2018 වසරේ සිට මවගේ අනියම් ඇසුරක් හේතුවෙන් පුද්ගලයකු නිවසේ වාසයට පැමිණ ඇත. ඒ අනුව ටික කලක් නිවසේ කල් ගත කළ 64 හැවිරිදි එම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස, දැරියගේ සිත් දිනා ගනිමින් දැරිය රවටා, ඇය විවිධ ලිංගික ක‍්‍රියාකාරකම්වලට පොළඹවාගෙන තිබූ බව පැවසෙයි.

පසුව දැරියට ජංගම දුරකථනයක් ද ගෙනැවිත් දී රවටා, 2018 වසරේ දී ඇය බරපතළ ලිංගික අපයෝජනයනට ලක්කර ඇති බව කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පසුව එම පුද්ගලයා, රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරෙකුට ද, දැරිය අපයෝජනයට ලක් කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි පැවසෙයි.

මේ අතරතුරදී නිවසට එමින් යමින් සිටි, යුද හමුදාවේ සේවය කරන දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා ද දැරිය අපයෝජනයට ලක් කිරීමට පටන්ගෙන ඇති බව සඳහන්ය.

මේ පිළිබඳව දැරිය මීට දින කිහිපයකට පෙර මිතුරකුට පවසා තිබූ අතර ඒ පිළිබඳව ඔහු පොලිසිය දැනුවත් කිරීමත් සමග, වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය දැරියගෙන් සහ මවගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ඒ අනුව ලද තොරතුරුවලට අනුව දැරිය මුලින්ම ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන මවගේ අනියම් සැමියා උඩවලව ප‍්‍රදේශය නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මේ අතර සිටි එක් පුද්ගලයකු යුද හමුදා සෙබළකු වන අතර ඔහු දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ පෙම්වතා වන බව ද පොලිසිය කියයි.

ඒ අනුව දිගින් දිගටම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, එහිදී දැරිය අපයෝජනයට ලක්කළ තවත් පුද්ගලයින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අලූත්කඬේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ හා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස අංක 2 පොලිස් අධිකාරි මාලන් පෙරේරා මහතාගේ උපදෙස් මත වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දසනායක, පො.සැ (38723* රංජිත්, පො.කො (83774* සුධීර, (71733* අජිත්, (93838* පෙරේරා, කා.පො.කො (8764* නයනා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇන්ටන් ප‍්‍රනාන්දු

 

advertistmentadvertistment
advertistmentadvertistment