දැරියගේ මල්වරය නිවැරදිව සිදුකරන්න

7842

සෑම කාන්තාවකගේම දෙවන උපත මල්වරය යි. ඒ ඇය උතුම් මාතෘත්වය ලැබීමට හිමිකම් කියන බැවිනි. ගෙට වීම, ලොකු වීම, කොටහළු වීම, වැඩි වියට පත්වීම යන විවිධ වූ අර්ථකතන රාශියකින් හඳුන්වන මල්වර වීම කාන්තා පරපුර ලද සුවිශේෂී වරප‍්‍රසාදයකි. වැඩිවියට පත්වීමේ නිර්දේශිත වයස ලෙස අවුරුදු 10ත් 14ත්අතර කාල පරාසය දැක්විය හැක. නමුත් කලාතුරකින් ඉතා අඩු වයසින් එනම් අවුරුදු 5, 6 වනවිටත් වැඩිවියට පත්වන දැරියන් නැතුවා ම නොවේ. එමෙන්ම අවුරුදු 16,17 වී වැඩිවිය පත්වන්නන් ද ඇත. බොහෝවිට මෙවැනි විකෘති ඇතිවන්නේ එම දැරිය ගන්නා ආහාර පදනම් කරගෙන ය. හෝමෝන අධික ආහාර ගැනීම මෙන්ම ජානමය බලපෑම ද මල්වරය ඉක්මන් වීමට ප‍්‍රධාන හේතූන් වේ. මල්වරය අසාමාන්‍ය ලෙස පහු වන්නේ එම දැරිය ගන්නා ආහාරවල පෝෂණය මදකම හා ජානමය බලපෑම වේ.

දැරියගේ මල්වරය නිවැරදිව සිදුකරන්න

දැරියක මල්වර වීම එදා සමාජයේ මෙන්ම අද සමාජයේ ද මංගල සිරියෙන් සිදුකිරීම සිරිතයි. මල්වරය දැනගත් විගස මව තවත් කාන්තාවක් ද සමග ජ්‍යොතිෂවේදීයා හමුවීමට ගොස් බුලත් අතක් පිරිනමා දැරිය මල්වර වූ බව සැලකරයි. ජ්‍යොතිෂවේදියා හමුවීමට යෑමේ දී පිරිමි අයකු යන්නේ නම් යා හැක්කේ දරුවාගේ පියාට පමණි. බුලත් හුරුල්ල භාරගත් ජ්‍යොතිෂවේදීයා ඵලාපලකීමේ ක‍්‍රමවේ ද දෙකක් භාවිත කරයි. පළමු ක‍්‍රමය වන්නේ දරුවාගේ මව පැමිණ බුලත් හුරුල්ල දුන් වේලාව පදනම් කර ගනිමින් තාත්කාල කේන්දරය සාදා ඵලාපල කීම සිදුකරයි. නොඑසේනම් දරුවාගේ මවගෙන් මල්වරය දුටු වේලාව ආසන්න වශයෙන් අසා ලිතේ සඳු-කුජ දෘෂ්ටිය ඇතිවෙන වේලාව පදනම් කරගෙන තත්කාල කේන්දරය සාදයි. එම කේන්දරය අනුව මල්වර ඵලාපල ප‍්‍රකාශ කර මෙම ක‍්‍රම දෙක අතරින් පළමු ක‍්‍රමයට වඩා දෙවැනි ක‍්‍රමය ඉතා සාර්ථකයි.

 මල්වරයක් සිදු වී ඇතැයි දෙමාපියන් කීව ද ජ්‍යොතිෂ විiාත්මකව මල්වර වීමට අදාළ ග‍්‍රහ පිහිටීම් නැතිවන අවස්ථා ද ඇත. මල්වරයක් සිදුවීමට නම් මල්වර වූ වේලාව පදනම් කරගෙන සාදන තත්කාල කේ්දරයේ සඳු, කුජ, සිකුරු අන්තර් සම්බන්ධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එනම් සඳු-කුජ සප්තම දෘෂ්ටියක් හෝ සඳු-කුජ චතුරස‍්‍ර දෘෂ්ටියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එසේ නොමැති නම් සඳු හෝරාවේ කුජ පංචමයක් පැවැතීම සඳු කුජගේ නැකැත්වන මුවසිරස, සිත දෙනට යන නැකතක වීම හා කුජ රෙහෙන, හත, සුවන යන සඳුගේ නැකතක වීම, සඳු කුජගේ රාශියකින්, කුජ සඳුගේ රාශියකින් සිටීම. නියමාකාරව මල්වරයක් වුණි නම් සාදන තත්කාල කේන්දරයේ ඉහත සඳහන් පිහිටීම් එකක් හෝ තිබිය යුතුයි.

 මල්වරයක් සිදු වී ඇතැයි නිගමනය කර ගත් පසු දරුවා නාවා ගෙට ගන්නා තුරුම කළ යුතු සිරිත් විරිත් අසා දැන ගැනීම මව විසින් සිදුකරයි. මල්වරයක් වූවිට සිදුකරන චාරිත‍්‍ර වාරිත‍්‍ර ගමෙන් ගමට මෙන්ම කුලයෙන් කුලයට ද වෙනස් වේ. ඒවා අතර සියලූ ම පුද්ගලයන් සිදුකරන පොදු චාරිත‍්‍ර වාරිත‍්‍ර ගණනාවක් ද පවතී. එනම් වැඩිවියට පත් දැරිය පිරිමින්ට නොපෙනෙන සේ කාමරයක් තුළ තැබීම, ඇයගේ තනියට වෙනත් කාන්තාවක් කාමරය තුළ රැඳවීම දැරිය අමුනුෂ්‍ය බැල්මෙන් බේරා ගැනීමට ඇය නිදන ඇඳේ කොට්ටය යට ගිරයක්. පිහියක් හෝ යකඩයක් තැබීම ආදිය ප‍්‍රධාන තැනක් ගනී. දැරිය සිටින කාමරයේ මැද පැදුරක් එළා එහි වී අතුරා එම වී මත නැවුම් කළයක් තබා එම කළයට කොළපුව ඉවත් කළ පොල් මලක් දමා පහනක් දල්වා ටික වේලාවක් දැරිය එම පැදුර ළඟ තැබීම සිදුකරයි.

 මල්වර වූ දැරියකගේ කෑම බීම පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මල්වර වූ දැරියකට කෑම සඳහා තෙල්, බැඳුම්, පුළුටු ආදිය දීම ඉතා නරකය. ඇයට දිය යුත්තේ දියකිරි දමා පිසූ ඉතා සරල ආහාර පමණි.

 සිරිත් විරිත්වලට මෙන්ම ඒ ජ්‍යොතිෂවේදියා විසින් ප‍්‍රකාශ කරන මල්වර ඵලාපලවලට ද ප‍්‍රධාන ස්ථානයක් හිමි වේ. දියණියගේ ඇඳුම් මාරු කිරීම, මල්වර උත්සවය සඳහා තෙල් වළං ලිප තැබීම, දියණිය නෑවීම, ගෙට ගැනීම මෙන්ම මල්වර කෑම මේසය ඉඳුල් කිරීම වැනි මල්වර උත්සවයේ මූලික අංග ශුභ නැකත අනුව සිදුකිරීම සිරිතයි. මල්වර ඵලාපල කීමට සාදනු ලබන තත්කාල කේන්දරයේ ග‍්‍රහ පිහිටීම් මගින් ප‍්‍රකාශ කළ හැකි දෑ බොහෝය. ඒවා අතර 4 වැන්න, 4 අධිපති හා සඳු පිළිබඳ විමර්ශනය කිරීමෙන් දරුවාගේ මවට මල්වරයෙන් ඇති බලපෑම සොයා ගත හැක. එමෙන්ම 9 වැන්න, 9 වැන්න අධිපති හා රවි පිළිබඳව විමර්ශනය කිරීමෙන් දරුවාගේ පියාට මල්වරයෙන් ඇති සුබ අශුභ බැලිය හැක. 3 වැන්න විමර්ශනය කිරීමෙන් බාල සහෝදරයන්ට හා 11 වැන්න විමර්ශනය කිරීමෙන් වැඩිමල් සහෝදර සහෝදරියන් සම්බන්ධවත් මල්වරය කෙසේ බලපායි දැයි සොයා බැලිය හැක.

 දරුවාගේ මල්වර කේන්දරයෙන් පවුලේ අයට කෙසේ වේද යන්න තීරණය කරනවා සේම දරුවාගේ අනාගතය කෙසේ වේ දැයි ද බලාගත හැක. ලග්නාධිපති මෙන්ම ලග්නාධිපතිගේ ස්වභාවය අනුව ගතිගුණ ප‍්‍රකාශ කළ හැක. ලග්නාධිපති කුජ නම් මුරණ්ඩු ගති පැවැතුම් පෙන්වන දරුවකුවන අතර ලග්නාධිපති රවි නම් තරමක් ආඩම්බර ගති පෙන්වන දරුවකු වේ. මල්වර කේන්දරයේ ලග්නාධිපති ගුරු නම් සංවර ඥානවන්තවන අතර ලග්නාධිපති සඳු නම් සෞම්‍ය වෙනස්වන ගති ඇති අයෙක් වේ. ලග්නාධිපති බුධනම් ඥානවන්ත ද වනඅතර ශනි නම් කම්මැලි අයෙක් ද වේ.

 මීට අමතරව තත්කාල කේන්දරයේ ලග්නයට අනුව ඵලාපල බොහෝමයක් ප‍්‍රකාශ කළ හැකි අතර මල්වර වූ දිනය, නැකත, තිතිය, යෝග, කර්ණය හා හෝරාවට අනුව ද ඵලාපල පැවැසිය හැක. මෙසේ පැවැසීමේ දී මල්වරය එම දැරියට ශුභ ද අශුභ ද යන්න තීරණය කළ හැක. මල්වරය අශුභ නම් ජ්‍යොතිෂවේදියා විසින් දැරිය ලවා කළ යුතු වත් පිළිවෙත් රාශියක් ලියාදීම සිදුකරයි. ඒ අතර දුගී දුප්පත් පවුලකට ආහාර පාන, වස්ත‍්‍ර ආදිය දන්දීම ප‍්‍රමුඛ වේ. ඊට අමතරව සිල් මෑණි කෙනෙකු අතින් බත් පිඬක් කැවීම ද බොහෝවිට සිදුකරයි. ඇතැම් ප‍්‍රදේශවල දැරියට අලූත් ඇඳුම් වෙනුවට පරණ ඇඳුම් ඇන්දවීම, මල්වර උත්සවයක් නොගැනීම, දැරියට ඡුායාරූප නොගැනීම ආදිය ද සිදුකරයි. මෙසේ කරනුයේ දැරිය මල්වර වූ වේලාව ඉතා අශුභ වූ විටය. මෙවැනි අවස්ථාවල දැරියගේ මව විසින් රැුගෙන ආ බුලත් හුරුල්ල ජ්‍යොතිෂවේදියා භාර නොගනී. දැරියගේ මල්වරය සුභ නම් පමණක් බුලත් හුරුල්ලෙන් භාගයක් ගෙන ඉතිරි භාගය දැරියගේ මවට දීම සිදුකරයි.

 ඵලාපල පැවසීමෙන් පසු දරුවා නෑවීමට නැකතක් සෑදීම සිදුකරයි. එය එම දරුවාගේ ජන්ම නැතට සම්පත්, මෛතී‍්‍ර හෝ පරම මෛතී‍්‍ර වන දිනයක සාදා දේ. එම නැකතත් සමගම ඉහත සඳහන් කළ ඉතිරි නැකත් 4ට ද එනම් ඇඳුම් මාරු කිරීම, තෙල්වලට ළිප තැබීම, ගෙට ගැනීම හා කෑම මේසය ඉඳුල් කිරීමට දැරියට සුබ නැකැත් 4ක් සාදා දේ. ඉන්පසු දරුවා නාවන දිනයේ පළමු වතුර කළය ලෙස නෑවීමට ඖෂධ කළයක් සකසා ගන්නා ලෙස දැරියගේ මවට උපදෙස් දෙයි. ඖෂධ කළය සඳහා ගන්නා ඖෂද වර්ග ද එය සාදා ගන්නා ආකාරය ද ජ්‍යොතිෂවේදියා විසින්ම නියම කරනු ලබයි.

 මෙම ඖෂධ කළය දරුවා නෑවීමට පෙරදින සකසා ගත යුතුයි. ඒ සඳහා රත් හඳුන්, මුරුවා මුල්, වියළි ඉඟුරු, අමුකහ, වද කහ, ගල් සෙවෙල්, කලාඳුර අල, ජමාමාංශ, සපුමල් කැකුළු, වෙනිවැල්ගැට, සුවඳ කොට්ටං, ඊතණ, සමන්පිච්ච මල් යන ද්‍රව්‍ය සමාන ප‍්‍රමාණවලින් ගෙන නැවුම් කළයකට දමා වතුර පුරවා ගින්නෙන් කකාරවා නිවෙන්නට හැර රොඩු මිරිකා ස්නානයට අවශ්‍ය ඖෂධ ජලය සකසා ගත යුතුයි. මෙම ඖෂධ ජලය ස්නානය කිරීමෙන් දරුවාගේ මල්වර දෝෂ බංග වේ යැයි පිළිගැනේ. මෙම ඖෂධ කළය සුබ මොහොතින් දරුවාගේ මව විසින් හෝ නැන්දණිය විසින් නාවනු ලබයි. ඉන්පසු කිරි ගසක හෝ කිරි අත්තක ගසා එම කළය බිඳ දමයි. ඉන්පසු දැරියට අවශ්‍ය පරිදි නා ගැනීමට සැලැස්විය යුතුයි.

 ස්නානය කිරීමෙන් පසු දැරිය සුදු රෙද්දකින් පොරවාගෙන ගොස් දැරිය ලවා කිරි ගසකට කෙටවීම හෝ පොල් ගෙඩියක් බිඳීම සිදුකරයි. කිරි ගසට කෙටීමේ දී කිරි බහුලව වැහැරේ නම් ඇයට විවාහයෙන් පසු දරුවන් බොහෝ ඇතැයි විශ්වාස කරනු ලබයි. කිරි වැහැරුනේ ස්වල්ප වශයෙන් නම් කවදා හෝ දරුවන් අඩු යුවතියක් බව පිළිගැනීමයි. පොල් ගෙඩිය බිඳීමේ දී බෑ දෙකෙන් ගෑනු බෑය ලොකු වුණි නම් විවාහයෙන් පසු ගැහැනුදරුවන් වැඩිපුර ලැබේ යැයි පිළිගැනීමයි. පොල් බෑ දෙකෙන් පිරිමි බෑය ලොකු වුණිනම් විවාහයෙන් පසු පිරිමි දරුවන් වැඩිපුර ලැබේ යැයි පිළිගැනීමයි. මීට අමතරව කිරි ගසකට කෙටීමෙන් හා පොල් ගෙඩියක් බිඳීමෙන් එතෙක් දැරියට තිබූ වස් දොස් ද නැතිවී යනු ඇතැයි පිළිගැනේ. මීට අමතරව එදින දින අධිපතියාට නියමිත පාට වස්ත‍්‍රයක් හැඳ, පොල්තෙල් පහනක් දල්වා, වතුර පිරුණු බේසමකින් මුහුණ බැලීම ද සිදුකරයි. ඉන්පසු කෑම මේසය ඉඳුල් කිරීමට දුන් නැකතින් දරුවා සහ තවත් ඥාති කාන්තාවන් 4,5 දෙනෙක් කෑම මේසයට වාඩි වී දරුවා සමග කැවුම් කිරිබත් අනුභව කරයි. මේ සඳහා තෝරා ගන්නා කාන්තාවන් ධනයෙන්, බලයෙන් පිරිපුන් අය විය යුතුයි. ඔවුන් විවාහ වී තම සැමියා හා දරුවන් සිටින අයවීම අනිවාර්යය වේ.

 දැරියකගේ මල්වරය ඇතැම් දෙමාපියන් ගණන් ගත්ත ද සමහර දෙමාපියන් එතරම් ගණන් ගැනීමකට ලක් නොකරයි. නමුත් එම අවස්ථාව දැරියට මෙන්ම එම දැරියගේ අනාගත ජීවිතයට ඉතා වැදගත් බව සිතිය යුතුයි. ඒනිසා තමන්ගේ ආර්ථිකයට සරිලන පරිදි වත්පිළිවෙත් චාරිත‍්‍ර වාරිත‍්‍ර කර එය සැමරීම කළ යුතුයි. එවිට අපගේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවලට ව්‍යාප්තවන අතර දැරියගේ සිත ද සතුටෙන් පිරෙනු ඇත. එය දෙමාපියන්වන ඔබගේ යුතුකම මෙන්ම වගකීම ද වනු ඇත.

දැරියගේ මල්වරය නිවැරදිව සිදුකරන්න

advertistmentadvertistment
advertistmentadvertistment