දැරියට අතවර කළ අමනයාට පහළොස් වසරක සිරදඬුවම්

118

ලක්‍ෂ පහක වන්දි ගෙවන්නත් නියෝග

වයස අවුරුදු හයක පාසල් සිසුවියකට බලහත්කාරයෙන් අතවර සිදුකළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයකුට වසර පහළොවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා විසින් ඉකුත් 25 දා නියම කළේය.

අගතියට පත් පාසල් ශිෂ්‍යාවට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර තුනකින් දීර්ඝ වන බවද සඳහන් කළේය.

දැරිය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී 2013-05-14 වෙනි දින ඇයව පාසල් නිල ඇඳුම පිටින්ම කැළයට ඇදගෙන ගොස් මෙම හමුදා කෝප්‍රල්වරයා විසින් ඇයට බලහත්කාරයෙන් අතවර කළ බවට එල්ල වූ චෝදනාව වෛද්‍ය වාර්තා හා අනෙක් විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී තිබීම නිසා විත්තිකරුට මෙම දඬුවම ලබා දී ඇත. දෙමව්පියන් විසින් නෙඩුන්කේණී පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමුකළ අතර එහිදී ශිෂ්‍යාව විසින් අදාළ හමුදා කෝප්‍රල්වරයා හඳුනාගෙන තිබේ.

අනතුරුව වවුනියාව දිස්ත්‍රික් අධිකරණයේදී හා මහාධිකරණයේදී දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් පසුව වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment