දැවැන්ත ලෙස පැරදුණත් ශ්‍රී ලංකාව සුපිරි 12ට

752

වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18 වැනිදා) ඔස්ටේ්‍රලියාව සමග සහභාගි වූ තරගයෙන් ලකුණු 108ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේ ය.

කෙසේ වෙතත් ‘ඒ’ කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන තැන හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරග තුනම ජයගත් බංග්ලාදේශය පළමු තැන හිමි කර ගනිමින් ද, එක් තරගයක් පරාජයට පත් වූ ඔස්ටේ්‍රලියාව දෙවැනි තැන හිමිකර ගනිමින් ද ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 12 වටයට හිමිකම් ලබා ගත් අනෙක් කණ්ඩායම් දෙක වේ.

ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ පන්දුවාර 13කදී සියලු දෙනා දැවී ලකුණු 51 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ ලකුණු 11 ක් ලබාගත් නෙත්මි සේනාරත්න පමණි.

ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත් මැගී ක්ලාක් සහ ලුසී හැමිල්ටන් කඩුලු 2 බැගින් ලබාගත්හ. ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 මුල් පන්දුවාර 10 තුළදී ලකුණු 45ක් ඇතුළත දැවීයාම ශ්‍රී ලංකා පරාජයේ මූලාරම්භය විය. දකුණු අප්‍රිකාවේ බෙනෝනි හි විලෝව්මූර් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment