දැහැමියාගමනය

60

ඉක්බිති චූලෞෂධයෝ රැස්වුම් ගෘහයෙහි තුමූ වටා හිඳ සිටිනා වූ ශ්‍රාවක පිරිස හා සමගින් පෙරදින වීදි සැරියෙන් යාවත්කල් වූ වැහැර දැනුම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක යෙදෙනුයේ, “සගයිනි, අප විසින් හුදී ජනයින් වෙත නැගූ පැන පිළිබඳවැ උන් විසින් සපයන ලද්දා වූ පිළිවදන් සංවන්තන කළ කල්හි උන් මෙකී දුර්භික්ෂ දුර්දාන්ත සමයෙහි වුවද මහත් වූ පීඩනයෙකින් හිඳිනා බැව් නොපෙනෙනායැ. උන් එසේ පවසනුයේ එකී පීඩනයෙන් උන් මස්තිෂ්ක නිර්වින්දනව ගොස් ඇති නිසා බැව් මගේ කල්පනාවය. තොප කුමක් සිතනේදැ?’යි ශ්‍රාවකයින් අමතා විමසනාහ. “එසේය පණ්ඩිතයෙනි, තුමූ විසින්මැ කැඳවා ගත් වෑසනයක් නිසාවෙන් පෙර පැරැන්නන් කියූ සේ පෙරැළුනු පිට කදිමයැයි උන්මැ තුමූ චිත්තයන් රවටා ගෙන ඇති සෙයක් පෙනෙනා යැ’යි එකකු තුමූ අදහස කියාපානාය. එවදනට තවකෙකු, “එසේත් විය හැක්කේයැ. ස්වාමීනී, මා හැඟුම නම් උන් සඟවා ගත් වෛරයෙන් යුතුවැ පවත්නා වූ තත්ත්වය සෝපහාසයෙන් දක්නා සෙයක් මට නම් දැනෙනායැ’යි කියන්නේය. “දරුවෙනි, තොප කියනා දෑ ද්වයම සත්තක් බැව් කිය හැක්කේයැ. කෙසේ වතුදු අප මෙතුවක් කල් රැස්වුම් ගෘහයට කූඩුව රටතොට අරබුද විසැඳුම් පිණිසැ ගත් බොහෝ තීරණ සාවද්‍ය බැව් දැන් අපටම හැඟෙනා ය. මෙකී වීදි සැරුම් කාරිය ගැන වූ අදහස ඉතා කදිමය. මෙකී කාරිය අප විසින් කළැයුතුව තිබුණේ බොහෝ පෙර යැ’යි කියා, “වන්නාටයැ. සගයිනි, වීදිගතවුම පිණිස පිටත් වමු’ යි හුන් තැනින් නැගිට පෙරදා මෙන් ඊට ඇවැසි කළමනා පොදි බැඳ ඉදිරි මහදොරටුවෙන් මඟට බැස අද කවර දිශාවට යම්දෝයි තීරණ කරනු පිණිස දොරටුව අභිමුඛයෙහි මඳක් තාවරව හිඳින්නේය.

එකල්හි එක් දොරටුපාලයකු යටහත්වැ, “ස්වාමීනී, බැහැර යන්නට ඇවැසි නොවන්නේය. බලනු මැනව, තෙල මඟ දෙපස තන්හි තන්හි රැස්ව හිඳිනා වූ ජනයින් වහරනා වූ දෙබසින් බෝ කාරණා ශ්‍රවණ කළහැක්කේයැ’ යි පවසන්නේය. චූලෞෂධයෝද උහු කියනා බස් අසා මහමඟ දෙස බලා එබැව් දැකැ, “තොප කියනා දෑ සැබෑ යැ. උන් එසේ රැස්ව සිටිනුයේ කවර කරුණක් පිණිසදැයි දැනගැනුම ඵලදායී විය හැක්කේය. සගයිනි වහා ගොස් උන් විමසිය යුත්තේයැ’යි කියා පිරිස සමගින් එකී රැස්ව හිඳිනා ජනයා සමීපයට ගොස්, “සකියනි, තොප මෙසේ මඟ දෙපස නොඉවසිල්ලෙන් රැස් කමින් හිඳිනුයේ තෙල ඉහළම රූ නාලිකායෙන් තොපට දෙව් සැප නොමසුරුව දානය පිණිස පවත්වනා වූ නිසැක ධාතු පෙරහැරක් වැඳපුදා කුසල් රැස් කෙරුම් පිණිසදැ?’යි අසනායැ. එබස් අසා මහත් කුහුලෙන් චූලෞෂධයන් දෙස බැලූ මගියා, “නැත, එවැන්නක් නොවන්නේය. ඊට තව කල් ඇත්තේය. තොපගේ සාකල්‍ය ඥානය ඉතාම මඳ බැව් හැඟේ ය. වෙසඟ හෝ පොසොන පොහොයන් තව බෝ දුරයැ. අප මෙහි රැස්ව හිඳිනුයේ තෙල පියමාලා නම් රූපිකාව අනුස්ථාන පිරික්සාව පිණිස රැගෙන යනායුරු නැරඹුම් පිණිසයැ’ යි කියන්නේය. චූලෞෂධයෝද මඳක් ලජ්ජායෙන් යුත්තේ මගියා තුමූ කවුරුන්දැයි හඳුනා නොගත්තේයැයි සැනසුම්ව මඳක් පසෙකට වූ කල්හි ශ්‍රාවක පිරිසෙහි වඩාත් ඥානය ඇත්තා යැයි හඟිනා වූ සේනකයා නම් වූ පුඟුලා වහා ඉදිරිපත්වැ, “යහළුව, එකී වංචාකාරී රූපිකාවට දඬුවමෙන් ගැලවුමක් නොමැති බැව් හැඟෙනායැ’යි කියන්නේය. මගියා සේනකයා දෙස පෙරටත් වඩා කෝචොක වූ බැල්මක් හෙලනුයේ, “තොප සැම මඤ්ඤං වැසියන් නොව පිටදේසක්කරුවන් යැයි හැඟෙනායැ. තොප සක්විත්තා නම් චෞරයකු ගැන අසා තිබේදැ?

උහු කහවනු කෙළ ප්‍රකෙළ ගණනින් වංචා කොට දැන් සුවසේ දිසාපාමොක් ඇදුරෙකුවැ මඤ්ඤං වැසියනට රැජනගේ බස ප්‍රගුණ කරවනායැ’යි පවසා මාර්ගය දෙස බලනායැ. සේනකයාද ඉන් පසුනොබස්නේ, “සකිය, එසේ වුවද මෙකී රූපිකාව ප්‍රභූන් දෙස්පළුවන් කලාවේදීන් චීවරධාරීන් ආදීන්ගෙන් කහවනු කෙළ ගණනින් වංචා කොට ඇති හෙයින් ගැලවුමක් නොමැත්තේයැ’යි කිවූ කල්හි මගියා, “බම්බුවයැ. උන් කිසිවකු, මෑ නොහඳුනන්නේයැ. මෑ මත්තෙහි දොයිතුවකුදු ආයෝජන නොකෙළේයැයි ආදී ලෙසින් පෙරහැරින් ගොස් රාජකීය කටුපුල් නිලදරුවනට පැමිණිලි කළ බැව් තොප නොදන්නේදැ? වංචායට උන් හසු වූ බැව් හෙළිදරව් වූ කල්හි ඒ සා ධනයක් කෙසේ ඉපයීදැයි තහවුරු කෙරුමට සිදුවන බැව් තොප නොදන්නේදැ?’යි අසනුයේ සේනකයාද, “එසේය සකිය, තොප කියනා දෑ සැබෑ ය. මේ වනාහී මඤ්ඤංලන්තය ය. පැනදෝරා තල්පත්හි වූ දෑ සෙවුම් පිණිසැ පත් කළ කොමිසමුන්ට කිමෙක් වූයේදැයි ඇසුමට වන්නේ නදේසනයාගෙන්මයැ’යි පවසනේ යළි චූලෞෂධයන් හා පිරිස වෙත ළං වනායැ. සේනකයා සමගින් වූ මගියාගේ දෙබස අසා හුන් රැස්ව සිටි ජනයාගෙන් එකෙකු, “උන් මඤ්ඤංලන්ත තතු කිසිත් නොදන්නා සේයැ. පියමාලිය නිදොස්ව දිසාපාමොක් සැමරුම් දින සිසුවියන් හා නර්තන පෑ දිසාපාමොක් ලියන් දඟ ගෙට නොයැවුවහොත් මවිත නොවිය යුත්තේයැ’යි කියන්නේය.

එකල්හි හතිලමින් එතැනට පැමිණි, මග දෙපස රැස්ව හිඳිනා වූ දනන් අදහස් විමසුම් පිණිසැ ගියා වූ ශ්‍රාවක පිරිසේ එකකු, “ස්වාමීනී, අල්පේච්ඡව නොහොත් අල්ලට සිඟාවත් දිවි රැකගනු වස් එක් මසකට කහවනු එක් හමාර ලකෙක් වැය වන කල්හි එක් ලකෙක් කහවනු උපයන්නන් පිණිසදැ නව බදු පනවා ඇතැයි හුදී ජනයින් දන්ත මුෂ්ටි සපමින් දොස් පරොස් නගනාහ. හිරු නොබස්නා අදිරජුන් කල්හිත් මෙවන් බදු නොතිබියේයැයි උන් කියනායැ’යි පවසනායැ. ශ්‍රාවක පිරිස උහුට සවන් දෙනු පිණිස හැරුණු සැණින් මාර්ගය දෙසින් හඬක් ඇසී පෙරළා එදෙස බැලූ කල්හි මැරතන ධාවනයකින් මෙන් මාර්ගය ඔස්සේ, කාල වර්ණ උඩු සැට්ටය දෙබෑව සුළඟේ විසුරුවමින් දිව එන්නා වූ කාල වර්ණ සද්දන්ත පුරුෂයෙකු දක්නා ලද්දේය. චූලෞෂධයන්ගේ අණින් මඳකට වහා උහු අල්වා නවතා ගත් සේනකයා උහු හැඳින, “අහා! රිවිකරුණයායැ. තොප මහා හදිසියකින් දිවයන්නේ කොහිදැ?’යි ඇසු කල්හි රිවිකරුණයා හතිලමින්,“මා ඉටුදෙවි ඇරජන මහඉන්දරයා චෝදනා අඩෙකින් නිදොස්යැ. වැදගත් කරුණෙක් උදෙසා මා විකුම්සිහ මහරජුන් හමුවනු පිණිසැ දිවෙම්යැ’යි සේනකයාගේ ග්‍රහණයෙන් මිදී දිව ගියාහුයැ. සේනකයා අන්දමන්දව දෙපස බලනුයේ කිසියම් වූ විරෝධ පාඨ බෙනෙමින් ජනයා සුඟක් පිරිවරා මාර්ගයෙහි ඉදිරියට එන්නා වූ වයොවෘද්ධ වූ පුරුෂයෙකු දැකැ සකියනි තෙල අල්පයක් වූ ජන කැලක් පිරිවරා පැමිණෙනුයේ පෙර රජතුමා වූ මෙත්පලයන් නොවේදැ උහු කොහි යෙත්දැයි අසනායැ. සේනකයා අනුව එදෙස බලනා අනෙකුන් එසේය සකිය ගොවීන්ගේ පැන වහා විසඳව් යැයි උහු උද්ගොස් කරනායැ’යි පැවසූ කල්හි චූලෞෂධයෝ ඉදින් උහු පස් වසක් කල් මඤ්ඤංලන්තයෙහි රජ කළේ නොවේදැ එකල්හි එකී පැන නොවිසඳුයේ කවර හෙයින්දැ යි විමතියෙන් අසනායැ. ස්වාමීනී උහු පසෙකින් එන්නා වූ පුඟුලා දුටුවෙහිදැ යි එකකු ඇසූයෙන් පණ්ඩිතයෝ යළි ජනරැල දෙස විමසුම්ව බලා එම්බල ඒ වනාහී උහු පුත්‍ර දැහැමියා නොවේදැ යි ඇසූ කල්හි එසේය ස්වාමීනී එකී දැහැමියා කැටුව පැමිණෙනුයේ රජසුන හැරදා ගොස් නිවහල් අල්පේච්ඡ දිවියක් ගෙවනා බැව් ශපථ කළ මෙත්පල් රජුයැ. ජනයාගේ පැන විසඳුම් පුත් කුමරුවනට පැවරුම් පිණිසැ යන හැඩයැ යි පවසනේය.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment