දිගටම රට වහන්න බැහැ.. කොවිඩ් බිහිසුණුකමත් ජනතාව තේරුම්ගත යුතුයි… අස්ගිරි මහනාහිමියෝ කියති

176

කොවිඞ් වෛරස් ව්‍යාප්තියේ බරපතළ බව තේරුම් ගනිමින් ජනතාව වගකීමෙන් කටයුතු කරනවා විනා අඛණ්ඩව රට වසා තැබීම දිගින් දිගටම කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.

කොවිඞ්වලින් රට මුදා ගැනීමට රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැපවීමකින් ක‍්‍රියා කරන බවත් එම මහන්සියේ ප‍්‍රතිඵල ලැබීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව කටයුතු කිරීම අතිශයින් වැදගත් බවත් උන්වහන්සේ කීහ.

ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යමින් වෛරසය පැතිරීමට අනුබල දෙන ආකාරයේ ක‍්‍රියාවල නරත වන බවත් නිරෝධායන ඇඳිරිනීති සමයේදී ද පෙනෙන්නට තිබෙන බව ද, එසේ වුවහොත් රට කොරෝනා විපතින් ගලවා ගැනීම අසීරුවනු ඇති බව ද උන්වහන්සේ කීහ.

දිගින් දිගටම රට වසා තැබීම මගින් රටේ ආර්ථික ක‍්‍රියාවලියට අයහපත් බලපෑමක් සිදුවන බවත් මේ නිසා ඉක්මනින් රට විවෘත කිරීමට නම් ජනතාව වෙතින්ද රජයට හා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය ලැබිය යුතු බවත් මහනාහිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙම බැරෑරුම් අවස්ථාවේ සෑම දෙනාම ජාති, ආගම් භේද හා දේශපාලන වාසි ගැන නොතකා එකට එක්ව ක‍්‍රියා කළ යුතුව තිබෙන බවත් එසේ වුවහොත් පහසුවෙන්ම අපට කොවිඞ් පරාජය කර යළි ජයග‍්‍රාහී ලෙස නැගී සිටීම අපහසු නොවන බවත් අස්ගිරි මහනාහිමියෝ අවධාරණය කළහ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment