දිගන අඹකොටේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දාන ශාලාව සහ ධර්ම ශාලාව විවෘත කෙරේ

34

දිගන අඹකොටේ ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ දාන ශාලාව සහිත නව ධර්ම ශාලාව වෙසක් පුන් පොහෝ දින අස්ගිරියේ කුසල ධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වියට්නාම තානාපතිනි ඒගන් කූ මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

සම්බුදු තෙමඟුල සැමරීමත් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වියට්නාමය ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට දස වසරක් පිරීමත් නිමිති කොටගෙන මෙම ශාසනික සේවාව සිදු කළ බව අස්ගිරියේ කුසල ධම්ම නාහිමියෝ එම අවස්ථාවේදී පැවසූහ.

ශ්‍රී ලංකාව වර්ණවත් රටක් ලෙස අර්ථ ගැන්වෙන්නේ සිංහල – දමිළ පමණක් නොව මුස්ලිම් මියන්මාරය, වියට්නාම, නේපාල ආදී රටවල ජනතාව වෙසෙමින් විවිධ සංස්කෘතීන්ගේ එකතුවක් ලෙස පැවත යන නිසා බවද උන්වහන්සේ පැවසූහ.

දිගන අඹකොටේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දාන ශාලාව සහ ධර්ම ශාලාව විවෘත කෙරේ

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වියට්නාම විහාරය ඉදි කරමින් භාවනාව මගින් යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාව හුරු කිරීමේ අර්ථාන්විත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තමන් වහන්සේට ඉඩකඩ ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකන බවත් සංස්කෘතික සබැඳියාව මත ලංකාවාසී ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමට දායකවීමට හැකිවීම කුසල් රැස්කර ගැනීමේ මාර්ගයක් ලෙස සලකන බවත් වියට්නාමයේ ධම්මාලෝක හිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

දිගන අඹකොටේ ගම්වාසීන් එක්ව වියට්නාම විහාරයේ සංවර්ධන කටයුතු ගෙන යෑමට විශාල දායකත්වයක් සපයන බවත් මෙම විහාරය සියලුම ජනතාවට පොදු වූ ස්ථානයක් ලෙස සලකා එහි පැමිණ භාවනාව හුරුවෙමින් තමන්ගේ ජීවිතය වඩා වර්ධනය කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙසත් පොදු මහත් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරන බවත් විදේශීය රටවල වෙසෙන ඕනෑම අයෙකුට මෙහි පැමිණ බුදු දහමේ දර්ශනය භාවනාවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වන්දනා කිරීමටත් භාවනාව පුහුණුවීමටත් පැමිණෙන සියලුම බැතිමතුන්ට සංඝයා වහන්සේලාට එම කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම පිණිස නව දාන ශාලාව සහිත ධර්මශාලාව විවෘත කළ බවත් පරිසරය පිරිසිදු වන තැන සිතද නිරන්තරයෙන් පිරිසිදු වන බවත් ඒ සඳහා තමන් පසුබිම සකසන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙහිදී රැස්ව සිටි ජනතාව අමතා කතා කළ වියට්නාම තානාපතිනි ඒගන්කු මහත්මිය ප්‍රකාශ කොට සිටියේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට වියට්නාම විහාරයෙන් විශාල දායකත්වයක් සැපයෙන බවය. තානාපතිනියක් ලෙස තමන් සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මුල් වන බවද ඒ සඳහා විහාරස්ථානයේ මුල්වී ජනතාව සමග සමීපව කටයුතු කිරීම තමන්ගේ සේවාවට මහඟු පිටුවහලක් වන බවද තානාපතිනිය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාව සඳහා දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා පනස් නමකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment