දිගන කෝටිපති ව්‍යාපාරිකයා දිවිනසාගෙන – මරණය තවම අභිරහසක්

1065

සිද්ධිය වන විට සේවකයන් තිදෙනකුත් ඉඳලා
පොලිසිය සීසීටීවීත් බලයි

මහනුවර දිගන ප්‍රදේශයේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු තෙල්දෙණිය නගර මධ්‍යයේ පිහිටි සිය කාර්යාල කාමරය තුළදීම සිය පුද්ගලික රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඊයේ (16 වැනිදා) දහවල් අභිරහසක් ඉතිරි කර සියදිවි නසාගෙන තිබේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ දොන් රජීව හෙවත් මංගල ගුණවර්ධන නමැති පනස් හතර හැවිරිදි තිදරු පියෙකි.

මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා තෙල්දෙණිය නගර මධ්‍යයේ පිහිටි සිය තට්ටු තුනේ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පුටුව මත හිසට වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාගෙන තිබේ.

සියදිවි නසාගැනීමට හේතුව හෙළි වී නැතැයි විමර්ශන සිදු කරන තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර සේනාධීර මහතා‘දිවයිනට පැවසීය.

තෙල්දෙණිය හා තවත් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන ගණනාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු විවාහක තිදරු පියෙකි. දරුවන්ගෙන් දෙදෙනෙක් දියණිවරුය. අනෙක් දරුවා පිරිමි දරුවෙකි.

ඊයේ (16 වැනිදා) පෙරවරු 11.00ට පමණ ඔහු සතුව තිබූ නිත්‍යානුකූල රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ කාමරය තුළ සේවකයන් තිදෙනකු ද සිට ඇත. බරපතළ ලෙස තුවාල ලැබූ කෝටිපති ව්‍යාපාරිකයා මහනුවර රෝහලට ගෙන යනවිට මියගොස් සිට ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.

පල්ලෙකැලේ නගර මධ්‍යයේ පිහිටි මහල් තුනකින් යුත් ‘හයිලන්ඩ් ඒජන්සි’ නමැති ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයේ දී මෙලෙස වෙඩි තබාගෙන ඇත.

මොහු ‘ගුණවර්ධන එන්ටර්ප්‍රයිසස්’ නමින් මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් ද පවත්වාගෙන යන බවත් ඊට අමතරව මුදල් පොලියට දීම, මංගල රථ සේවා ඇතුළු විවිධාකාර ව්‍යාපාර රැසක් සිදුකරන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මොහු පල්ලෙකැලේ, කෙංගල්ල පන්සල පාර අංක 7/02 දරන නිවසේ පදිංචිව සිටිමින් මෙම ව්‍යාපාර තෙල්දෙණිය නගරය කේන්ද්‍ර කරගෙන ගොස් ඇත.

මෙම සියදිවි නසාගැනීමට හේතුව පිළිබඳ කිසිම තොරතුරක් මෙතෙක් කළ පොලිස් විමර්ශනවලදී හෙළිවී නැත.

කාර්යාල පරිශ්‍රයේ පිහිටි සීසීටීවී දර්ශන ද නරඹා ඉදිරි පරීක්‍ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.

මෙම සියදිවි නසාගැනීමේ සිද්ධිය පිළිබඳව කාර්යාල සේවකයන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මූල්‍ය අර්බුදයක්, පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාරික ගැටලුක් මෙම සියදිවි නසාගැනීමට හේතුවී තිබේ දැයි යන්න ගැන විමර්ශන කරන පොලිසියට සැක පහළ වී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පලිහවඩන, සහකාර පොලිස් අධිකාරි ෂ කීර්ති රණබිම යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර සේනාධීර, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රිවිරත්න, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින් යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ශිරාන් රණසිංහ, හේමන්ත රන්දුණු, සමන්ති වීරසේකර, සිරිල් විමලසුරේන්‍ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment