දිනකට බිලියන හතළිහක මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට ඡන්දයට සල්ලි නෑ කියන කතාව පිළිගන්න බෑ

121

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල

දවසකට බිලියන තිහක හතළිහක මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට බිලියන දහයක් හොයාගන්න නෑ, ඡන්දයකට සල්ලි නෑ කියන එක අතිශයින්ම අතාර්කික තර්කයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේද කියා සිටියේය.

“පුංචි ඡන්දය දෙසැම්බර් අවසාන සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසම විසින් දෙසැම්බර් 8 දා ප්‍රකාශයට පත්කළා. දැන් ඒ සතිය අවසන් වීමට ඇත්තේ දින තුනයි. නමුත් දේශපාලකයන් කියන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ ජනවාරි 4 කියලා. එහෙම වෙන්නේ කොහොමද කියලා ජනතාව අපෙන් අහනවා.

මාර්තු 20 වන විට පළාත්පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඊට පෙර පළාත් පාලන ආයතන යළි පිහිටුවීමට නම් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි 9 දා දක්වා කල් තිබෙනවා. නීතිය අනුව මැතිවරණය ප්‍රකාශයට පත්කරන දිනයෙන් 14 වැනි දින සිට 17 දින දක්වා නාමයෝජනා භාර ගත යුතුයි. අපි මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනය ජනවාරි 4 කියලා හිතුවොත් ජනවාරි 18 දා සිට 21 දක්වා නාමයෝජනා භාරගත යුතුයි. නීතිය අනුව නාමයෝජනා අවසන් කර සති පහකට නොඅඩු සති හතකට නොවැඩි කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව පෙබරවාරි 25 සහ මාර්තු 11 දින අතර මැතිවරණය පැවැත්විය යුතුයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 9 දක්වා කල් ගියොත් මැතිවරණයය මාර්තු 16 වන විට පවත්වා අවසන් කළ යුතුයි.

සමහරුන් කියනවා නාමයෝජනා අරගෙන කල් දැමීම තමයි ආණ්ඩුවේ සූදානම කියලා. පසුගිය වතාවේ නාමයෝජනා අරගෙන කල් දැමීම සිදු කළේ ආණ්ඩුව නොවෙයි මැතිවරණ කොමිසම. කොවිඩ් වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්වීමට වාතාවරණයක් නැහැ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා. දැන් මේ මැතිවරණය පැවැත්වීමේ පසුබිමක් නැතැයි කියන්නේ ආණ්ඩුව මිසක් මැතිවරණ කොමිසම නොවෙයි. මැතිවරණ කොමිසම උසාවියට කරුණු දක්වලා තියෙනවා මැතිවරණය පැවැත්වීමට නීතිය අනුව කටයුතු කරනවා කියලා. මෙසේ නීතියට අනුව කටයුතු කරන්න නම් ජනවාරි 9 වන විට මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුයි. ඒ නිසා උසාවිය මේ නඩුව යළි කැඳවනවා ජනවාරි මස 18 වැනිදා. ජනවාරි 18 දා වනවිට උසාවියට දුන් පොරොන්දු ප්‍රකාරව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නොතිබුණොත් උසාවි නියෝගයක් ලැබෙනවා වහාම මැතිවරණය තියන්න කියලා. මැතිවරණය කල් දැමීමේ මානසිකත්වයක මැතිවරණ කොමිසම නැහැ. මැතිවරණ කොමිසම ඡන්දය තබන්න යනවිට එය කල්දැමීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ.

මැතිවරණයට මුදල් නැහැ කියනවා නම් බිලියන 3,300ක අයවැයක් අනුමත කරගත්ත ආණ්ඩුවකට, දවසකට බිලියන තිහක් හතළිහක් මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට බිලියන දහයක් හොයාගන්න නැහැ, ඡන්දයකට සල්ලි නැහැ කියන එක අතිශයින්ම අතාර්තික තර්කයක්.

මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන්නට යනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නවා නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න. ඒක නොකොළොත් ඒක කරන මෙන් අධිකරණය නියෝග කරනවා. මේ නිසා මේ නාමයෝජනා අරගෙන ඡන්දය කල්දැමීම කියලා ආණ්ඩුව කියන කතාවට කිසිම පදනමක් නෑ.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment