දිනන පුරුද්ද ඇතිකර ගැනීම

206

කුෂාන් සුබසිංහ
 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ එංගලන්තයේය. ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සිටින්නේ ශී‍්‍ර ලංකාවේය. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි එම කණ්ඩායම තවමත් නිරෝධායනයේ පසුවේ. තවත් නොබෝ දිනකින් ඔවුහු සිය පුහුණුවීම් අරඹති. ඒ ශී‍්‍ර ලංකාව සමග එක් දින සහ පන්දුවාර 20-20 තරග තුන බැගින් වූ තරගාවලි දෙකක් සඳහාය.
 
 ශී‍්‍ර ලංකාව එංගලන්තයට ගියේ ද එවැනි තරගාවලි දෙකකටය. පන්දුවාර 20-20 තරග තුනකි. එක් දින තරග තුනකි. පන්දු වාර 20-20 තරග තුන ඊයේ නිමා වීමට නියමිතව තිබිණි. තරග තුනක් වුවත් තරග දෙකකදීම තරගාවලියේ ජය පරාජය තීරණය වුණි. ජයග‍්‍රාහකයා එංගලන්තයයි. පරාජිතයා ශී‍්‍ර ලංකාවයි.
 
 සංචාරයේ දෙවැනි අදියර අනිද්දා (29 වැනිදා) ඇරැඹේ. ඒ එක් දින ජාත්‍යන්තර තරග තුනකින් යුතු වූ තරගාවලියයි. පළමු තරගය චෙස්ටර්ල් ස්ටී‍්‍රට්හිදී සහ දෙවැනි තරගය ඕවල් හිදී පැවැත්වේ. බි‍්‍රස්ටල් හි පැවැත්වෙන තෙවැනි තරගයෙන් තරගාවලියත් සංචාරයත් නිමා වේ. එංගලන්ත සංචාරයේදී ශී‍්‍ර ලංකාව මේ දිනවල පසුකරමින් සිටින්නේ කටුක ගමනකි. පන්දුවාර 20-20 තරග දෙකක් පැය 30 කටත් අඩු කාලයක් තුළ පරාජය වීමේ අමිහිරි අත්දැකීම ඔවුහු විඳිති.
 
 එහෙත් ඒ අමිහිරි බව තවත් වැඩි වන්නේ ශී‍්‍ර ලංකාව එක දිගට පරාද වූ පස්වැනි පන්දුවාර 20-20 තරගාවලිය එය වීම නිසාය. කලක් ශී‍්‍ර ලංකාව ලෝකයේ පන්දුවාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 පසු වූවේය. පන්දුවාර 20-20 ලෝක ශූරතාවය ජයග‍්‍රහණය කළේය. පන්දුවාර 20-20 ලෝක කි‍්‍රකට් අනුශූරතාවය හිමිකර ගත්තේය. ශී‍්‍ර ලංකාව එකල ජයග‍්‍රහණ ලැබීම පුරුද්දක් කරගෙන තිබිණි. කොටින්ම දිනන පුරුද්දක් ශී‍්‍ර ලංකාව සතු විය. දැන් එහි අනෙක් පැත්තය. ශී‍්‍ර ලංකාවට දැන් තිබෙන්නේ පරදින පුරුද්දකි. දැන් මේ ගතකරන්නේ ඒ පැත්ත පෙරළීමට දරන ප‍්‍රයත්නයකි. ඒ ප‍්‍රයත්නය තවමත් සාර්ථක වූ ස්වභාවයක් නම් නොපෙන්වයි.
 
 බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් ශී‍්‍ර ලංකාව ජය ලැබීය. එහෙත් අනතුරුව බංග්ලාදේශයට ගොස් එහිදී එක් දින තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්විය. එම තරගාවලියට මෙන්ම එංගලන්ත තරගාවලියට ද ශී‍්‍ර ලංකාව සහභාගි වූයේ නව නායකත්වයක් ඇතිවය. හදිසියේම මෙන් කුසල් ජනිත්ට නායකත්වය පැවරුවේය. හිටපු නායකයන් දෙදෙනකු වූ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවතට දැමුවේය. නායකත්වය දරමින් සිටි දිමුත් කරුණාරත්නට ද කණ්ඩායමේ තැනක් අහිමි විය. නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල්ව ද එම තරගාවලියන්හිදී ඉවත් කළ නමුත් නුවන් ප‍්‍රදීප් එංගලන්ත සංචාරයට සහභාගි කරවා ගත්තේ ඔහුගේ අතීත එංගලන්ත දක්‍ෂතා හොඳ නිසාය.
 
 දිනන පුරුද්ද අමතකව සිටින ශී‍්‍ර ලංකාව පරදින පුරුද්ද අමතක කිරීමට නවක කණ්ඩායමක් යොදා ගෙන ඇත. එහෙත් කි‍්‍රකට් කී‍්‍රඩාවට අත්දැකීම් ද අවැසිය. ඒ අත්දැකීම් මතින් තරග ජයග‍්‍රහණය කළ අවස්ථා ද ශී‍්‍ර ලංකා ඉතිහාසයේ එමටය. ඉතිහාසය සහමුලින් අමතකර මුලින් කී දිනන ගමන යෑමට හැකි දැයි ශී‍්‍ර ලංකාව වර්තමානයේදී සිහියට ගතයුතු කාරණාවකි.
 
 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේදී ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට දකුණු අපි‍්‍රකාවේදී සහභාගි විය. පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45 කින් පරාජය විය. දෙවැනි තරගය කඩුලූ 10 කින් පරාජය විය. ඒ පරාජය නිමා වී සති දෙකක් යන්නට මත්තෙන් ශී‍්‍ර ලංකාව එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ 7 කින් පරාජය විය. දෙවැනි ටෙස්ට් තරගය කඩුලූ 6 කින් පරාජය විය. එම තරගාවලිය පැවැත්වුණේ ගාල්ලේදීය. සත්කාරකත්වයේ වාසිය ශී‍්‍ර ලංකාව සතුව තිබියදීත් 2-0 ක පරාජයක් ශී‍්‍ර ලංකාවට හිමි විය.
 
 ඉන් දෙමසක් ගත වෙන්නට පෙර ශී‍්‍ර ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගියේය. කොදෙව්වන්ට එරෙහිව පැවැති පළමු පන්දුවාර 20-20 තරගයත් තෙවැනි පන්දුවාර 20-20 තරගයත් ශී‍්‍ර ලංකාවට පරාජයට පත් වන්නට සිදුවිය. තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විත පරාජයකට හෝ ගෙන ඒමට හැකි වුණේ දෙවැනි පන්දුවාර 20-20 තරගයෙන් ශී‍්‍ර ලංකාව ජය ගැනීම නිසාය.
 
 එහෙත් එක් දින ජාත්‍යන්තර තරග තුනේදී නම් තවත් අන්ත පරාජයක් ශී‍්‍ර ලංකාවට උරුම විය. ඒ පළමු තරගයෙන් කඩුලූ 8 කින් ද, දෙවැනි සහ තෙවැනි තරගයෙන් කඩුලූ 5 බැගින් පරාජ ලබමිනි. තරගාවලිය 3-0 ක් ලෙස ශී‍්‍ර ලංකාව පරාජය විය. අනතුරුව පැවැති ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරග දෙකකින් සමන්විත වූ එම තරගාවලියේ තරග දෙකටම විසඳුමක් ලැබුණේ නැත.
 
 බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගාවලිය ශී‍්‍ර ලංකාව ජය ගත්තේය. පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති එම තරග දෙකෙන් පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් දෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකාව ලකුණු 209 කින් ජය ගත්තේය. බංග්ලාදේශයට ගොස් එක් දින තරගාවලිය පරාජය වූ ශී‍්‍ර ලංකාව එංගලන්තයට ගොස් පන්දුවාර 20-20 තරගාවලිය ද මේ වනවිට පරාජයට පත්වී ඇත.
 
 පසුගිය දෙසැම්බර් මස සිට මේ දක්වා ශී‍්‍ර ලංකාව ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20-20 තරග 19කට සහභාගි වී ඇත. ඒ තරග 19 න් ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. පරදින පුරුද්දක් මිස දිනන පුරුද්දක් එතැන තිබේද? ඔවුහු ටෙස්ට් තරග 8කට එම කාලයේදී කී‍්‍රඩා කළහ. බංග්ලාදේශයට එරෙහිව පමණක් ජය ගෙන ඇත. එක් දින තරග 6කට කී‍්‍රඩා කළහ. බංග්ලාදේශයට එරෙහිව පමණක් ජය ගත්තේය. පන්දුවාර 20-20 තරග 5කට කී‍්‍රඩා කළහ. කොදෙව්වන්ට එරෙහිව පමණක් ජය ගත්තේය.
 
 ශී‍්‍ර ලංකාව පන්දුවාර 20-20 තරගාවලියන්හිදී මේ පරාජය වීමේ ප‍්‍රවණතාවය, ප‍්‍රගුණකරගෙන එන්නේ 2019 ඔක්තෝබර් මාසයේ සිටය. ඒ පරාජය ඇරැඹෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලබන දැවැන්ත ලකුණු 134 ක පරාජයකිනි. ඔස්ටේ‍්‍රලියාව කඩුලූ 2 ක් දැවී රැස්කළ ලකුණු 232ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකාව ලකුණු 99ක් පමණක් රැස් කරයි. එසේ ඇරැඹි ගමන 3-0 ක් ලෙසත් අනතුරුව ඉන්දියාවට එරෙහිව 2-0 ක් ලෙසත් පරාජය ලබයි. ශී‍්‍ර ලංකාව කොදෙව් දේශයට යෑමට පෙර කොදෙව්වෝ ලංකාවට ම ඇවිත් පන්දුවාර 20-20 තරග දෙකකින් යුත් තරගාවලියක් ද 2-0 ක් ලෙස ජයග‍්‍රහණය කර ගියහ.
 
 අවසන් වරට ශී‍්‍ර ලංකාව පන්දුවාර 20-20 තරගාවලියක් ජයග‍්‍රහණය කළේ පකිස්තානයට එරෙහිවය. පකිස්තානයට ගොස් එරටට එරෙහිව 2019 වසරේදී ශී‍්‍ර ලංකාව 3-0 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය.
 
 එසේම ශී‍්‍ර ලංකාව දැන් තරග කරන්නේ අංක 01 පන්දුවාර 20-20 කණ්ඩායමට එරෙහිව එරට කී‍්‍රඩාංගණවල ඔවුන්ට අවැසි පරිදි සකසන ලද තණතීරුවල බව ද අප අමතක නොකළ යුතුය. ඔවුන් හමුවේ තරග කරන ශී‍්‍ර ලංකාව දැන් ඉන්නේ පන්දුවාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි 9 වැනි ස්ථානයේය. එක දිගට ලද දරුණු පරාජ වැල ඊට හේතුවයි. ඒ නිසා අංක 1 ට සිටින රටට ගොස් අංක 9 කණ්ඩායම ඔවුන්ට එරෙහිව 3-0 ක තරගාවලි ජයග‍්‍රහණයක් ලැබීම අතිශය අසීරු කාර්යයකි. එවැන්නක් සියයට සියයක් බලාපොරොත්තු වීම ද යුතු නොවේ. එහෙත් ශ‍්‍රී ලංකාව දිනන පුරුද්ද ඇතිකර ගැනීමට ජයග‍්‍රහණය ආසන්නයට හෝ යා යුතුය. විශේෂයෙන් පන්දුවාර 20කදී ලකුණු 111 ක් තරම් සුළු ලකුණු ගණනක් ලබාගෙන නම් තව දුරටත් ප‍්‍රගුණ කළ හැකි වන්නේ පරදින පුරුද්දම පමණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment