දිනුර වැඩ දැම්මත් දිනුම බංගලාදේශයට

320

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැති තරගයෙන් කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 48 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 215 ක් රැස් කර ගත් අතර බංග්ලාදේශ පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 35 ක් ඇතුළත දැවී ගිය අතර කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව හැඩ ගැසුණු දකුණත් පිතිකරු දිනුර කළුපහන හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 82 කට මුහුණ දී අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 49 කට දැවී ගියේය.

කෙසේ වෙතත් පසුපෙළින් පැමිණි විශ්ව රාජපක්ෂ (25), මල්ෂ තරුපති (46) වේගයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු අතරට පැමිණි නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව ඉක්මවා ලීමට අවස්ථාව උදාවිය. ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ මල්ෂ තරුපති තම ලකුණු 46 සඳහා පන්දු 37 කට මුහුණ දුන්නේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිමිනි.

පන්දු යැවීමේදී ද නැවතත් ක්‍රියාත්මක වූ දිනුර කඩුලු දෙකක් ලබා ගනිමින් තරගයේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වූයේය. කෙසේ වෙතත් බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහාය ලබා ගත්තද එය නිෂ්ඵල කටයුත්තක් විය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48 කදී ලකුණු 215 යි – (දිනුර කළුපහන 49, හිරුන් කපුරු බණ්ඩාර 10, හිරාන් ජයසුන්දර 35, විශ්ව රාජපක්ෂ 25, මල්ෂ තරුපති 46, මරුෆ් මිධා 40/3, රොහාන්ත් බෝර්සන් 51/3, ටන්වීර් අහමඩ් 41/2)

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ට ලකුණු 217 යි – (ජිෂාන් අලාම් 62, අශිඛර් රහ්මාන් 30, අරිෆුල් ඉස්ලාම් 22, අහරාර් අමින් 44, ශිහාබ් ජේම්ස් 26, මෆුසුර් රහ්මන් 21, දිනුර කළුපහන 41/2)

advertistmentadvertistment
advertistmentadvertistment